චෝදනා පත්‍රය හමුවේ නිවැරදිකරු බව කියයි: ස්විට්සර්ලන්තයේ සිටින සාක්ෂිකරු නිශාන්ත සිල්වාට සිතාසි නිකුත් කිරීමට නියෝග
2008 සහ 2009 වසරවලදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන නාවික නිලධාරී චන්දන ප්‍රසාද හෙට්ටිආරච්චි නමැත්තාට සැඟව සිටීමට හා විදේශගත වීමට ආධාර අනුබල දීම, විමර්ශනවලට බාධා කිරීම ඇතුළු චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළේය.
පෙර නඩු දිනයේදී සිදුකළ නියෝගයකට අනුව නොතීසි ලැබ අධිකරණයේ පෙනී සිටි හිටපු නාවික හමුදාපතිවරයා, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස මුදාහැරිණි.
චෝදනා පත්‍රය කියවීම සහ විත්තියේ තර්ක
අද දින සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහුට අදාළ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවනු ලැබීය. චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට සැඟව සිටීමට සහ විදේශගත වීමට ආධාර අනුබල දීම, තොරතුරු සැපයීම පැහැරහැරීම, විමර්ශන නිලධාරීන්ට බාධා කිරීම සහ දෙවන සැකකරුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් විය.
සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න සිය නීතිඥවරයා මාර්ගයෙන් එම සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කරුණු දක්වමින් කියා සිටියේ, සිය සේවාදායකයා මීට පෙර මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර පසුව නීතිපති උපදෙස් මත නිදහස් කර තිබූ අයෙකු බවයි. එසේම ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ අඩංගු කරුණු නීතියට පටහැනි බවට ද ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.
කෙසේ වෙතත්, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විධිමත් විමර්ශනවලින් පසුව මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.
ස්විට්සර්ලන්තයේ සිටින සාක්ෂිකරුට සිතාසි
මෙහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන හිටපු පොලිස් නිලධාරී නිශාන්ත සිල්වා දේශපාලන රැකවරණ ලබා දැනට ස්විට්සර්ලන්තයේ පසුවන බව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් ඔහු වෙත ඉංග්‍රීසි භාෂාවෙන් සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අදාළ නඩුව වැඩිදුර විභාගය සඳහා 2026 දෙසැම්බර් මස 09 වනදා නැවත කැඳවීමට නියමිතය.




