The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංහල වචන කියන්නෙ සිංහල විතර ම ද...? - ජයසිරි අලවත්ත

T

The Leader Desk

March 13, 2022 • 5:22 AM

සිංහල වචන කියන්නෙ සිංහල විතර ම ද...? - ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, සංස්කෘත, පාළි විතරක් නෙවෙයි දෙමළ භෂාවත් සම්බන්ධයි...’’ මහාචාර්ය සුචරිත ගම්ලත්ට පැවසීමට හැකි වූයේ එපමණකි.
  • වසරේ දිනක කොළඹ නව නගර ශාලාවේ පැවති සිංහල දෙමළ කලා උළෙල කඩාකප්පල් කිරීමට පැමිණි අන්ත ජාතිවාදින්ට ගම්ලත්ගේ ප්‍රකාශය පනින රිලවුන්ට ඉණිමං බැන්දා සේ විය.
  • බලගල්ලේ ඒ අන්තවාදී ජාතිවාදින් එදින මහාචාර්ය ගම්ලත්ගේ ප්‍රකාශය හෙළා දැක එම ස්ථානයේ කලහයක් ඇති කළ ද යථාර්ථය කුමක් ද...?
  • ඊට ප්‍රමුඛත ම උදාහරණය ලෙස ගෙනහැර දැක්විය හැක්කේ මහාචාර්ය විමල් ජී.
අකුරු ප්‍රමාණය (Font Size):

භාෂා සම්බන්ධයි; කවලම්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, සංස්කෘත, පාළි විතරක් නෙවෙයි දෙමළ භෂාවත් සම්බන්ධයි...’’

 

මහාචාර්ය සුචරිත ගම්ලත්ට පැවසීමට හැකි වූයේ එපමණකි. 2005 වසරේ දිනක කොළඹ නව නගර ශාලාවේ පැවති සිංහල දෙමළ කලා උළෙල කඩාකප්පල් කිරීමට පැමිණි අන්ත ජාතිවාදින්ට ගම්ලත්ගේ ප්‍රකාශය පනින රිලවුන්ට ඉණිමං බැන්දා සේ විය. එතැනින් ඇරඹි ජාතිවාදින්ගේ කලහය අවසන් වූයේ උත්සවයට සහභාගි වූ කිහිප දෙනෙකුට ද තුවාල සිදු වුව ද (මම ද එදින තුවාල ලද්දෙක්මි) ජාතිවාදින් උත්සව භූමියෙන් පලවා හැරීමෙන් පසුව ය.

 

දැනුම් සයුරක් වූ මහැදුරු | සිළුමිණ

මහාචාර්ය සුචරිත ගම්ලත්

 

සිංහල භාෂා විෂයක බලගල්ලේ භූමිකාව | සිළුමිණමහාචාර්ය විමල් ජී. බලගල්ලේඒ අන්තවාදී ජාතිවාදින් එදින මහාචාර්ය ගම්ලත්ගේ ප්‍රකාශය හෙළා දැක එම ස්ථානයේ කලහයක් ඇති කළ ද යථාර්ථය කුමක් ද...? යථාර්ථය නම් සිංහල භාෂාව (වචන) යනු ශුද්ධ හෙවත් පිරිසිදු තනි භාෂාවක් නොවේ ය යන්න ය. ඊට ප්‍රමුඛත ම උදාහරණය ලෙස ගෙනහැර දැක්විය හැක්කේ මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සිය ‘සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය’ නමැති කෘතියේ උපුටා දක්වන මහාචාර්ය සෙනරත් පරණ විතානගේ ප්‍රකාශය යි. එම ප්‍රකාශයට අනුව සිංහල භාෂාව යනු ඉන්දු ආර්ය ගණයේ භාෂාවක් බව බොහෝ විද්වතුන් ද පිළිගන්නා බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසා ඇත; පිළිගෙන ඇත. එමෙන් ම කෝට්ටේ යුගයේ අවසාන සමය වන තෙක් මෙරට විසූ සිදත් සඟරා කතුවරයා ප්‍රමුඛ දේශීය පඬිවරු බොහෝ පිරිසක් ද සිංහලය යනු සංස්කෘත, පාලි සහ මාගධී භාෂාවේ මුසුවක් බව පිළිගෙන ඇත.

 

වෙනත් විවිධ මත

 

ඔහුගේ මතය එසේ පවතිද්දී ම රොබට් පර්සිවල් නමැති ලේඛකයා දක්වා ඇත්තේ සිංහල භාෂාව: අරාබි, චීන, සියම් යනාදි භාෂාවලින් බිඳී ආ බව ජනප්‍රවාදයේ සඳහන්ව ඇති බවයි. නමුදු මෙරට කඳුරට පෙදෙස්වල දිගු කාලයක් විසූ රොබට් නොක්ස්ට අනුව සිංහල භාෂාව කිසිදු ආකාරයකින් දකුණු ඉංදියාවේ හෝ උතුරු ඉන්දියාවේ පැවති කිසිදු භාෂාවකට සම්බන්ධ නැතැයි පවසයි. ඔහු එසේ පැවසුව ද සිංහල භාෂාවට දෙමළ, හින්දි, සංස්කෘත සහ පාලි භාෂාවේ ආලෝකය ලැබි ඇති බව පැහැදිලි ය. ඉදිරියේ දි ඒ පිළිබඳව සටහන් කෙරේ.

තවත් පසෙකින් ගත් විට ඇතැම් විද්වත්හු පවා අන්තවාදී ලෙස කරුණු දක්වා ඇති බව ඔවුන්ගේ පොත්පත් පරිශිලනයේ දී දැකිය හැකි ය. උදාහරණ ලෙස ගතහොත් මහාචාර්ය බලගල්ලේ තම කෘති සියල්ලේ ම පාහේ සිංහල භාෂාවට දකුණු ඉන්දියා හෝ උතුරු ඉන්දියා බලපෑමක් සිදුවි ඇති බව ප්‍රතික්ෂේප කරයි. නමුදු සංස්කෘත, මාඝධී සහ පාලි භාෂාව සිංහල භාෂාවට බලපා ඇති බව හෙතෙම සඳහන් කරයි. එය සත්‍යයකි. අප අද භාවිත කරන බොහෝ වදන් සංස්කෘත භාෂාවෙන් බිඳි ආ පද බව ඉතා පැහැදිලි ය.

 

image c1f5a58fc7

යට කී භාෂාවලට අමතරව පෘතුගිසි, ලන්දේසි සහ ඉංග්‍රිසි භාෂාවෙන් බිඳී ආ වචන ද සිංහල භාෂාවේ භාවිත කෙරේ. ඊට කදිම උදාහරණ ය ඉංග්‍රිසියෙන් මහනුවරට යෙදෙන kandy නමැති වදන යි. ඉංග්‍රීසීන් අපේ රට යටත් කරගන්නා සමය වන විට එම පෙදෙස් සඳහා භාවිත කළ වදන වූයේ කන්ද උඩරට යන්න ය. එනම් කන්දක් මත පිහිටි රට යන්න ය. ඉංග්‍රීසීන්ට ‘කන්ද’ යන වදන උච්චාරණය කිරීමට අපහසු වූ බැවින් ‘කන්ද’ යන්න ‘kandy’ යනුවෙන් භාවිත කර ඇති බවට මතයක් ජනප්‍රවාදයේ පවතී. ‘හලාවත’ යන්නට ‘Chilaw’ ගෙස භාවිතාවට එක්වූයේ ද එසේ යැයි පැවසේ.

අපට සිටි ඉතා වටිනා භාෂාවේදියෙකු ලෙස සැලකිය හැකි සුචරිත ගම්ලත් ද පවසන්නේ සිංහල භාෂාවට විවිධ භාෂාවල බලපැම් ඇතිවූ බවයි. එහි දී ඔහු පෙන්වා දෙන පරිදි වැදි භාෂාවේ සිට: සංස්කෘත, පාලි, මාඝධී, ග්‍රීක, ලතින්, ඉරාණීය, අරාබි, චීන, මාලදිවයින් භාෂාව, ජාවා සහ මැලේ භාෂාවේ බලපෑම් මතු නොව දෙමළ භාෂාවේ බලපෑම් ද සිදුව ඇත.

 

භාෂාවේ සහ අක්ෂර රටාවේ වෙනසක් අනවැසි ද...?

 

අජිත් තිලකසේනගේ 'වතුර' උසස් පෙළට පත්තියන් නැද්ද...? | දිනමිණඅජිත් තිලකසේනභාෂාවේ කිසියම් වෙනසක් අවැසි බවට නිරන්තරයෙන් තර්ක කරන, ලිපි ලියන විද්වතෙකු ලෙස අජිත් තිලකසේන ද හැඳින්විය හැකි ය. ඔහු භාෂාවේ මතු නොව අක්ෂර රටාවේ ද වෙනසක් ඇති විය යුතු බව පැහැදිලි කරමින් දැවැන්ත අරගලයක යෙදෙන පුද්ගලයෙකි. ඔහු පෙන්වා දෙන ආකාරයට අපි ‘මුද්‍රණාලය’ ලෙස ලියන වදන ‘මුද්රනාලය’ ලෙස ලියුව ද වරදක් නොවේ. මෙහි දී ඔහු ‘ණ, න, ළ,ල’ භේදය ද නෙතා හරින්නැයි පවසයි. එය නොසලකා හැරීම කළ නොහැකිය යන්න මගේ පුද්ගලික මතය වන අතර ඔහු පවසණ ආකාරයට ‘මුද්රණාලය’ යැයි ලිවිය හැකි ය; එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. පි. තේනබදු මහතා ඔහුගේ ‘සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය’ කෘතියේ මේ පිළිබඳව කදිම උදාහරණ පෙළක් සපයයි.

එම කෘතියේ සඳහන් වන පරිදි රේඵය (ර්‍ම) යෙදීම සිංහල භාෂාවට අවශ්‍ය නොවේ. මන්ද එය සංස්කෘත භාෂාවේ එන විධික්‍රමයකි. එබැවින් ඔහු යෝජනා කරන්නේ ‘ධර්‍මය’ යන්න ‘ධර්මය’ යනුවෙන් (මෙය දැනට වැඩිපුර භාවිතා වන්නේ දෙවන ක්‍රමයට ය) ලිවීමේ වරදක් නැති බවයි. ඒ, අන් කිසිවක් නිසා නොව භාෂාවේ (අක්ෂරයේ) හැඩතල කාලයාගේ ඇවෑමෙන් වෙනස් වන බැවිනි; ඒ අනුව අපි ද වෙනස් විය යුතු බැවිනි. ඔහුට අනුව අපි ‘කර්‍මය’ යනුවෙන් ලියුවේ නම් එය සංස්කෘත ය. සිංහලයට අනුව ලියන්නේ නම් එය ‘කර්මය’ ලෙස ලිවිය යුතුය. මේ වන විට (විශේෂයෙන් ම පරිගණක අකුරු භාවිතයේ දී) ‘කර්‍මය’ යනුවෙන් ලියැවෙන්නේ ඉතා කලාතුරකිනි. දැන් අපිට ‘කර්මය’ වදන හොඳින් හුරු පුරුදු ය. ‘ධාර්‍මමික’ වෙනුවට දැන් අප ලියන්නේ ‘ධාර්මික’ ලෙසිනි.

meander: මොන තරම් අවුලක්ද - අජිත් තිලකසේන

මොන තරම් අවුලක්ද කාව්‍ය සංග්‍රහය - අජිත් තිලකසේන

 

යට සඳහන් කළ රේඵය මතු නොව ඔහු පෙන්වා දෙන අන්දමට අප යංශය (්‍ය) නමින් හඳුන්වන පිල්ලම ද අයත්වන්නේ සංස්කෘත භාෂාවට ය. එබැවින් ඔහු යෝජනා කරන්නේ අප යංශය යොදා ලියන වදන් යංශය ඉවත් කර ලියන ලෙසයි. උදාහරණ ලෙස ‘ආඛ්‍යාතය’ යන්න ‘ආඛ්යාතය’ ‘ව්‍යවහාරය’ යන්න ‘ව්වහාරය’ ලෙස ලිවිය හැකි බවයි. බොහෝ විට මෙම ලිපිය පවා පරිගණක අකුරුකරණයේ දී Iskola potha බාවිත කරන ඇතැම් අවස්ථාවලදී යට පෙන්වා දුන් ආකාරයට ටයිප් වන අවස්ථා පවතී. නමුදු සාම්ප්‍රදායික ක්‍රමවේදය ම භාවිත කළ යුතු බැවින් පරිගණක අකුරු කරන පුද්ගලයා යළි ‘ආඛ්යානය’ යන්න ‘ආඛ්‍යානය’ ලෙස ම අකුරු කරයි.

 

භාෂාවේ අධිකාරිත්වය

 

අක් දහර - Poth.lkජයසිරි අලවත්ත – Globalmedia.lkමේ සියල්ල එසේ කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ තින්දු තීරණ ගැනීම පවා එක්තරා බලාධිකාරියකට පැවරි ඇති බැවින් නිදහස් ලේඛන ආරක් භාවිත කිරීම යනු ඉතා බරපතළ තත්ත්වයකි. වෙසෙසින් ම අජිත් තිලකසේන විසින් හදුන්වා දෙනු ලැබ ඇති පිල්ලම් සමරූපීකරණය භාවිතයෙන් ලියූ පොත් ඇතැම් පුස්තකාලවලට ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති අවස්ථා බහුල ය. එහි වඩාත් උත්ප්‍රාසය වන්නේ මම පුද්ගලිකව අජිත් තිලකසේන හඳුන්වා දුන් සමරූපීකරණය භාවිත කරන අතර මගේ කාව්‍ය සංග්‍රහ ද්විත්වය, පළමු ප්‍රබන්ධය වන ‘‘අක් දහර’’ සහ දෙවන ප්‍රබන්ධය වන ‘‘‘තිත් මල්’’ රචනා කළේ අජිත් තිලකසේන අනුයමින් සමරුපීකරණ රටාවෙනි. නමුදු අජිත් තිලකසේනගේ පොත් කිසිදු ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මිලදී ගෙන ඇති කොළඹ මහජන පුස්තකාලය මගේ ප්‍රබන්ධ දෙක ම ප්‍රතික්ෂේප කර ඇත. එහි දී ද පැහැදිලිවන එක් කාරණයක් පවතී. එනම් සිවිල් සමාජයේ කිසියම් බලයක් පවත්වාගෙන යන ලේඛකයෙකුට හැර සාමාන්‍ය තත්ත්වයේ ලේඛකයෙකුට නව අත්හා බැලීම් සහිත ලෙඛන රටාවක් භාවිත කළ නොහැකි බවයි.

 

පිළිගැනීමේ සහ නොපිළිගැනීමේ පරස්පරය

 

යට සදහන් කළ ආකාරය ම යළි විමසා බලමු. පී. තේනබදු යෝජනා කර ඇති පරිදි රේඵය ඉවත් කිරීම පිළිගන්නා විද්වත්හු ම ඔහු ම යෝජනා කර ඇති යංශය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරති. ඒ සමග ම අජිත් තිලකසේන හඳුන්වා දුන් සමරූපිකරණය ප්‍රතික්ෂේප කරති. ලිපිය ආරම්භයේ සඳහන් කළ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අය අතර සිටි සහ දැනට ද සිටින ඇතැම් විද්වත්හු දැනුදු ඔවුන්ගේ ලේඛන සඳහා: පාලි, සංස්කෘත මතු නොව දෙමළ භාෂාව සමග මිශ්‍රිත වදන් අනන්තවත් භාවිත කරති. මෙය කෙතරම් පරස්පරයක් ද...?

 

කාලය මවන වෙනස අකැප ද...?

 

කාලයාගේ ඇවැමෙන් කතා කරන භාෂාවේ මෙන් ම ලියන භාෂා රටාවේ ද වෙනස්කම් ඇතිවිය හැකි බවට සහ එසේ කළ යුතු බවට හොඳම උදාහරණයක් ලෙස ‘අංකල්’ යන වදන ගෙනහැර දැක්විය හැකි ය. මීට වසර හතළිහකට පනහකට පමණ පෙර ඉංග්‍රීසි භාෂාවේ එන ‘Uncle’ (අංකල්) යන වදන භාවිත වූයේ ‘‘මාමා’ සහ ‘බාප්පා’ යන වදනට යෙදෙන ඉංග්‍රීසි වදනක් ලෙසිනි. නමුදු වර්තමානයේ එය වියපත් පිරිමි හැඳින්වීමට භාවිත කරන සිංහල වදනක් බවට පත්වී තිබේ. අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජයතුංග විසින් සම්පාදිත ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය පළමු ඛාණ්ඩයේ පළමු පිටුවේ අංකල් යන්නට පර්යාය පද ලෙස 01. මාමා, බාප්පා ලෙස ද, 02. වැඩිහිටි පිරිමියා, වැහැරුණු, දුබල, මහලු පුද්ගලයා ලෙස ද අර්ථ ගන්වා ඇත. අපේ විද්වත්හු එවන් අවස්ථා දෙස අඳ, ගොළු, බිහිරි සේ මුනිවත රකිති.

 

දීර්ඝ ලියවිල්ලක සංක්ෂිප්තය

 රූ vision: භාෂාවේ ඓතිහාසික විකාශනය

සිංහල භාෂාවේ පවත්නා බරපතළ ගැටලු රාශියක් සාකච්ඡා කිරීම මෙවන් කෙටි ලිපියකින් කළ නොහැකි වුව ද සාමාන්‍ය ව්‍යවහාරයේ දී හෝ අප මුහුණ දෙන ඉතා කුඩා කරුණක් දෙකක් හෝ සාකච්ඡා කළ යුතුය යන්න මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ විය. එහි දී ද වඩාත් අවධානය යොමු කළේ සිංහල භාෂාව ශුද්ධ භාෂාවක් පමණක් ම නොවේ ය යන්න සාකච්ඡා කිරිම සඳහා ය. යට සදහන් කළේ ඒවායේ මූලික ලක්ෂණ ය. දැන් සිංහල භාෂාවට මුසුව ඇති, වෙනත් භාෂාවලින් බිඳී එන, නිරන්තරයෙන් අපි භාවිත කරන, නමුදු සිංහල වදන් නොවේ යැයි නොසිතන වදන් කිහිපයක් දෙස අවධානය යොමු කරමු.

වැදි භාෂාවේ ‘කැත්ච’ යන්න සිංහල භාෂාවෙන් ‘පිහිතලය’ ලෙස හැඳින්වේ. නමුදු ග්‍රාමිය පෙදෙස්වල ‘කැත්ත’ යන්න නිරන්තරයෙන් භාවිත වන වදනකි. එය වැදි භාෂාවෙන් බිඳි ආ බව එයින් පැහැදිලි වේ.

සිංහල භාෂාවේ ‘‘දරුවා’ යන්නට ‘බිලිඳා’ හෝ ‘බිලින්දා’ ලෙස ද යෙදේ. රොඩී භාෂාවේ ද කුඩා දරුවාට ‘බිලින්දා’ යනුවෙන් වහරයි.

සිංහල භාෂාවේ ‘ගස්’, මස්’, බස්’, දෙවි’ සහ ගේ’ යනුවෙන් හැඳින්වෙන දෑ සියල්ල ම මාලදිවයින් භාෂාවේ ද එනමින් ම හැඳින්වේ.

සිංහල භාෂාවේ ‘ආප්ප’ යනුවෙන් හැදින්වෙන ආහාරය ජාවා සහ මැලේ භාෂාවෙන් හැදින්වෙන්නේ ‘ආපම්’ යනුවෙනි. එමෙන් ම: කරදමුංගු, කරාබු, ගංජා සහ ගැටිස්සි යන වදන්වලින් හැදින්වෙන්නේ එනමින් සිංහල භාෂාවේ හැඳින්වෙන දෑ ම ය.

දෙමළ භාෂාවේ සහ සිංහල භාෂාවේ එකම දෑ එකම වදනින් හැඳින්වෙන අවස්ථා බහුලය. ඉන් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නේ නම්: වන්නම්, දවුල්, කඩප්පු, කෙණ්ඩිය. අලවංගුව, උණ්ඩය, කතුර, කප්පිය, අරුංගල්, සාරිය, හවඩි සහ මොට්ටු යන වදන්වලින් හැදින්වෙන දෑ සියල්ල භාෂා දෙකෙන් ම හැඳින්වෙන්නේ එකම නාමයෙනි. මේ ඉතාම අල්පයක් පමණි.

මීට අමතරව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රිසි වදන් ද බහුල ය. ඒ අතුරෙන් ඉතාමත් අල්ප ප්‍රමාණයක් දෙස අවධානය යොමු කරමු.

ඇබෑර්තු, කාර්තු, අලුගෝසු, කොන්දේසි, කෝප්ප, කජු, කලිසම, කෙජු, ගරාදි, ජනේල, ගුදිරි, තාප්ප, තාර, තුවාය, තැබෑරුම, තාච්චි, රීප්ප, පෝරනු, පෙදරේරු, බොත්තම්, බාල්දි. සපත්තු, යනාදි වශයෙන් වචන හාරසියයකට වැඩි ප්‍රමාණයක් පවතී.

මෙම මාතෘකාවට අදාළව ලිපියක් සම්පාදනය කිරීම ඉතාම අපහසු ය. ඒ පිළිබදව පාඨක ප්‍රජාවට නිවැරැදි අවබෝධයක් ලබාදීමට නම් පිටු පන්සියයක පමණ කෘතියක් සම්පාදනය කළ යුතු ය. නමුදු එය ඉතා අපහසු කාර්යයකි. එබැවින් මේ සම්බන්ධයෙන් හැදෑරීමට රිසි යමෙක් වේ නම් මතු සදහන් කෘති පරිශීලනය කරන් මෙන් මම ඉල්ලා සිටිමි. මෙම කෙටි ලිපියට පාදක කරගත්තේ ද එම කෘතිවලින් අංශු මාත්‍රයක් පමණි.

  • සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය: පී. තේනබදු: සූරිය ප්‍රකාශකයෝ: 1997
  • සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශනය: බන්දුසේන ගුණසේකර: එස්. ගොඩගේ සහ සහෝදරයෝ: 1996
  • භාෂාව හා සමාජය: කේ. එන්. ඕ. ධර්මදාස: එස්. ගොඩගේ සහ සහෝදරයෝ: 1996
  • භෂාවේ සම්භවය හා සංස්කෘතික මුහුණුවර: කේ. එන්. ඕ. ධර්මදාස: එස්. ගොඩගේ සහ සහෝදරයෝ: 1989
  • සිංහල වාග් මාලාව කෙරෙහි ඉංග්‍රිසි බලපෑම: ආනන්ද ජයසේකර; සමන්තී පොත් ප්‍රකාශකයෝ: 2008
  • සිංහල අක්ෂර මාලාවේ ප්‍රභේද සහ පිලි වර්ග: දයානන්ද බිනරගම: නිශාන්ත ප්‍රකාශන: 2001
  • සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය: විමල් ජී. බලගල්ලේ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ: 1992
  • ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය: හරිශ්චන්ද්‍ර විජයතුංග: සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය: 1982
  • අදට ඔබින බස: අජිත් තිලකසේන: එස්. ගොඩගේ සහ සහෝදරයෝ: 1997
  • සිංහල භාෂාවේ ව්‍යාකරණය: විල්හැම් ගයිගර්: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව: 1993
  • සිංහල ව්‍යාකරණ අකාරාදිය: පී. රුපසිංහ පෙරේරා, පද්මා ලංකා රූපසිංහ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ: 2002
  • සිංහල අකුරු: අම්බලම්ගොඩ ධම්මකුසල හිමි: අකුරටිය පටබැඳි රොසලින් ද සිල්වා (ප්‍රකාශිකා) : 1969
  • විග්‍රහාත්මක වාග්විද්‍යාව: ම. ව. සුගතපාල ද සිල්වා: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව: 1973


jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 
2022/ 03/12 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...