යෞවන සමාජ නිලතල පත්කිරීම්වල දී විරෝධය එල්ල විය.
මෙම විරෝධතාවේ ම දිගුවක් ලෙස හෙට (06) දිනයේ දිවයිනේ පිහිටි සියලු යෞවන සමාජ නියෝජනය කරමින් යෞවන යෞවනියෝ කොළඹට පැමිණ සිය විරෝධතාව දක්වන්නට සුදානමින් සිටිති.
ඔවුන් කොළඹට පැමිණිමට එරෙහිව ආණ්ඩු පාර්ශවයෙන් ද විවිධාකාරයේ විරුද්ධතා මෙන් ම; තර්ජනය කිරීම්, බිය වැද්දීම් යනාදිය සිදුවන්නේ යැයි ඒම යෞවන සමාජ සාමාජික සාමාජිකාවෝ ද පවසති.
මතු පළ වන්නේ දිවයිනේ යෞවන සමාජ කිහිපයක විවිධ නිලතල දරන පිරිසක් විසින් දක්වන ලද අදහස් කිහිපයකි.
අපි එන්නේ ඇනකොටා ගන්න නෙවෙයි
ඉමන්ත ප්‍රියසාද් විමලවිර; මාතලේ දිස්ත්‍රික් ජාතික මණ්ඩල නියෝජිත ,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සංස්කෘතික කාර්යාංශයේ සභාපති.
අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ, යෞවන සමාජ සම්මේලනය පවතින රජයේ අතකොළුවක් කිරීමට විරුද්ධව අපිත් එක්ක හිටගන්න සියලු දෙනාට 6 වෙනිදට එන්න කියන්න. මේ පිළිබඳව සමාජ මාධ්‍යවල එහෙම එක එක කතා කියල තිබුණා. අපි දැක්කා එක එක ඉලක්කම් කියලා තිබුණා. අපි නම් එහෙම කියලා තිබුණේ නෑ. හැබැයි අපි එනවා. අපි 6 වෙනිදා එන්නේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.
අපි 6 වෙනිදා ඒ කිව්වේ හෙට එන්නේ යෞවන සමාජ සම්මේලනය දේශපාලනය කිරීම නවත්වන්න කියන්න. අපිව නාවනවා කියලා තිබුණා. අපි එන්නේ ඇණකොටා ගන්න නෙමෙයි. අපි එන්නෙ ආදරේ අරගෙන; සමගිය,මිත්‍රත්වය, සහයෝගය හා සංවර්ධනය පෙරටු කරගෙන වැලි කැටයක් වත් අරං නෙවේ. අපි එන්නේ එදා කියපු පාට පාට මල් වට්ටිය හදන්න.
අපි 2022 අරගලයේ youth center එක නියෝජනය කරපු තරුණයෝ
ඉදුනිල් බංඩාර; හිටපු ම.නු.ප ප්‍රාදේශීය මණ්ඩල නියෝජිත, අනුරාධපුර
අපි මේ දිනවල දකිනවා සමාජ මාධ්‍ය හරහා තරුණයින් බේද කරවන සමාජය තුළ වෛරය පතුරවන ප්‍රකාශ වගේම මේ යෞවන සමාජවල පවතින ගැටලුව සම්බන්ධයෙන් හෙට දවසේ පවත්වන්න සැලසුම් කරල තියෙන විරෝධතාවය පිළිබඳව ඉතාමත් වෛරී සහගත ප්‍රකාශ. ඒ වගේම අපේ ඉල්ලීමට අපිට හරි උත්තරයක් දෙන්නැතුව මේක එක් දේශපාලන කණ්ඩායමක විරෝධයක් විදිහට පැත්තකට තල්ලුකරන්න මේ ගොල්ලෝ දැන් උත්සහ කරනවා.
මෙයාල කියන විදිහට පොහොට්ටුව පැත්තෙන් මේක සංවිධානය කරනවානම් අපි කොහොමද අද මෙතන ඉන්නෙ. මොකද අපි යෞවන සමාජ සාමාජිකයින් විදිහට 2022 අරගලයේ youth center එක නියෝජනය කරපු තරුණයෝ. වත්මන් සභාපතිතුමත් අපිත් එක්ක එක කඳවුරක ඉදගෙන තමයි එදා අරගලයට සහභාගී උණේ පොහොට්ටුවට විරුද්ධව.
මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගලයට එල්ල වෙච්ච ප්‍රහාරයෙන් මම ඇතුළු අපේ යෞවන සමාජ සාමාජිකයින් ගණනාවකටම තුවාල උණා. අපි එදත් එක අරමුණක් වෙනුවෙන් එකතු උන තරුණයෝ. අදත් අපි එකතු වෙලා ඉන්නෙ එක අරමුණක් වෙනුවෙන්. ඒකට කවුරු හරි පොහොට්ටුවේ ලේබල් එක ගහනවට පෞද්ගලිකව අපි විරුද්ධයි. අපි විනයක් තියෙන තරුණයෝ; සමගිය, මිත්‍රත්වය, සහයෝගය හා සංවර්ධනය කියන සතර විද ප්‍රතිඥාවකින් වැඩ කරන තරුණයෝ.
ඒ නිසා අපි මිනිස්සු පීඩාවට පත් කරන්නෑ. අපි විනය විරෝධී වැඩ කරන්නෙ නෑ. අපි ඉතාම සාධාරණ විදිහට තමයි මේ විරෝධය දක්වන්නෙ. ඒ නිසා අපිට පුංචි මහත්තුරු කිව්ව, ලොකු මහත්තුරු කියල හිතාගෙන ඉන්න අයටත් අපි මේ කියන්නේ කොහොමද එකමුතුව සමගියෙන් ප්‍රතිඥා සහගතව වගේම පුංචි මහත්තුරුන්ගේ සංවිධාන ශක්තියත් ලොකු මහත්තුරුන්ට හෙට බලල ඉගෙන ගන්න පුළුවන්.
අපි පෙනී සිටින්නේ පොදු අරමුණක් වෙනුවෙන්
ළහිරැ සදරුවන්: පස්වන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී, රත්නපුර දිස්ත්‍රික්කය
යෞවන සමාජ වලට අද වෙද්දි අසාධාරණයක් කරලා තියනවා. ඒකට සෘජුව ජාතික ජනබලවේගය පක්ෂයේ පිරිස් සම්බන්ධ වෙලා තියනවා. පා.ම, ප්‍රා.ස.ම ඒ වගේම SYU එකේ සාමාජිකයින්. ඉස්සර දේශපාලන බලපෑම් තිබුණා. ඒත් මෙහෙම අලුත් චක්‍රලේඛ හදලා එක් පක්ෂයකට කොටු කරන්න හැදුවෙ නැ.
අපි හැමෝ ම විවිධ දේශපාලන මත දැරුවත් අපිට බලපැමක් වෙලා නැ. අපි සමගියෙන් වැඩ කළා. අපි ස්වාධීනව යෞවන සමාජවල හිටියා. මේ වෙද්දි අසාධාරණයට ලක්වෙලා ඉන්නෙ. අපි ඒ අසාධාරණයට විරුද්ධව නැගී සිටිනවා. අපි පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ සටන එක පක්ෂයකවත් අතකොලුවක් වෙන්නෙ නෑ. ලේබල් ගහන්න එන්න එපා. මේ සටන 'යෞවන සමාජවලට අත නොතබනු' කියන එක.
ස්වාධීන යෞවන සමාජ අද දේශපාලනීකරණය කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මේ අතර අද (05) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමින් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ස්වාධීන යෞවන සමාජ අද දේශපාලනීකරණය කර ඇතැයි ආණ්ඩුවට චෝදනා කළේය.
මෑතකදී තරුණ සේවා සභාව නිකුත් කළ 2/11/25/1 දරන චක්‍ර ලේඛනය මගින් 2025 මැයි 23ට පෙර පිහිටුවා තිබු සියලුම යෞවන සමාජවල වලංගුභාවය අහෝසි කර නව යෞවන සමාජ පිහිටුවීමට කටයුතු කර ඇති බවත් එහි දී සියලුම යෞවන සමාජ දේශපාලනීකරණයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වන බවත් දේශපාලන වුවමනා මත මෙකී යෞවන සමාජවල විධායක නිලධාරීන් පත්කර ඇති බවට චෝදනා එල්ල වන බවත් මෙය යෞවන සමාජවල සෛරීත්වය කෙරෙහි විශාල බලපෑමක් එල්ල වීමක් බවත් නව නියෝග මාලාවක් මගින් දේශපාලන හිතවතුන් සදහා වාසි ලබා දීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ජාතික තරුණ සේවා සභාව 2/11/25/1 යටතේ නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව නව යෞවන සමාජ පිහිටුවීමේ දී දේශපාලන බලපෑම් සිදුව ඇත්ද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් පොළොන්නරුව, කළුතර, බදුල්ල, කෑගල්ල, ගම්පහ, හම්බන්තොට ඇතුළු ප්‍රදේශ ගණනාවක් මෙහි විධායක තනතුරු සදහා ආණ්ඩු හිතවාදීන් පත් කිරීම නිසා දේශපාලන බලපෑමක් සිදුව ඇති බවත් නව යෞවන සමාජ පිහිටුවීමේ පරමාර්ථය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ජාතික තරුණ සේවා සභාව මගින් යෞවන සමාජ සදහා බලපැවැත්වෙන පරිදි ස්ථාවර නියෝග මාලාවක් ඉදිරිපත් කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් මෙහි විධායක තනතුරක් සදහා අවම වසර දෙකක කාලයක් සම්පූර්ණ කර තිබීම යන නියෝගය වෙනස් කර ඇත්නම් එය විධායක තනතුරු සදහා දේශපාලන හිතවතුන් පත් කර කිරීමට ක්‍රියාකිරීමක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙය යෞවන සමාජ ව්‍යවස්ථාව අතික්‍රමණය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ යෞවන සමාජ ග්‍රාමසේවා වසම්වලින් බිහි වී දිස්ත්‍රික් හා ජාතික මට්ටමට එන විට පක්ෂ භේදයෙන් තොරව ක්‍රියාත්මක වූ බවත් ඕනැම තරුණ තරුණියකට එයට බැඳීමට හැකිව තිබූ බවත් මේ පක්ෂ භේදයෙන් තොරව ක්‍රියාත්මක වීමට හොදම විසඳුමක් ලෙස යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව එකට එකතු වී රජයෙන් ලබා දුන් ලක්ෂ 1500ක් දුන්නත් ලක්ෂ 4500ක ව්‍යාපෘති බවට එය පත් කළ බවත් ඒ නිසා ගමට කෝටියක් වැඩසටහන යටතේ ලබා දුන් ලක්ෂ 4500ක් දුන්නත් ලක්ෂ 9000ක සේවා ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සබැඳි පුවත් :
වෛරය සහ ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු වෙමින් පවතිනවා - දිනන දකුණ කියයි




