දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ පොලී අනුපාත පහත වැටෙනු ඇතැයි රජය අපේක්ෂා කළද, ඊයේ (03) පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සියලුම කල් පිරීම් යටතේ බිල්පත් පොලී අනුපාත (Yields) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ දත්තවලට අනුව, රජය විසින් රුපියල් බිලියන 140 ක බිල්පත් වෙළඳපොළට ඉදිරිපත් කළ ද, ඉන් විකුණාගත හැකි වූයේ රුපියල් බිලියන 111.1 ක් පමණි.
මෙහිදී දින 91 (මාස 3) බිල්පත් පොලී අනුපාතය පදනම් ලක්ෂ්‍ය 48 කින් ඉහළ ගොස් 9.84% ක් ලෙස සටහන් වූ අතර, දින 182 (මාස 6) බිල්පත් අනුපාතය 10.01% දක්වාත්, දින 364 (වසර 1) බිල්පත් අනුපාතය 10.02% දක්වාත් 10% සීමාව ඉක්මවමින් ඉහළ ගොස් ඇත.
වෙළඳපොළ ආණ්ඩුවට කියන ඇත්ත!
මහ බැංකුව මෑතකදී මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට ගත් තීරණයත් සමඟ, වෙළඳපොළ ආයෝජකයන් වැඩි පොලියක් බලාපොරොත්තු වන බව මෙම වෙන්දේසි ප්‍රතිඵලයෙන් පැහැදිලි වේ.
ආණ්ඩුවට අඩු පොලියට සල්ලි සෙවීමට අවශ්‍ය වුවද, ආයෝජකයන් අඩු පොලියට බිල්පත් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා රුපියල් බිලියන 29 කට ආසන්න බිල්පත් ප්‍රමාණයක් ආණ්ඩුවට විකුණා ගැනීමට නොහැකි විය.
පොලී අනුපාත මෙලෙස යළිත් 10% සීමාවෙන් ඉහළට ගමන් කිරීම, ඉදිරියේදී රටේ වාණිජ බැංකු ණය පොලී අනුපාත කෙරෙහි ද බලපෑම් එල්ල කළ හැකි බැවින්, එය ව්‍යාපාරිකයන්ට මෙන්ම සාමාන්‍ය ණය හිමියන්ට ද යහපත් සංඥාවක් නොවේ.
(සටහන | සම්පත් ධීරසේකර)




