The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමරිසි කාන්තාවක ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඓතිහාසික පෙත්සමක්

T

The Leader Desk

January 15, 2023 • 9:02 AM

සමරිසි කාන්තාවක ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඓතිහාසික පෙත්සමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිංගික දිශානතිය මත වෙනස්කොට සැලකීම් සිදුකිරීම මත 23 හැවිරිදි කාන්තාවක් ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඓතිහාසික මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
  •   මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
  • ශ්‍රී ලංකාවේ සමරිසි (LGBT+) පුද්ගලයන් බලහත්කාරයෙන් මනෝවෛද්‍ය පරීක්ෂාවලට යොමුකිරීම සුලභ සිදුවීමක් වන අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන ශාරීරික පරීක්ෂා අතර බලහත්කාරයෙන් ගුද මාර්ගය හෝ යෝනි මාර්ගය පරීක්ෂාවට ලක්කිරීම ඇතුළත් වේ.
  • මෙම පරීක්ෂාවලදී සමරිසි (LGBT+) පුද්ගලයකුගේ යෝනි මාර්ගයට හෝ ගුද මාර්ගයට ඇඟිලි ඇතුලුකර සමලිංගිකත්වයට “සාක්ෂි” තිබේ ද යන්න පිරික්සා බලන බවත් වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):



තම ලිංගික දිශානතිය මත වැලිසර මහබාගේ පොලීසිය විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අවස්ථා කිහිපයක්ම ඇය සිය පෙත්සමේ සඳහන් කර ඇත.  

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙවන් නඩුවක් ගොනුවන පළමු අවස්ථාව මෙයයි. තිෂ්‍ය වේරගොඩ, පුලස්ති රූපසිංහ සහ ස්ටෙෆානියා පෙරේරා යන නීතීඥවරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටිති.


වින්දිත කාන්තාව සති ගණනක් නිවසේ සිරකර අපයෝජනයට ලක්කරලා


තම ලිංගික දිශානතිය සිය දෙමාපියන්ට හෙළිදරව් කිරීම මත, වෘත්තිකයකු සහ වැඩිහිටියකු වන මෙම කාන්තාව ඇගේ දෙමාපියන් විසින් බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ තබා ඇති අතර, මේ අන්දමින් සති ගණනක් සිරකර ඈ අපයෝජනයට ලක්කළ බව වින්දිත කාන්තාව අනාවරණය කර සිටියි. 

 

තමා බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ තැබීම සහ දිගින් දිගටම අපයෝජනයට ලක්කිරීමට අදාළව වැලිසර මහබාගේ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරීමට ගිය විට, පැමිණිල්ල භාරගනු වෙනුවට පොලීසිය විසින් තම ලිංගික දිශානතිය පරීක්ෂා කිරීමට විමර්ශනයක් දියත් කළ බවත්, ඒ නයින් ඇගේ “සමලිංගිකත්වය තහවුරු කිරීමට සාක්ෂි සොයා ගැනීමට” තම ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය පොලීසිය භාරයට ගත් බවත් පෙත්සම්කාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

“සමලිංගිකත්වය තහවුරු කරන සාක්ෂි” සෙවීමේ අරමුණින් මහබාගේ පොලීසිය වින්දිත කාන්තාව වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට තැත් කරලා


ඉන් අනතුරුව, පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත්වීම මත පෙත්සම්කාරිය බලහත්කාරයෙන් මනෝවෛද්‍යවරයකු වෙත යොමුකිරීමටත්, ඉන් අනතුරුව ශාරීරික පරීක්ෂාවක් සිදුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියකු (JMO) වෙත යොමුකිරීමටත් මහබාගේ පොලීසිය තැත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ සමරිසි (LGBT+) පුද්ගලයන් බලහත්කාරයෙන් මනෝවෛද්‍ය පරීක්ෂාවලට යොමුකිරීම සුලභ සිදුවීමක් වන අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන ශාරීරික පරීක්ෂා අතර බලහත්කාරයෙන් ගුද මාර්ගය හෝ යෝනි මාර්ගය පරීක්ෂාවට ලක්කිරීම ඇතුළත් වේ. එසේ සිදුකරනුයේ, සමලිංගිකත්වය “තහවුරු කිරීම සඳහා සාක්ෂි” සොයා ගැනීම යැයි කියාගත් පදනමක් මත ය.


බලහත්කාරයෙන් ගුද සහ යෝනි මාර්ග පරීක්ෂා සිදුකිරීම
 
 
ශ්‍රී ලාංකික සමරිසි (LGBT+) පුද්ගලයන් පුරුද්දක් ලෙස පොලිස් වධහිංසනයට ලක්කරන බවත්, මේ අතර සමලිංගිකත්වයට “සාක්ෂි” සොයා ගැනීමේ අරමුණින් ඔවුන් බලහත්කාරයෙන් ගුද හෝ යෝනි මාර්ග පරීක්ෂාවලට ලක්කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත යොමුකරවන බවත් ඉකුත් 2020 වර්ෂයේදී ඩේලි මිරර් පුවත්පත විසින් අනාවරණය කර තිබිණි. මෙම පරීක්ෂාවලදී සමරිසි (LGBT+) පුද්ගලයකුගේ යෝනි මාර්ගයට හෝ ගුද මාර්ගයට ඇඟිලි ඇතුලුකර සමලිංගිකත්වයට “සාක්ෂි” තිබේ ද යන්න පිරික්සා බලන බවත් වාර්තා විය.
 
 
උක්ත පෙත්සම හරහා පෙත්සම්කාරිය පෙන්වා දෙන්නේ, පොලීසිය විසින් තමා ද ඊට සමාන පරීක්ෂාවකට යොමුකිරීමට තැත්කළ බවත්, තමා සමරිසි කාන්තාවක් බැවින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ තමාට විරුද්ධව නඩුවක් පැවරීමට ඔවුන් කටයුතු කළ බවත් ය. වැලිසර අධිකරණය විසින් මෙම නඩුව නිශ්ප්‍රභා කළ අතර, සමලිංගිකත්වය යනු මානසික රෝගයක් හෝ අපරාධ වරදක් නොවන බවට පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් විසින් ඉදිරිපත් කළ තර්කය පිළිගෙන තිබිණි.


සමරිසි (LGBT+) ප්‍රජාවට එරෙහි වෙනස්කොට සැලකීම ව්‍යවස්ථා විරෝධීයි


සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහි වෙනස්කොට සැලකීම ව්‍යවස්ථා විරෝධී බවත්, පවතින නීතිය සමරිසි (LGBT+) ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුවන අන්දමින් යොදාගත නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2014 වර්ෂයේ සිට පිට පිට අවස්ථා ගණනාවකම ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ සමළු හමුවේ නීතීපති දෙපාර්තමේන්තුව විසින් මෙය අවස්ථා ගණනාවකදී ම සපථ කර සිටිය ද, සමරිසි (LGBT+) ශ්‍රී ලාංකිකයන්ට සිදුවන මෙවන් බිහිසුණු මානව හිමිකම් උල්ලංඝනයන් ආමන්ත්‍රණය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන නැත.
 
 
දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති යොදාගනිමින් සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කරයි. මෙම වගන්ති මඟින් “සොබාදහමට එරෙහි කාමුක සංසර්ගය” සහ “පුද්ගලයන් අතර සිදුවන බරපතල අශෝභන ක්‍රියා” සාපරාධී වැරදි ලෙස සලකන මුත්, එකී එකඳු වගන්තියක හෝ සමලිංගිකත්වය පිළිබඳ සඳහනක් ඇත්තේ නැත. එසේ වූව ද, සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට ඉතිහාසයේ පටන්ම මෙම නීති යොදා ගැනීම සිදුව තිබේ.
 
 
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් තම අර්තනිරූපණයන් ලබා දීමේ බලය භාවිතා කරමින් සම්මුතිගත සමරිසි සබඳතා අස්වාභාවික හෝ බරපතල අශෝභන ක්‍රියා නොවන බවට නිගමනය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිගමන යළි අර්තනිරූපණය කිරීම හෝ කියවීම මඟින් සමරිසි (LGBT+) ප්‍රජාවට සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් අවසන් කිරීමෙහි ලා දිගු ගමනක් යාමට හැකිවනු ඇති බවට හිමිකම් ක්‍රියාධරයන් විසින් බොහෝ කලක පටන් විශ්වාසය පළකර තිබේ.

ඉකුත් වර්ෂයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති සංශෝධනය විය යුතු බවට යෝජනා කරමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ තවමත් විවාදයට ගෙන නැත.


සහනයක් බලාපොරොත්තුවෙන්
 
 
මෙම පෙත්සම්කාරිය විසින් ඈට රජය විසින් ලබා දීම ප්‍රතික්ෂේප කරන සමානාත්මතාවයට ඇති අයිතිය, සිතීමේ හා හෘදසාක්ෂියේ නිදහස, කෘෘර හා අවමන් සහගත සැලකීම්වලින් නිදහස ලැබීමට ඇති අයිතිය, සහ නීත්‍යානුකූල රැකියාවක නිරත වීමට ඇති අයිතිය ආදී මූලික අයිතිවාසිකම් කිහිපයකටම අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ඉල්ලා ඇත.  
 
ලිංගික දිශානතිය මත පදනම්ව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් හෝ බලහත්කාරයෙන් වෛද්‍ය ඇගයීම්වලට යොමු කිරීමෙන් වැළකී සිටින ලෙස අනෙකුත් පොලිස් නිලධාරීන්ට නියෝග කරන මෙන් ශ්‍රී ලංකා පොලීසියට නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමරිසි කාන්තාවක ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඓතිහාසික පෙත්සමක් | The Leader