කාන්තාව සඳහා වන නීතිමය අර්ථ දැක්වීම ජීව විද්‍යාත්මක ලිංගිකතාව මත පදනම් වන බවට එංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය අප්‍රේල් 15 වැනිදා දුන් තීන්දුවෙන් පසුව ප්‍රකාශයක් කරන FA, මින් ඉදිරියට කාන්තා පාපන්දු තරගවල ක්‍රීඩා කිරීමට අවසර ලැබෙන්නේ කාන්තාවන් ලෙස උපත ලැබූවන්ට පමණක් බව කියා සිටිනවා.
ස්කොට්ලන්තයේ පාපන්දු සංගමය ද සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් තහනම් කරන බව පවසා තිබෙන අතර එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය ද (ECB) කාන්තා ක්‍රීඩාව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තහනම් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා.
Natalie Washington
“අපට තවදුරටත් පාපන්දු ක්‍රීඩා කරන්න බැහැ” යනුවෙන් ‘සංක්‍රාන්ති ලිංගික ජනතාවට විරුද්ධව පාපන්දුව’ නමැති ව්‍යාපාරයේ ප්‍රධානී නටාලී වොෂිංටන් (Natalie Washington) පවසනවා.
2017 වසරේදී කාන්තා කණ්ඩායමකට එක්වීමට පෙර වොෂිංටන් පිරිමි ඉරිදා පාපන්දු ලීග් තරග ක්‍රීඩා කළා. එංගලන්තයේ ආධුනික පාපන්දු ක්‍රීඩා කිරීම පිණිස ලියාපදිංචිව සිටින සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් 28 දෙනාගෙන් වොෂිංටන් ද කෙනෙක්.
“මේක නොසිතූ දෙයක්. පෞද්ගලිකව මට සහ පාපන්දු ක්‍රීඩා කරන මිනිසුන් බොහෝ දෙනෙකුට මේ තීන්දුවෙන් හැඟෙන්නේ පසුගිය සතියේ සහ පසුගිය දශක ගණනාවක් තිස්සේ අපි කළ දේවල් තවදුරටත් අපිට කරන්න බැරි බව” යනුවෙන් ඇය සඳහන් කරනවා.

“මම පිරිමින්ගේ තරග ක්‍රීඩා කිරීම නතර කළේ මීට අවුරුදු 10-12කට පෙර. එතන සංක්‍රාන්ති ලිංගික අයට ආරක්ෂිත තැනක් කියලා මට දැනුනේ නැහැ. එහි තවදුරටත් තරග කරන්න ඇත්තටම මට හැකියාවක් නැති බව මට හැඟෙනවා.”
“හෝමෝනවලින් තිබෙන බලපෑමෙන් දැනෙන්නේ, මම ඉඳහිට පිලකට පස් දෙනා බැගින් වන පිරිමි ව්‍යායාම් තරගවල ක්‍රීඩා කරන විට, මගේ වයසේ පිරිමින් හෝ ඒ සමාන ශාරීරික ගති ලක්ෂණ ඇති අය සමග තරග කිරීමට මට නොහැකි බවක්.”
“යථාර්ථය වන්නේ අපේම ක්‍රීඩාවක් අපට පවත්වා ගෙන යන්න ප්‍රමාණවත් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් පිරිසක් සමාජයේ නැතිවීමයි. “
“ප්‍රශ්නයක් ඇති නොකර තමන්ගේ පාඩුවේ කල්ගෙවන ඉතාම කුඩා සංඛ්‍යාවක ජනතාවක් කෙරෙහි ලොකු අවධානයක් යොමු කිරීමයි මෙහිදී සිද්ධ වෙලා තියෙන්නේ.”
“ඇත්ත වශයෙන්ම පොදුවේ ගත්විට මෙය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සහ යථාර්ථවාදීව බලන විට, විශේෂයෙන් දශක ගණනාවක් තිස්සේ කාන්තා පාපන්දු ක්‍රීඩා කරමින් සිටින පුද්ගලයන්ට කරන පාපන්දු ක්‍රීඩා තහනමක්.”

“කවදාහරි පිරිමි තරග ක්‍රීඩා කර තිබෙන අය ඇතුළුව නැවත පිරිමි තරගවලට ගොස් ක්‍රීඩා කරන පුද්ගලයන්ට මෙයින් මානසිකව අභියෝගයක් සහ ශාරීරිකව අනතුරු සිදුවිය හැකි අවදානමක් ඇතිවෙනවා.”
“එබැවින් මෙයින් ඇත්ත වශයෙන්ම කෙරෙන්නේ මේ පුද්ගලයන්ව පාපන්දු ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඉවතට තල්ලු කිරීමයි.”
ක්ෂණික තහනමකට මුහුණ දී සිටින සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට එංගලන්ත පාපන්දු සංගමය ලිපියක් යවා තිබෙනවා. නොමිලේ, සම්පූර්ණයෙන් රහස්‍ය මාර්ගගත විශේෂ මානසික චිකිත්සාවක් මේ ක්‍රීඩිකාවන්ට ඉදිරිපත් කිරීමට අමතරව මිශ්‍ර ලිංගික පාපන්දු ක්‍රීඩාවක් 2026-27 සිට ලබා දීමට FA අපේක්ෂා කරන බව සඳහන් එම ලිපියෙන් මේ ක්‍රීඩිකාවන්ට පාපන්දු ක්ෂේත්‍රයේ වෙනත් අංශවලට මාරුවන ලෙස ට ද යෝජනා කර තිබෙනවා.
Sharron Davies
මේ අතර, හිටපු පිහිනුම් ක්‍රීඩිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනයක වන ෂැරෝන් ඩේවීස් (Sharron Davies) ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පිළිබඳව අදහස් දක්වමින්, කාන්තාවන්ට අවසානයේ ඔවුන්ගේ ක්‍රීඩාව නැවත ලැබෙමින් තිබෙන බව කියා සිටිනවා.
1980 මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගත් 62 හැවිරිදි ඩේවීස්, කාන්තාවන්ගේ ක්‍රීඩාවලට සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් ඇතුළත් කිරීමට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ තර්ක කරමින් සිටින කෙනෙක්. කාන්තාවන්ට අවසානයේ ඔවුන්ගේ ක්‍රීඩාව නැවත ලැබීම පිළිබඳව තමා සිටින්නේ උතුරා යන ප්‍රීතියෙන් බවත් ක්‍රිකට් ක්‍රීඩාව ද මෙය අනුගමනය කරනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවත් ඇය ප්‍රකාශ කරනවා.
“විද්‍යාව තවමත් එහෙමමයි. පිරිමින් කාන්තාවන්ට වඩා සියයට 50ක් වැඩි හයියකින් පන්දුවට පයින් ගහනවා. ඔවුන් උසින් වැඩියි. ඔවුන්ට වඩා විශාල අත් සහ කකුල් තියෙනවා. මීට අමතරව ඔවුන් විශේෂයෙන් ගෝල් ලබා ගැනීමේදී වඩාත් ක්‍රියාශීලීයි” ඩේවීස් පවසනවා.
“ක්‍රීඩා වාරය අවසන් කරවන ආබාධ නිසා ස්වයං හානි සිදුකර ගන්නා තමන්ගේ තරුණ කෙල්ලන් ගැන දැඩි කම්පාවට පත්වූ දෙමාපියන් මට කතා කර තිබෙනවා. එහෙම නැත්නම්, ප්‍රතිවාදී කණ්ඩායමේ පිරිමියෙක් සිටින බවට හඳුනා ගැනීම නිසා තරග හයක තහනමකට ලක්වීමෙන් මානසිකව ඇදවැටුනු දූවරුන් මට මුණගැසී තිබෙනවා.”
“මේ නඩු තීන්දුවෙන් පසුව, තමන්ගෙන් සමාව ඉල්ලීමක අයිතියක් තිබෙන බොහෝ පුද්ගලයින් ඇතිවී සිටිනවා.”

“ඇත්තෙන්ම ජනගහණයෙන් අඩක් වන කාන්තාවන්ට මෙය බලපානවා. විශේෂයෙන් ක්‍රීඩාවේ මුල් අවධියේ සිටින හා කණිෂ්ඨ තරග ක්‍රීඩා කරන්නන් ඇතුළු සියලුම තරුණ කෙල්ලන් හා සියලු කාන්තාවන්ට මෙය බලපානවා. ඒ නිසා මෙය ක්‍රීඩාවේ අවංකත්වය පිළිබඳ කාරණයක්. උපතින් කාන්තාවක වූ කෙනෙකු වශයෙන් ඔබට ද, උපතින් පිරිමියෙකු වූ අයෙකුට වගේම ඒ අවංකත්වය අයිතියි.”
සෑම කෙනෙකුම ක්‍රීඩා කිරීමට සුදුසු වන අතර සියලු දෙනාවම ඊට ඇතුළත් කිරීමට මාර්ගයක් එංගලන්ත පාපන්දු සංගමය විසින් සොයාගත යුතු බව ෂැරෝන් ඩේවීස් වැඩිදුරටත් කියනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



