ලංකාවේ චිත්රකතා වංශකතාවේ අමතක නොවන හැරවුම් ලක්ෂ්යයක් සලකුණු කරමින්, ශ්රී ලංකාවේ දෙවන චිත්රකතා පුවත්පත ලෙස 'සිත්තර' දොරට වැඩියේ 1975 ඔක්තෝබර් 20 වනදා ය. ඊයේ (ඔක්තෝබර් 20) ඒ අභිමානවත් ආරම්භයට වසර 51ක් සම්පූර්ණ විය.
එතෙක් 'ලෙටර් ප්රෙස්' මුද්රණයෙන් සහ ටබ්ලොයිඩ් ප්රමාණයෙන් පළවූ 'සතුට' පත්තරය කියවා හුරුපුරුදුව සිටි චිත්රකතා පාඨකයින්ට, 'ඩිමයි පිටු කාල ප්රමාණයෙන් සහ මනස්කාන්ත 'ඔප්සෙට්' වර්ණ මුද්රණයෙන් යුතු 'සිත්තර' පුවත්පතේ අලුත් ම හැඩය සහ සුපැහැදිලි මුද්රණය නවමු වූත්, අතිශය චිත්තාකර්ෂණීය වූත් අත්දැකීමක් විය.

එකල අලෙවි වාර්තා පිට වාර්තා තබමින්, ලක් දෙරණෙහි ලක්ෂ සංඛ්යාත ප්රේක්ෂක හදවත් අත්පත් කරගත් 'සිත්තර', සැබැවින් ම මෙරට සුවහසක් පාඨකයින් ගේ රසවින්දනයේ සන්නාමය බවට පත්විය.
ප්රවීණ මාධ්යවේදී චින්තන ජයසේන ගේ කතෘත්වයෙන් එදා එළිදැක්වුණු එම අතිසාර්ථක පත්තරයේ මංගල කලාපය වෙනුවෙන්, මෙරට ප්රවීණ චිත්ර ශිල්පීන් සහ නවක චිත්ර ශිල්පීන් දසදෙනෙකු තම විශිෂ්ට නිර්මාණ දායකත්වය ලබා දුන්හ.
මතු දැක්වෙන්නේ මෙම සුන්දර මතකාවර්ජනය වෙනුවෙන්, එදා මංගල කලාපය සරසමින් පාඨක හදවත් වෙනත් ලොවකට ගෙන ගිය එම චිත්ර ශිල්පීන් සහ ඔවුන්ගේ එදා පළවූ නිර්මාණ පෙළගැස්මයි.

ජිනප්රේම බෝදාහන්දි – කළු සිංහයා
හෙන්රි බෙම්මුල්ල – පළිඟු දිවයින / ඉතිහාසගත චරිත
කැමිලස් පෙරේරා – ගජමෑන් / සෙල්ලං සේන / ටික්කා / මෙහෙව් රටේ
බලංගොඩ සරත්මධු – යුනිකෝ / ඉතිං ඊට පස්සේ...
රන්ජන් ප්රනාන්දු – මරිජුවානා කාරයෝ
ෆිලික්ස් පෙරේරා – සල්ෆා
ඇන්ටන් බී. පෙරේරා – ටෝරස්
ඉන්ද්රජිත් රන්ජන් – සුවඳි
සරත් කවිරත්න – රන් මකරා
ධනපාල ගාල්ලගේ – රතු කැටය

අපේ ළමා කාලය සහ යොවුන් විය වර්ණවත් කළ, මෙරට පරිකල්පනයේ මාන අලුත් කළ ඒ අසිරිමත් 'සිත්තර' පත්තරය එදා හැඩගැන්වූ අදටත් අප අතර සිටින ප්රවීණ ශිල්පීන්ට අපගේ ගෞරවාන්විත ප්රණාමය සහ සෙනෙහස පුද කරන අතර, මෙලොවින් සමුගෙන ගිය ඒ අසහාය චිත්ර ශිල්පීන්ට අපගේ නිහතමානී උපහාරය සහ පිං පූර්වක ස්මරණය හිමිවේ.
මේ නිර්මාණය කිරීමේ දී අඩුපාඩුවක්ව පැවති ඇතැම් ඡායාරුප මා වෙත ලබා දුන් ප්රසංග පිගේරා, ජයනාත් බොදාහන්දි යන සිත්තරුන්ට ස්තුතියි.
සටහන - රංජිත් පුෂ්පකුමාර
උපුටා ගත්තේ Ranjith Pushpakumara ගේ face book පිටුවෙන්



