ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්
ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රංශයේ එයාර් බස් සමාගම සමඟ සිදු කළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන පුළුල් විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (04) නියෝග කළේය.
අද පෙරවරුවේ අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. සැකකරු වෙනුවෙන් ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් සුවිශේෂී කරුණු කිසිවක් අධිකරණය හමුවේ අනාවරණය නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
රුපියල් කෝටි 10 ක මුදල් ගනුදෙනුවක් ගැන හෙළිදරව්ව
නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම විමර්ශනය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බැවින් සැකකරුට ඇප ලබා දීමට විරෝධය පළ කරන බවයි. මෙම ගනුදෙනුවට අදාළව සැකකාර නාමල් රාජපක්ෂ රුපියල් කෝටි 10 ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔහු පැවසීය.
දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය යටතේ ඇප ලබා දීමේ හැකියාව පැවතුණ ද, අල්ලසක් ලබා ගැනීම හෝ ඉල්ලා සිටීම සම්බන්ධ විමර්ශනයක් පවතින අවස්ථාවක එය අවසන් වන තෙක් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රතිපාදන පවතින බවත්, ඊට එහා ගොස් ඇප ලබා දෙන්නේ නම් සුවිශේෂී කරුණු ඉදිරිපත් විය යුතු බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර විමර්ශන සහ සාක්ෂිකරුවන්
අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඒකාබද්ධව මෙම විමර්ශනය මෙහෙයවන බවත්, අතථ්‍ය නීති සහය (Virtual Legal Assistance) ඔස්සේ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, සිංගප්පූරුව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් සාක්ෂි එක්රැස් කර ඇති බවත් පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
එමෙන්ම එයාර් බස් සමාගමෙන් මේ වන විට ප්‍රකාශ 4ක් සටහන් කරගෙන ඇති අතර, ප්‍රංශය ඇතුළු රටවලින් විමර්ශනයට අදාළ වැදගත් පුද්ගලයන් කිහිප දෙනෙකු මෙරටට පැමිණ සාක්ෂි ලබා දී ඇති බව ද සඳහන් විය. මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන නිමල් පෙරේරා නමැත්තා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව, තමන්ට එල්ල වූ බලපෑම් හේතුවෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් දන්වා ඇති බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
මුදල් හුවමාරු වූ ආකාරය
අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර බඳ පුළුල් ගුවන් යානා 16ක් ලබා ගැනීමට අදාළව ඇති කරගත් ගිවිසුම පිළිබඳව ද විස්තර කළේය.
"එයින් ගුවන් යානා 2ක් ලැබී තිබියදී තවත් අතරමැදි සමාගම් හරහා යුරෝ මිලියන 1.454ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ලබාගෙන තිබෙනවා. ‘බිස්සොලුෂන්’ (Bizsolutions) නමැති සිංගප්පූරු සමාගමේ තනි අයිතිය හිමිව තිබුණේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිටයි. ඇයගේ සමාගම හරහා කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු කොමන්වෙල්ත් ගිණුම්වලට යුරෝ ලක්ෂ 4ක් සහ තවත් ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් බැර කර තිබෙනවා."
එමෙන්ම, එම සමාගම හරහා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට යුරෝ 160,400ක මුදලක් යවා ඇති බවත්, ඔහුගේ සමාගමකට චෙක්පත් මගින් මිලියන 13ක් සහ මුදලින් මිලියන 6ක් වශයෙන් මුදල් සංසරණය වී ඇති ආකාරය අනාවරණය වී ඇති බවත් පැමිණිල්ල අධිකරණයට පෙන්වා දුන්නේය.
කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශය සහ පසුබිම
පසුගිය මැයි මාසයේදී අභාවප්‍රාප්ත වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මීට පෙර ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද අධිකරණයේදී කරුණු සිහිපත් කෙරිණි. එයාර් බස් ගනුදෙනුවෙන් කොමිස් වශයෙන් ලැබුණු මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න වෙත ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇති බව අල්ලස් කොමිසම පසුගිය මාර්තු 19 වැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60 ක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී ලබා දුන් බව එම ප්‍රකාශයේ සඳහන් විය. එම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා ද පසුගිය මැයි 12 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දී තිබිණි.
ලොව කැළඹූ එයාර් බස් ගනුදෙනුව
2011 සිට 2015 දක්වා කාලය තුළ ගුවන් යානා මිලදී ගැනීමේ සහ බදු ගැනීමේ කොන්ත්‍රාත් සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් එයාර් බස් සමාගම අතරමැදියන් හරහා විවිධ රටවල නිලධාරීන්ට අල්ලස් ලබා දී ඇති බවට එක්සත් රාජධානියේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය (SFO) ඇතුළු ජාත්‍යන්තර ආයතන කළ විමර්ශනවලදී තහවුරු විය.
එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළි වූයේ A330 ගුවන් යානා 6ක් සහ A350 ගුවන් යානා 4ක් මිලදී ගැනීමටත්, තවත් A350 යානා 4ක් බදු පදනම මත ලබා ගැනීමටත් අදාළව අතරමැදි සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක කොමිස් මුදලක් ගෙවීමට එයාර් බස් සමාගම එකඟ වී තිබූ බවයි. තරගකාරී වෙනත් සමාගම්වලින් යානා මිලදී නොගන්නේ නම් ඩොලර් මිලියන 5ක අතිරේක මුදලක් ලබා දීමට ද එකඟතාව පළ කර තිබිණි. කෙසේ වෙතත්, අදාළ ගනුදෙනුවෙන් අවසානයේ ගෙවා තිබුණේ ඩොලර් මිලියන 2ක් පමණක් බවත්, ඉන් A330 යානා 6ක් ශ්‍රී ලංකාවට ලැබුණ ද දෙවැනි ගිවිසුමට අදාළ A350 යානා මෙරටට ලැබී නොතිබූ බවත් වාර්තා වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විමර්ශන ප්‍රගතිය ලබන 18 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කරමින් සැකකාර මන්ත්‍රීවරයාව එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.




