පුද්ගලයින් දහයක් පහළොවක් විතර එක පෙළට අසුන් ගන්වා ඔවුන් “ඒකාබද්ධ විපක්ෂය” යැයි එහි මුලසුන විසින් මාධ්යයට ප්රකාශ කරනු ලැබුවේ මීට මාස කිහිපයකට ඉහතින් ය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති පක්ෂ ලේබල් රැගෙන විත් විපක්ෂ පෙරමුණු හැදීමේ සාකච්ඡා සඳහා අසුන් ගන්නා අති බහුතරයකට මැතිවරණයකදී ඡන්ද දාහක් දෙදාහක් එකතු කරගත නොහැකි වීම එක කතාවකි.
විපක්ෂ පෙරමුණු හැදීමේ අතීත භාවිතාව

පොඩි සිල්ලර වෙනස්කම් තිබුණත් විපක්ෂ සන්ධාන හැදීමේ ඉතිහාසයම එවැනිය. මෙරට පළමු පෙරමුණ යැයි කිව හැකි 1956 මැතිවරණය සඳහා බණ්ඩාරනායක සමග පිලිප් ගුණවර්ධන හදා ගත් “මහජන එක්සත් පෙරමුණ” 1954 කොතලාවලගේ ආණ්ඩුවට වඩා පොඩි වෙනසකට තිබූයේ ඔවුන් රාජ්යවාදී ආර්ථිකයකට මුල පුරන්නට යෑමෙහිය. එතැනින් පසු මැතිවරණ සඳහා එක්සත් පෙරමුණු හැදීමේ ඉතිහාසයෙහි එකම ව්යතිරේඛය වන්නේ 1965 දී ඩඩ්ලි අටවා ගත් හත්මැල්ලුම් ආණ්ඩුවට එරෙහිව ශ්රී.ල.නි.ප සමග සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ 1968 දී පිහිටුවා ගත් සභාගය වන්නේය.
බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ඔවුන්ගේ පක්ෂ හවුල ප්රකාශයට පත් කිරීමේ මහනුවර බෝගම්බර පිටියේ 1968 දී පැවැත්වූ යෝධ ජන රැළියෙහිදී 1970 මහ මැතිවරණය වෙනුවෙන් ඔවුන්ගේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල යැයි “සභාග වැඩපිළිවෙල” ප්රසිද්ධ කළහ. එය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සමග බණ්ඩාරනායක මැතිනියගේ විශ්වාසවන්තයින් වූ ශ්රී.ල.නි.ප නායකත්වයේ ටී.බී. සුබසිංහ, ඉලංගරත්න, මෛත්රීපාල සේනානායක වැන්නන් එක්ව සම්පාදනය කෙරුවකි. කල් තබා ඉදිරිපත් කළ සභාග වැඩපිළිවෙල ඉතා ඉහළින් අගය කරනු ලැබුවේ එය “සමාජවාදය” සඳහා ගමන් අරඹන්නක් යැයි වූ පිළිගැනීම සමගිනි. ඒ සමාජවාදී ගමනෙහි සාමාන්ය ජනතාවගේ දෛනික අවශ්යතා ලඝුකර තිබූ ආකාරයෙන්, එහි පලවිපාක 1977 මහ මැතිවරණයෙහිදී අපි දුටිමු.

එතැන් සිට එ.ජා.ප ආණ්ඩු විසින් විදේශ ණය මත යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්යාපෘති ක්රියාත්මක කෙරූ නමුත් සාමාන්ය ජන ජීවිතයේ, විශේෂයෙන් ග්රාමීය සමාජයේ ප්රගතියක්, දියුණුවක් වෙනුවෙන් කිසිවක් නොකෙරුනි. ඒ අර්ථයෙන් මහවැලි සංවර්ධන ව්යාපෘතියද අසාර්ථක වූවකි. එ.ජා.පය ජනාධිපතිවරුන් දෙදෙනකු යටතේ තෙවරක් ආණ්ඩු බලයේ සිටියේ ඔවුන්ට අභියෝග කළ හැකි විපක්ෂයක් නොවූයෙනි.
චන්ද්රිකා කුමාරතුංග ගේ ප්රධානත්වයෙන් 1992 දී පිහිටුවා ගත් “පොදුජන එක්සත් පෙරමුණ” එ.ජා.ප විරෝධී මැතිවරණ හවුලක් ලෙස 1994 අගෝස්තු මැතිවරණයෙන් ආණ්ඩුව හදා ගත්තේ අවසන් මොහොතේ අෂ්රෆ්ගේ මුස්ලිම් කොංග්රසය ඇයට හවුල් වූයෙනි. ඉන්පසු ඇය 2000 දී හදා ගත් ආණ්ඩුවත් 2001 දෙසැම්බරයේදී වික්රමසිංහ අගමැති ලෙස පිහිටුවා ගත් ආණ්ඩුවත් පෙරමුණු ආණ්ඩු වූ අතර, අසාර්ථක ආණ්ඩු පාලන විය. 2004 අප්රේල් මහ මැතිවරණයෙන් චන්ද්රිකා ජනාධිපති ලෙස ජයග්රහණය කළ මැතිවරණයේ, ඇයගේ එක්සත් ජනතා නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ජ.වි.පෙ තරග කළ අතර, ඔවුන්ට චන්ද්රිකාගේ ආණ්ඩුවේ ඇමති ධූර 04 ක්ද ලැබිණ.
වාර්ගික සටන්පාඨ සහ විපක්ෂයේ සීමාව

රාජපක්ෂ 2005 නොවැම්බර මැතිවරණයෙන් දිනන්නේ ජ.වි.පෙද ඇතුළත් දකුණේ සියලු සිංහල-බෞද්ධ සංවිධාන ඔහු වෙනුවෙන් මැතිවරණයට හවුල් වූයෙනි. ඔහු ධූර කාල දෙකක් සම්පූර්ණ කෙරුවේ වසර 25 ක උතුරු-නැගෙනහිර සන්නද්ධ ගැටුම් 2009 මැයි මාසයේදී “ජයග්රාහීව අවසන් කළ” දකුණේ සිංහල-බෞද්ධ නායකයා ලෙස හදා ගත් වාර්ගික කීර්තිය සමග ය. ඔහුගෙන් පසු හැම විපක්ෂ පෙරමුණක්ම පවතින ආණ්ඩුවට එරෙහිව “සිංහල-බෞද්ධ” ඡන්දදායකයා ඇමතීම රීතියක් කර ගත්තකි.
අනුර කුමාරගේ නායකත්වයෙන් වන මේ මාලිමා ආණ්ඩුවට එරෙහිව ගොනු කරන්නට උත්සාහ දරණ ඒකාබද්ධ විපක්ෂයද එළෙසින්ම “සිංහල-බෞද්ධ” ඡන්දදායකයා අමතන්නකි. ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන් වහන්සේ සාමාන්ය සිරකරුවකු ලෙස ඉදිරිපත් කළේ යැයි උන්වහන්සේ ගේ “චීවරය” මාලිමා ආණ්ඩුවට එරෙහි බෞද්ධ සංකේතයක් ලෙස සංඝයා වහන්සේ විසින් යොදා ගනු ලැබිණ. ඒකාබද්ධ විපක්ෂයක් හදන්නට හවුල් වන ලොකු පොඩි හැම පක්ෂයක්ම, කණ්ඩායමක්ම ඊට අත ඔසවන්නාහ. මාලිමා ආණ්ඩුව නිහඬ බෞද්ධ විරෝධයක් සමාජගත කරන්නේ යැයි සංඝ සමාජයේ වන චෝදනාවටද විපක්ෂ හවුල එකඟ වන්නාහ.
ග්රාමීය දිළිඳුකම සහ අවිධිමත් ආර්ථිකය

අපගේ සමස්ථ ශ්රමිකයින්ගෙන් සියයට 40 ක් නඩත්තු වන්නේ අවිධිමත් ආර්ථික ක්ෂේත්රයෙහිය. අවිධිමත් ආර්ථිකය හැදී ඇත්තේ ග්රාමීය සමාජයෙන් හා වැවිලිකරයෙන් කොළඹ කේන්ද්රීය නාගරික සමාජයට සංක්රමණය වූ තරුණ ශ්රමයෙනි. සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ “ගෘහියික ආදායම් හා වියදම් සමීක්ෂණය” (HI&ES) දක්වන සිව්දෙනෙකුගෙන් යුත් ග්රාමීය පවුලකට ඔවුන්ගේ අවම ඕනෑ එපාකම් සපුරා ගනිමින් මාසයක් ජීවත් වන්නට රුපියල් 65,000 ක ආදායමක් අවශ්ය වේ (අවසන් සමීක්ෂණය - 2019). එවැනි ආදායමක් තමන්ගේ ගම් පළාතේ පදිංචිව උපයා ගැනීමට නොහැකි වීම, නගර වෙත සංක්රමණයට හේතු වන්නේය. ගම හා වැවිලිකරය ජනගහනයෙන් සියයට 40 ක් වන එවැනි දුප්පතුන්ගේ අඩවි වන්නේය.
විශාල සහන, වරප්රසාද වරදාන ලබා දෙමින් අවුරුදු 48 ක් මෙරටට ගෙන්වා ගත් විදේශ ආයෝජන වලින් ගමට කාන්දු වූ දියුණුවක් නැත. ප්රධාන නගර කිහිපය කේන්ද්ර කෙරුණු විවෘත වෙළදපල ආර්ථිකය විසින් ගම අත හැරීමෙන් පිටමං කරන ශ්රමය මැදපෙරදිග, දකුණු කොරියාව, සයිප්රසය, ඊශ්රායලය වැනි රටවලට සැපයීමද දැන් අතිශය ලාභදායි ව්යාපාරයකි. එවැනි සංක්රමණික ශ්රමිකයින් ඒ රටවල කඹුරා උපයන වැටුප පවුලේ වියදමට මෙරටට එවූ විට, ඒවා ඩොලර් වශයෙන් යොදා ගැනෙන්නේ නගරයේ ජීවිත පහසුවට ය. අපට වාර්ෂිකව අවශ්ය විදේශ ආදායම විවෘත වෙළදපල ආර්ථිකයෙහි විදේශ ආයෝජන මගින් මෙතෙක් උපයා ගැනීමට නොහැකිව ඇත.
ජනාධිපතිවරුන්, අගමැතිවරුන් පලවා හැර, පාරාජිකාවූ හදකලා මන්ත්රීවරයෙකු 2022 දී ජනාධිපති පුටුවේ අසුන් ගන්වා ජාත්යන්තර මූල්ය අරමුදල ගෙන්වා ගන්නා විට 2022 වසර අවසානයේ එකතුව තිබූ අපගේ විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියන 36.7 ක් විය. දේශීය රුපියල් ණය ප්රමාණය බිලියන 38.1 කි. ජා.මූ.අරමුදල සමග ගනුදෙනු ආරම්භ කිරීමට කොතැනින් හෝ ගනු ලැබූ දේශපාලන තීන්දුවක් අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් ප්රතික්ෂේප කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ දින කිහිපයක් ඇතුළත ඕස්ත්රේලියාවේ සිට පැමිණ මහ බැංකුවේ අධිපති ලෙස අප්රේල් 08 වන දින වැඩ බාර ගත්තේය.
දැවැන්ත වැඩක් හැටියට කතා කරන ජා.මූ.අරමුදලේ මෙහෙයවීම යටතේ ණය ප්රතිව්යුහගත කිරීම, හුදෙක් ණය ආපසු ගෙවීම සඳහා අලුත් කාලසටහනක් හැදීමක් වූවකි. ණය ගෙවීම සඳහා ඩොලර් වැඩිපුර ඉපැයීමේ සැළසුම් හැදීමක් නොවුනි. ණය ගෙවීමේ අලුත් කාලසටහන ජාත්යන්තර මූල්ය අරමුදලේ අනුමැතිය ලද වහා, නැවත ණය ගැනීමේ අවකාශය විවර වූයෙන් විවෘත වෙළඳපල යළි සක්රීය විය. වික්රමසිංහ මහා වැඩකාරයෙකු විය.
ණය ගෙවීමේ අර්බුදය සහ සංචිත මායාව

පසුගිය ණය ප්රතිව්යුහගත කිරීමට අනුව ඉදිරි දසකයේ විදේශ ණය ගෙවීමට පමණක් ශ්රී ලංකාවට ඩොලර බිලියන 04 ට ආසන්න අමතර ආදායමක් අවශ්ය වනු ඇත. එවැනි ශක්යතාවක් සඳහා ඩොලර් බිලියන 08 ක පමණ විදේශ සංචිතයක් තිබිය යුතු අතර දැනට ඇත්තේ ඩොලර් බිලියන 6.8 කි. සංචාරක ව්යාපාරය, සංක්රමණික ශ්රමය විසින් උපයා දෙන ඩොලර් වලට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජා.මූ.අරමුදල විසින් දෙනු ලබන ණය සමග විදේශ සංචිතය මේ වසර අවසානය වන විට ඩොලර් බිලියන 10 ක් පමණ වනු ඇතැයි මහ බැංකුව ගණන් හදා ඇත. දැනට මහ බැංකුවේ උපාමාර්ගය වන්නේ ණය ගෙන ඩොලර් සංචිතය නඩත්තු කරමින් වාර්ෂික ණය ගෙවීම ය.
ආණ්ඩුවේ ගණන් හැදිල්ලට අනුව 2024 වසරේ ආදායම් සීඝ්රයෙන් වර්ධනය විනැයි ඉදිරිපත් කරන සංඛ්යා වලට අනුව ඩොලර බිලියන 08 ක පමණ අතිරික්තයක් ඇත. ඉන් ඩොලර් බිලියන 03 ට වැඩි ආදායමක් සංචාරක ව්යාපාරයෙන් ලැබිණැයි සඳහන් වන්නේය. මේ ගණන් මිනුම් කෙතරම් නිවැරදි දැයි නොදනිමි. සංචාරක ව්යාපාරයේ ගණන් මිනුම් නිශ්චිතව සනාථ කෙරෙන ගණන් මිනුම් නොවේ. සංක්රමණික ශ්රමය විසින් උපයා දෙන ඩොලර් ඉදිරි අවුරුදු වල තව තව වැඩිවේ යැයි යනු හුදු අපේක්ෂා පමණි. අප දන්නා අතීතයෙහි සිට ආණ්ඩු වලට අවශ්ය ලෙස සංඛ්යා දත්ත හැදෙන අතර, අයවැය ඉදිරිපත් කරමින් කියන ඉලක්කම්ද බොහෝවිට අනුමාන වැඩි වීම් ය.
විකල්ප ජාතික සැලැස්මක අත්යවශ්යතාව
කතාව සරළය. වැඩිපුර ඩොලර ඉපැයීමේ සැළැස්මක් නොමැතිව, මේ වැඩිවීම් ගැන කතා කරන්නේ විදේශ ආදායම් ඉපැයීමේ අතුරු ක්ෂේත්ර ගැන ය. 2024 වසරේ අතිරික්ත ආදායමක් ඇතැයි කීවාට, ඒ වසරෙහි ඩොලර් බිලියන 02 ට ආසන්න ණය මුදලක් අපි ලබා ගෙන ඇත්තෙමු. මහ නගර කේන්ද්රීය විවෘත වෙළදපල ආර්ථිකයෙහි ස්වරූපය එවැනිය. අවුරුදු 48 ක් පුරා ආණ්ඩු මාරු කරමින් බදු සහන, බදු විරාම සහිත බොහෝ වාසි ලබා දෙමින් විදේශ ආයෝජන ගෙන්වා ගත්තද අපට අවශ්ය විදේශ විනිමය නිෂ්පාදන ආර්ථිකයක් මගින් උපයා ගැනීමට නොහැකි විය. ගමේ අතරමං කළ තරුණ ශ්රමය පිටරට නොගියේ නම්, ඔවුන් උපයා එවන ඩොලර් බිලියන 06-07 ත් නොවුනා නම්, අප සදා ලෙබනනයක් වනු ඇත.
අපට දැන් අවශ්ය වන්නේ ආණ්ඩුව ගැන කලකිරෙන ජනතාවට වෛවාරණ කතා කියන, පරණ නායකයින්ගේ යෝධ විපක්ෂ හවුල් නොවේ. අපට අවශ්ය වන්නේ විවෘත වෙළදපල ආර්ථිකය ගැට ගසා ගැනීමට ජා.මූ.අරමුදලේ ගිවිසුම්ගත වැඩසටහනට විකල්පයක් ලෙස ඉදිරිපත් කළ හැකි සංවර්ධන වැඩපිළිවෙලකි. ග්රාමීය ආර්ථිකයද හවුල් කෙරෙන “ජාතික සංවර්ධනය” සඳහාවන අපේම ප්රජාතන්ත්රවාදී සැළසුමකි. එවැනි සැළසුමක් ගැන විපක්ෂයේ කිසිවකුට සිතන්නටවත් නොහැකි අතර, මේ මාලිමා ආණ්ඩුව සතුවද එවැන්නක් නොවන බව පැහැදිලිය. එනිසා 2027 මාර්තු වලින් පසු ඔවුන් කොයි අත යා දැයි තවම පැහැදිලි නැත. නමුත් වඩාත් සීඝ්රයෙන් පැහැදිලිවෙමින් ඇත්තේ ඔවුන් ඉදිරියේදී “ජනතා විරෝධ” පාරට එනු ඇතැයි ගණන් බලන බවකි.
උපුටා ගැනීම - kusaladahasak.blogspot.com
https://kusaladahasak.blogspot.com/2026/10/blog-post_31.html?m=1
2026 ඔක්තෝම්බර 31 වන දින




