(අගෝස්තු 05) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීය.
එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු විමර්ශන කමිටුව මගින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 23ක් එල්ල කර තිබිණි.
පාර්ලිමේන්තුව මගින් පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් කමිටුවක් මගින් එහි නිල තීරණය ඉදිරිපත් කරන ලද පළමු අවස්ථාව මෙය බව කතානායකවරයා පැවසුවේය.
අද සිදුවුයේ කුමක් ද?
2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව සම්මත කිරීම සඳහා වූ විවාදය අද (අගෝස්තු 05) පෙරවරුවේ ආරම්භ විය.
මෙහිදී ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් විවාද කලහ.
''දේශබන්දු මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා''
එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල විවාදය ආරම්භ කරනු ලැබූ අතර එහිදී අමාත්‍යවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්වීමට පෙර සිට සිදුකළ බව කියන විෂමාචාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් බලය පැහැදිලිවම අවභාවිතා කර ඇති බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ත්‍රිපුද්ගල කමිටුව කතානායකවරයාට දැනුම්දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය
අද සවස 4ට පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන ආණ්ඩුවේ යෝජනාව පුර්ණ සහය දක්වන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබුනද ඡන්ද විමසන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සභා ගර්බයේ නොසිටීම සුවිශේෂී කාරණයකි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පත් ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විවාදයේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පක්ෂ බවයි.
මෙහි දී සාකච්ඡා වන විට වත්මන මෙන්ම අතීත ක්‍රියාදාම ගැන ද සිතා බලන බවත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ක්‍රියාවන් තුළින් වත්මනේ පමණක් නොව අතීතයේ සිට මොහු පොලිස්පති ධුරයට නුසුදුසු කෙලින්ම පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ පොලිස්පති පත් කිරීමේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වූ පසු එහි දි සමගි ජන බලවේගයේ තමා සහ කබීර් හෂීම් විරුද්ධ වූ බවත් ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සහ NPP එක නිහඬ ප්‍රතිපත්තියක සිටි බවත් අදහස් ඉදිරිපත් නොකළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.
පොට්ටුව ඡන්දෙ නොදෙයි
අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අද විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසීය.
''මේක අධිකරණයේ පවතින නඩුවක්. අධිකරණ ඇමතිවරයාත් මේ නඩුව ගැන පූර්ණ විග්‍රහයක් කරනවා. ස්ථාවර නියෝග යටතේ අධිකරණයේ පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඒ සියල්ල කඩාකප්පල් කරලා. මා මේ කතා කරන්නේ පුද්ගලයෙක් ගෙන නෙමෙයි. ඒ පුද්ගලයා ගැන මේ හැමෝටම තක්සේරුවක් තියෙනවා. හැබැයි මේ සිදුවීම කේන්ද්‍ර කරගෙන විවාද කිරීමෙන් අධිකරණ පද්ධතියට යම් බලපෑමක් වෙනවා නම් එය සාධාරණ නැහැ ''යනුවෙන්ද නාමල් රාජපක්ෂ කීය.
මෙම පුවතට අදාල වැඩි දුරටත් විස්තර :
දේශබන්දු තෙන්නකෝන් අද ධූරයෙන් ඉවත් කරයි ද? නව පොලිස්පති කවුද?
දේශබන්දු තෙන්නකෝන්ට දැන් මොක ද වෙන්නේ ?
දේශබන්දු තෙන්නකෝන් ගැන ඔබ මෙම තොරතුරු දැන සිටියා ද?
සූරසේන කමිටුවෙන් දේශබන්දු වරදකරු කරයි




