‘‘පිස්සුද අනේ... මං ඉක්මනට ආවෙ නෑ... ඔයා තමයි ගාට ගාට මෙතනට ඇවිත් තියෙන්නෙ...’’ යැයි පැවසූ සචේතනී මන්දස්මිතයකින් මුව සරසාගන්නා

අතර ම අසුන් ගෙන සිය උකුළ මත තබාගත් අත් බෑගයෙන් කුඩා පාර්සලයක් පිටතට ගෙන එය මේසය මත තැබුවා ය.


දෙනෙත් මඳක් විසල් කරමින් පාර්සලය දෙස බැලූ ප්‍රතිෂ්ඨ ‘‘මේ මොනව ද මේ...!’’ යැයි විමසුවේ ඔහු මෙවන් මොහොතක් කිසි සේත් ම බලාපොරාත්තු නොවූ බැවිනි.


‘‘දිගෑරල බලන්නකො මොනවද කියල,’’ යැයි සචේතනී කොඳුළේ පාර්සලය සෙමෙන් ප්‍රතිෂ්ඨ ආසන්නයට තල්ලු කරන අතර ය.


ප්‍රතිෂ්ඨ ද තමා ඉදිරිපිට තිබෙන පාර්සලය දිගහැරියේ කුහුලෙන් යුතුව ය; පාර්සලය ඇතුළත තිබූ දෑ දුටු මතින් හෙතෙම වික්ෂිප්ත විය.


‘‘ලැවරියා...!’’


තරමක් හඬින් ඔහුගේ මුවෙන් ගිලිහුණු වදන ඇසුණු සැණින් සචේතනී සිය දකුණතේ දබරැඟිල්ල දෙලවන් මත තබා ‘‘ෂ්ෂ්ෂ්... අර මිනිස්සුන්ට ඇහෙයි,’’ යැයි පැවසුවේ කිසිවකුටත් නොදැනගත යුතු, කිසිවකුත් නොදැකිය යුතු යමක් කරන්නා සේ ය.


‘‘සොරි සොරි...’’


ප්‍රතිෂ්ඨ යළි රහසෙන් කොඳුළේ ඔහුගේ මුවෙන් නිකුත් වූ ශබ්දය තැනට නූචිත බව වැටහුණ බැවිනි.


‘‘ඕකට සොරි කියන්න ඕන නෑ... දැන් කන්න. ඔයා ආසයි නෙ ලැවරිය කන්න. ඒ නිසයි මං හදාගෙන ආවෙ...’’


‘ම්ම්ම්... මෙයා කොහොමද දන්නෙ මං ලැවරිය කන්න ආසයි කියල... හරි... දැනගත්ත කියමුකො... එහෙනං මෙයා මේව හදාගෙන ඇවිල්ල තියෙන්නෙ මට ම ද... ඇයි එහෙම...?’


‘‘මේව ගෙනාවෙ ඒ දිහා බලාගෙන භාවනා කරන්න නෙවෙයි... කන්න,’’ යැයි පැවසූ සචේතනී එක් ලැවරියක් ගෙන ප්‍රතිෂ්ඨ අත තැබුවා ය. ඔහු එය මුව අසලට ළං කරනවාත් සමග ම ‘‘දැං කොහොමද ප්‍රතිෂ්ඨ අපි පිටිගල යන්නෙ...?’’ යැයි විමසුවා ය. එහෙත් ඇය විමසුවේ කුමක් ද යන්න පිළිබඳ නිසි අවබෝධයක් ප්‍රතිෂ්ඨට නොතිබිණ.


‘‘ඇත්තට ම මේව ඔයා ගෙදර හදපුව ද...’’


ප්‍රතිෂ්ඨ විමසුවේ අතට ගත් ලැවරිය දත් අතර තබා, හපා ඉන් කුඩා කැබැල්ලක් මුව තුළට රුවා රස විඳින අතර ය.


‘‘ඔවු ඔවු අනේ... නැත්තන් මං ඒහේ ඉඳන් කඩෙන් අරන් එන්න ය...?’’ යැයි පැවසූ සචේතනි ද ලැවරියක් අතට ගෙන ඉන් කැබැල්ලක් කඩා මුව තුළට රුවා ගෙන හපන අතර යළි පෙර පැනය ම විමසුවා ය.


‘‘කෝහ්...මං අහපු එකට උත්තර දුන්නෑ නෙ... අපි දැං කොහොම ද අනිද්ද පිටිගල යන්නෙ...?’’


‘‘අහ්... ඔයාගෙ ලැවරියෙ රසට ඔයා අහපු දේ ඇහුණෙත් නෑ... හම්ම්ම්... අපි මෙහෙම කරමු...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ යටි ලවන මඳක් මුව තුළට ගෙන උඩු දත් පෙළෙන් එය සපාගෙන තත්ත්පර කිහිපයක් ඒ ඉරියව්වෙන් ම සිට එක් වර ම ‘‘අපි බයික් එකේ යං...’’ යැයි පැවසුවේ කිසිදු අපහසුවකින් තොරව ය.


‘‘බයික් එකේ යන්න...! පිටිගලට ම...!! ඔයාට පිස්සු ද...?’’

 

Vladamir Kush Surreal Painting Art Gallery Clouds


‘ෂිහ්... මං වැරදි දෙයක් ඇහුව ද... මං ගැන වැරැදියට හිතයි ද... අපරාදෙ... මට එහෙම නොකිය ඉන්නයි තිබුණෙ...’ යැයි සිතන අතර ම ලැවරිය කෑම නැවතූ ප්‍රතිෂ්ඨ අතේ තිබූ ලැවරිය කැබැල්ල දෙස අවධානය යොමු කරමින් කල්පනාවේ නිග්ම විය.


‘ෂිහ්... මගේ වචන සැර වැඩි උණා ද... මට එකපාට්ට ම එහෙම නොකිය ඉන්නයි තිබ්බෙ... මෙයාගෙ හිත රිදුණද මංද...?’


සචේතනී ද ප්‍රතිෂ්ඨ මෙන් ම කල්පනාවක නිග්ම වූයේ ප්‍රතිෂ්ඨගේ උවන මත ඇගේ දෙනෙත් අලවාගෙන ය.


‘‘නෑ... මේ... මං... මං කිව්වෙ... මෙහේ ඉඳං පිටිගලට බයික් එකේ යද්දි මහන්සි නැද්ද... අනික හදිසියෙ මගදි වැස්සොත් එහෙම...’’


ඇය, ඇගේ මුවෙන් ගිලිහුණු වදන් නිවැරැදි කරගන්නට යත්න දැරුවා ය.


සචේතනී එලෙස පැවසුවේ ඇගේ පශ්චාත්තාප බව ප්‍රකට කරමින් බව අවබෝධ කරගත් ප්‍රතිෂ්ඨ ද ඇය වෙත මන්දස්මිතයකින් සංග්‍රහ කරන අතර ම ‘‘හරි... එහෙනං අපි හයිවේ එකේ ඇල්පිටියට ගිහිං එතනිං බස් එකක් අරගෙන පිටිගලට යං...’’ යැයි පැවසුවේ යතුරු පැදියේ කතාව සපුරා ම අමතක කරමිනි.


‘‘ඔවු ප්‍රතිෂ්ඨ... අපි එහෙම කරමු. මං මාකුඹුරට බයික් එකේ එන්නං. මට නං පුතත් එක්ක එන්න පුළුවං නෙ... ඔයාට පුළුවං බයික් එක මාකුඹුරෙ දාල යන්න. එහෙම හොඳයි නේද...?’’


ඇගේ යෝජනාව ප්‍රතිෂ්ඨ ලවා ස්ථිර කරගන්නා අදහසෙන් ඇය විමසුවා ය.


‘‘ආ... ඔවු... අපි එහෙම කරමු.’’


ඇගේ යෝජනාව පිළිබඳ කිසිදු අකමැත්තක් ප්‍රකාශ නොකළ ප්‍රතිෂ්ඨ ද පිළිවදන් සැපයී ය.


අවසන දෙදෙනා වෙන්ව ගියේ අනිද්දා යා යුතු ගමන පිළිබඳ නිශ්චිත තීරණකට එළඹෙමිනි.

*          *          *          *          *          *          *          *          *

1915103 HSC00001 7

ප්‍රතිෂ්ඨ එක් අදහසක් ද සචේතනී තවත් අදහසක් ද පෙරදැරිව ඇල්පිටියේ පිටිගල මැටිවිලියේ පිහිටි දක්ෂිණාරාමය වෙත යාම සඳහා යොදාගත් දිනය එළඹිණි. පසුගිය බ්‍රහස්පතින්දා දෙදෙනා සාකච්ඡා කරගත් පරිදි ප්‍රතිෂ්ඨ උදැසන හතයි විස්ස පමණ වන විට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණියේ ය. ඔහු ඍජුව ම වාහනාංගණයට ගොස් තම යතුරු පැදිය නවතා ඇල්පිටිය බස් රථ නවතන ස්ථානයට පැමිණියේ සචේතනී එහි සිටිනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත් හෙතෙම බලාපොරොත්තු වූ රුව එහි දක්නට නොලැබිණ.


‘ම්ම්ම්... සචේති කිව්වෙ නං හතහමාර වෙද්දි එන්නං කියල... කමක් නෑ... නැවිත් ඉන්න එකක් නැහැ නෙ... අනේ මංද... එදා මං බයික් එකේ යමු කියල කරපු යෝජනාව නිසා සචේති වෙන අවුලක් ගත්ත ද...? සමහර විට එයා හිතපු විදියත් එයාගෙ පැත්තෙන් සාධාරණයි. මං හැම තැනම බයික් එකෙං රවුං ගැහුවට එයාට ඒක හුරු නැතුව ඇති. කමක් නෑ...තවම ගමන ආරම්භ කරෙත් නැහැ නෙ...’


සිතුවිලි සයුරක අතරමංව සිටි ප්‍රතිෂ්ඨ පියවි සිහිය ලද්දේ ඔහුගේ දුරකතනය නාද වන විට ය. දුරකතනය අතට ගත් ප්‍රතිෂ්ඨ එහි දිස්වන නම දුටු සැණින් තරමක් වික්ෂිප්ත විය. එහි සටහන්ව තිබුණේ ‘‘sachethi’’ ලෙසිනි.


‘‘ගුඩ් මොර්නිං සචේති... කියන්න... ඔයා කොහෙද ඉන්නෙ...?’’

‘‘... ... ... ... ... ...’’

ආ... හරි හරි... ඔයා එහෙනං කිව් එකට එන්නකො... එක්කො මං ඔයා ඉන්න තැනට එන්නද...?’’

‘‘... ... ... ... ... ’’

‘‘ආ... හරි හරි...’’

 

දුරකතනය විසන්ධි කළ ප්‍රතිෂ්ඨ සචේති එතැයි සිතිය හැකි මග දෙස දෙනෙත් අයා සිටියේ ඇගේ සොඳුරු රුව දැකීමේ අටියෙනි. ඔහුගේ මනසේ ඇඳී තිබූ රුව වෙනුවට වෙනත් රුවක් ඈත තියාම ඍජුව ම ඔහු දෙස අවධානය යොමු කරමින් ඉදිරියට ඇදිණ. ඒ රුව සැරසී තිබුණේ ඔහු කිසිදු දිනක බලාපොරොත්තු නොවූ ඇඳුමකිනි.

 

‘අප්පට සිරි... මේ සචේති නෙ... යකෝ... මං හිතුවෙ අදත් ඩෙනිම ගහල එයි කියල... ඒත්...’


ඔහුගේ සිතුවිලි ඉනොබ්බට ගමන් කිරීමට ඉඩක් නොතැබූ සචේති ඔහු ආසන්නයට ම පැමිණ ‘‘මොකද පුදුමෙං වගේ බලං ඉන්නෙ... මං උපාසකම්ම කෙනෙක් වගේ ද...?’’ යැයි විමසුවේ හිස මඳක් පහතට නැඹුරු කර, ඇගේ ම සිරුර දෙස බැල්මක් හෙළමිනි.


‘‘පුදුම නැද්ද අනේ... මං බලාපොරොත්තුවෙං හිටියෙ ඩෙනිමයි බ්ලව්ස් එකයි ඇඳල එන සචේති නෙ... ඒක සම්පූර්ණයෙන් ම බ්ලැකවුට් උණා. අපි යන්නෙ සිල් ගන්න ද...?’’


ප්‍රතිෂ්ඨ විමසුවේ තරමක උපහාසාත්මක ස්වරයෙනි.


‘‘පිස්සු ද... මෙහෙම නෙ... අපි යන්නෙ පංසලකට නෙ... ඒ යද්දි පිළිවෙළකට සුදු වතින් සැරසිලා යන එක කෝකටත් හොඳයි නෙ... අනික අපි දන්නෑ නෙ හාමුදුරුවො කොහොම පොරක්ද කියල. මෙහෙම ඇඳුමක් ඇඳන් ගියාම ඇදක්-කුදක් කියන්න නැහැ නෙ...’’


‘එක අතකට ඒකත් ඇත්ත. අපි පංසලට යන්නෙ සිල් ගන්න නොවුනත් උදව්වක් බලාපොරොත්තුවෙන් නෙ... ඒ යද්දි එතනට සුදුසුයි කියල මිනිස්සු ම අදහස් කරන විදියෙ ඇඳුමක් ඇඳගෙන යන එක හොඳයි...’


1 indian woman vishal gurjarඒ සිතුවිලි අතරින් රිංගූ ප්‍රතිෂ්ඨ සචේතිගේ රුවෙහි සිරිය මනසින් විඳින අතර එහි උණුසුම ද මනසින් විඳින්නට යත්න දැරී ය. ඩෙනිම් කලිසම තරමට ම නොවුණ ද ඇගේ සිරුර වටා එතී තිබූ: සුදු පැහැති සහ ළා කහ පැහැයෙන් යුක්ත රටාවක් සහිත සාරිය ද ඇගේ ඉඟත්, පුළුකුලත් මැනවින් පිළිබිඹු කර තිබිණ. ඒ හැඩය ප්‍රතිෂ්ඨගේ දෙනෙතට වෙනස් හැඩයක් ගෙන දුන්න ද මනස පුරවාලූයේ ඔහු බලාපොරොත්තුවෙන් සිටි හැඩයෙන් ම ය. එසැණින් ම ඔහු ඇගේ උවන දෙස වඩාත් උනන්දුවකින් අවධානය යොමු කළේ ය. ඒ, ඇය අද දෙලවන් මත ලවනාලේප තවරා ඇද්ද යන්න නිශ්චය කරගනු පිණිස ය. පුදුමයකි...! ඇය මීට දෙදිනකට පෙර පැවසූ ආකාරයෙන් ම අද දින අගේ ලවන් මත ලවනාලේප තවරා නොතිබිණ. වචනයට පමණක් නොව සැබැ ලෙසින් ම නා දල්ලක පැහැයෙන් යුත් ඇගේ දෙලවන් දෙස ප්‍රතිෂ්ඨ දෙනෙත් අලවාගෙන සිටියේ ඇය පිළිබඳ ආදරය මෙන් ම ගෞරවය පිරි සිතුවම් කරගත් උවනෙන් යුතුව ය.


ප්‍රතිෂ්ඨ වඩාත් උනන්දුවකින් තමා වෙත අවධානය යොමු කර සිටින බව හොඳින් ම අවබෝධ කරගත් සචේති, ඇගේ උවනෙන් එවන් හැඟිමක් පිළිබිඹු නොකරමින් ම ‘‘කීයට ද බස් එක තියෙන්නෙ කියල බැලුවද ප්‍රතිෂ්ඨ...?’’ යැයි විමසුවේ ඔහු සමවැදී සිටි ධ්‍යානයෙන් මුදවාලන අදිටනෙනි.


ප්‍රතිෂ්ඨට ඇය විමසුවේ කුමක් ද යන්න නිශ්චය කරගත නොහැකි වුව ද ඇගේ දෙලවන්හි චංචලත්වය ඔහුගේ දෙනෙත් තුළ මැනවින් සිතුවම් විය. ඒ චංචල භාවය කියාපෑවේ අසවල් වදන් පෙළ නොවේදැයි අනුමාන කළ හෙතෙම ‘‘අපි එද්දි ම වගේ බස් එකක් ගිහිං... ඊළග එක තියෙන්නෙ හතයි හතළිහ.’’ යැයි පිළිවදන් දුන්නේ බස් රථ ගමන් ගන්නා කාලසටහන පිළිබඳ වෙසෙස් දැනුමක් සහිත පුද්ගලයෙකු ලෙසිනි.


‘‘ඔයා මෙතනට ආපු ගමන් ඒ විස්තරත් හොයාගත්ත ද...’’


සචේතනි විමසුවේ මඳක් විස්මිත ස්වරයකිනි.


‘ම්ම්ම්... ඇත්ත කියනව ද... එහෙම නැතිනං බොරුවක් කියනව ද...’ යැයි අදහස් කළ ප්‍රතිෂ්ඨ මුසාවාද පැවසීමෙන් වැළකී ‘‘නෑ... මං ඊයෙ නෙට් එකේ චෙක් කරල බැලුව...’’ යැයි පවසන විට ම ඉතා සෙමෙන් පැමිණි බස් රථයක් ඔවුන් රැඳී සිටි ස්ථානයට ආසන්න විය. ප්‍රතිෂ්ඨ මඳක් හිස ඔසවා එහි නාම පුවරුව වෙත අවධානය යොමු කළේ ය. එවිට ඔහුට දක්නට ලැබුණේ එහි ‘‘ඇල්පිටිය’’ ලෙස සටහන් කර තිබූ බවයි.


‘‘මේක තමයි බස්සෙක...’’


ප්‍රතිෂ්ඨ පැවසුවේ සචේතනි වෙත දෙනෙත් යොමු කරන අතර ය.

*          *          *          *          *          *          *          *          *

‘‘සචේති... සචේති... නැගිටින්න... අපි ඇල්පිටියට ආව.’’


ප්‍රතිෂ්ඨ, තම උරිස මත හිස තබාගෙන නිදා සිටින සචේතනී ඇමතුවේ ඇගේ වම් කොපුලට සෙමින් තට්ටු කරන අතර ය. ඔහුගේ කටහඬ ද ඔවුන් දෙදෙනාට පමණක් ඇසෙන්නට තරම් රහස් ස්වරයක් ඉසිලී ය.


‘‘ප්‍ර... ප්‍රතිෂ්ඨ... අනේ සොරි ප්‍රතිෂ්ඨ... මට දන්නෙම නැතුව නින්ද ගියා...’’


තිගැස්මෙන් යුතුව අවදි වූ සචේතනී සා දෙනකුගේ වන් නෙත් සඟල ප්‍රතිෂ්ඨගේ නෙත් සඟල වෙත ඉලක්ක කරමින් පැවසුවේ වරදකාරි මෙන් ම සමාව අයදින ස්වරුපයෙනි. එසැණින් ම මඳක් හිස දෙපසට කරකැවූ ඇය ‘‘කට්ටිය බහිනව නේහ්... අපිත් බහිමු ප්‍රතිෂ්ඨ...’’ යැයි පැවසුවේ තරමක කලබලකාරී ස්වරයෙනි.


‘‘බහින්න කලබල වෙන්න ඕනෙ නෑ... අපි ස්ටෑන්ඩ් එකට ම යනව නෙ... එතනට තව හෝල්ට් එකක් තියෙනව. ඒකයි මං මෙතනදි අවදි කරේ...’’


ප්‍රතිෂ්ඨ පැවසුවේ ඉතා කරුණභරිත හඬකිනි.

 

images


නිරන්තරයෙන් ම සචේතනී පිළිබඳ රාග සිතුවිලි මනසේ රඳවාගෙන සිටින ප්‍රතිෂ්ඨ ඒ මොහොතේ පසුවූයේ කිසිදු රාගික හැඟීමකින් තොර, වදනෙන් පැවසිය නොහැකි කුමක්දෝ වෙනස් හැඟීමකිනි. සචේතනීගේ හිස ඔහුගේ උරිස මත පතිත වූ මොහොතේ සිට ඔහු පසුවුයේ ද මනසින් ඇය සමග ප්‍රේමාලිංගනයේ යෙදෙමිනි. මඳ දුරක් ගමන් කළ පසු සචේතනීට තදින්ම නින්ද ගොස් ඇති බව වටහාගත් ප්‍රතිෂ්ඨ ඉතා සියුම් ලෙස ඇගේ හිස අතගෑවේ ද මනසේ තැන්පත්ව තිබෙන රාගික හැඟීම් යම් පමණකට හෝ සමනය කරගැනීමේ අටියෙනි. ඔහු එබඳු අවස්ථාවක් බලාපොරොත්තුවෙන් ම සිටියේ ය. අහඹු ලෙස එළඹෙන එවන් අවස්ථා ඔහුගේ ඉලක්කය සපුරා ගැනීම සඳහා මග විවර කරන බව හෙතෙම මැනවින් අවබෝධ කරගෙන සිටියේ ය. ඔහු මෙතෙක් ගමන් කර ඇති දිවි මග පුරා තබා ඇති එවන් සලකුණු ගිණිය නොහැකි තරම් ය. ඔහුට මේ අවස්ථාව යනු ද තවත් එබඳු එක් අවස්ථාවක් පමණි. ඔහු එවන් අවස්ථාවල මනසින් අදාළ තැනැත්තිය සමග කොපමණ දුරක් ගමන් කළ ද මතුපිටින් පෙන්වන්නේ වෙනත් ස්වරුපයකි. නමුදු කුමන හෝ හේතුවක් මත සචේතනී අවදි වු පසු ඔහු සිත තුළ තෙරපෙමින් තිබූ රාගික සිතුවිලි කෙමෙන් කෙමෙන් පහව ගොස් ඇය කෙරෙහි වෙනදා නොපැවති සුපහන් හැඟීමක් අවදි විය.


‘‘බහින්න කලිං ඔය කොණ්ඩෙ පොඩ්ඩක් හදාගන්න.’’

 

සචේතනී මීට පෙර ප්‍රවිෂ්ඨ හමු වන්නට එන අවස්ථාවල දී කොණ්ඩය සකසාගෙන පැමිණියේ එකිනෙකට වෙනස් විලාසිතාවලිනි. ඒ අතුරින් ප්‍රතිෂ්ඨ වඩාත් ආසක්ත වූයේ ඇගේ අක්බඹරු කෙහෙ රැලි සුළඟට සෙලවන්නඩ ඉඩ හැර, හිස වම් පස සිට වැඩි කොටසක් දකණු පසට වන්නට පීරා, දකුණු පස කන සම්පූර්ණයෙන් ද, දකුණු කොපුලෙන් අඩක් ද වැසෙන සේ සැකසූ විලාසිතාවට ය. ඇගේ උවනතේ පියකරු බව වඩ වඩාත් උද්දීපනය වන්නේ ඒ විලාසිතාවට යැයි ඔහු සිතී ය. නමුදු අද ඇය පැමිණියේ හිස හරි මැදින් සිටින සේ බෙදූ කොණ්ඩය පීරා තනි කරලට සිටින සේ ගොතාගෙන ය.

 

විනාඩි හතළිහක පමණ කාලයක් ඔහුගේ වම් උරිස මත ඇගේ හිස තබාගෙන සිටි බැවින් දෙපසට බෙදා තිබූ කොණ්ඩයේ දකුණු පස හිසකේ මඳක් ඉහළට මතුවී තිබිණ. කොණ්ඩය සකසා ගන්නැයි ඔහු ඇයට පැවසුවේ එබැවිනි.


කඩිනමින් ම අත්බෑගයට අත යවූ සචේතනී ඉන් පිටතට ගත් කුඩා පණාවකින් හිසකේ පිටුපසට පීරා ‘‘දැන් හරිද...?’’ යැයි විමසුවේ කුඩා දැරියක මෙනි.


ප්‍රතිෂ්ඨ ද ‘‘හරි හරි... දැන් හරි...’’ යැයි පැවසුවේ මන්දස්මිතයකින් මුව සරසාගෙන ය.


ඒ වන විට බස් රථය අවසන් නැවතුම්පොළ කරා පැමිණ තිබිණ.


ඉවර නෑ...

jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/11/18

 
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්