"සිද්ධියට මගේ සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයක් නෑ" - චෝදනා ප්‍රතික්ෂේප කරමින් විත්තියේ නීතිඥවරුන්ගෙන් කරුණු දැක්වීම්
කොල්ලූපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු සන්තකයේ තිබූ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයා වන අනුජ දිනුජිත් බණ්ඩාර (අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර) නමැත්තා පැය 24ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) අවසර ලබා දුන්නේය.
සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති අතර, 2007 අංක 7 දරන පනත ප්‍රකාරව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ කාර්යාංශය කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය. සැකකරු හෙට (23) පස්වරු 2.30ට නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොල්ලකෑම සිදුවූ ආකාරය සහ පොලිස් වාර්තා
පොලිස් තොරතුරුවලට අනුව, ජූලි 13 වනදා කොල්ලූපිටිය ග්ලේන් ආබර් මාවතේදී පෞද්ගලික සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවය කරන චීන ජාතිකයෙකු සිය මෝටර් රථයේ රැඳී සිටියදී, තමන් පොලිසියෙන් බව පවසමින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ ගුවන් බලපත්‍රය පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේදී මෝටර් රථයේ තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් බෑගය පැහැරගෙන පලාගිය සැකකරු පසුපස හඹාගිය චීන ජාතිකයා ඇතුළු පිරිස, බම්බලපිටිය දෙසට ත්‍රිරෝද රථයකින් පලායාමට තැත්කළ අදාළ පුද්ගලයා අල්ලා පොලිසියට භාර දී තිබේ.
මෙම සිද්ධියට අදාළව මේ වන විට තවත් චීන ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා සිදුවීම වූ ස්ථානයේ සෘජුව නොසිටියද, සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු ලෙසත් ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) මුදල් හුවමාරු ජාවාරමකට සම්බන්ධ බවටත් අනාවරණය වූ බැවින්, ඔහු කොල්ලූපිටිය පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
විත්තියේ නීතිඥවරුන් දැක්වූ කරුණු
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු බවත්, මෙම මුදල් කොල්ලකෑම පිළිබඳව හෝ පැමිණිලිකාර චීන ජාතිකයා පිළිබඳව ඔහු කිසිවක් නොදන්නා බවත්ය.
සිය සේවාදායකයාගේ මිතුරෙකු වූ ප්‍රමිල් නමැත්තා හරහා අදාළ චීන ජාතිකයින්ට ආරක්ෂාව සැපයීමට පුද්ගලයෙකු හඳුන්වා දීම හැර මෙම අපරාධයට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔහු අදාළ ස්ථානයේ නොසිටි බවත් විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්හ. සැකකරු අපරාධයට සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කරන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ නීතිඥ මණ්ඩලය, සුදුසු ඇපයක් මත ඔහු මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු පැය 24ක කාලයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙමින්, විමර්ශන ප්‍රගතිය සහිතව හෙට දිනයේ නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.




