එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඔස්ට්‍රේලියානු රජය වෙත ණය සහ වාරික ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන දෙක හමාරක් මහා භාණ්ඩාගාර ගිණුමෙන් අස්ථානගතවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව පසුගිය කාලය පුරා සිදුවූ මහා භාණ්ඩාගාරයේ ගනුදෙනු පිළිබඳ ලේඛන, දත්ත ඇතුළත් ලිපි ගොනු සහ පරිගණක දත්ත සියල්ලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීමට නියමිතය.
එලෙසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම් ද ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා ඔහු සිටියේ මේ වනවිටත් ඊට අදාළ පරීක්ෂණ සිදුවන බවත් හැකර් ප්‍රහාරයක් හේතුවෙන් මෙම මුදල් අස්ථානගතව ඇති බවට තොරතුරු පවතින බවත්ය.
මෙම සිද්ධිය පළමුවරට අනාවරණය කරනු ලැබුවේ Free Lawyers සංවිධානයයි
Free Lawyers සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමකට බැර කිරීමේ සිද්ධිය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුවී ඇත.
මෙම සිද්ධිය පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ Free Lawyers සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසිනි.
2026 අප්‍රේල් මස 22 වන දා Free Lawyers නම් සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ, 2025 දෙසැම්බර් මාසයේ සිට 2026 ජනවාරි මාසයේ 31 වන දා කාලය තුලදී ඩොලර් මිලියන 22.9කට අදාළව ගෙවිය යුතු මුදලක් වෙනුවෙන් සිදුකර ඇති ඩොලර් මිලියන 2.5ක වාරික ගෙවීම අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (තෙවන පාර්ශවයක්) වෙත යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වන බව ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා 2026 මාර්තු මස 24 හෝ ඊට ආසන්න දිනයකදී 'තාක්ෂණික කමිටුවක් පත්කර' ඇති බවත්, මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකුගේ වැඩ තහනම් කර ඇති බවට Free Lawyers සංවිධානය සිය ලිපියෙන් කරුණු දක්වා තිබිණ.
මෑතක් වන තුරු ම විදේශ මුදල් විදේශ ණය, වාරික සහ ණය පොළිය නැවත ගෙවීමේ කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරිණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේ ද, ගෙවීම සිදුකර ඇත්තේ ද එම ආයතනය විසිනි.
මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් හරහා විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය සිය ලිපිය මගින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රජයේ කරුණු පැහැදිලි කිරීම
මෙම කරුණු අනාවරණය වීමත් සමග ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
ඒ අනුව, මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු මූල්‍ය අපනයන සමාගමකට ගෙවිය යුතු ණය මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පෙරේදා (අප්‍රේල් 22) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් කළේ ය.
ඔහු නිකුත් කළ වීඩියෝවක සඳහන් කරන්නේ, 'ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් අනතුරුව ඒ අදාළ පාර්ශවයන්ට ණය ගෙවීමේදී මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියාවේ මූල්‍ය අපනයන ආයතනයට ගෙවනු ලැබිය යුතු මුදල් ගෙවීම සම්බන්ධයෙන් සිදුකරන ලද තොරතුරු හුවමාරුවේදී එයට මැදිහත් වූ සයිබර් අපරාධකරුවන් ඒ තොරතුරු ලබා ගනිමින් අදාළ ණය හිමියාට ලැබිය යුතු මුදල වෙනුවට ඔවුන් මුදල් ලබා ගත්තු සිද්ධියක් පිළිබඳව යි මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ."
"හේතුව මේ පිළිබඳව සමාජයේ තොරතුරු හුවමාරු වෙනවා පදනම් විරහිතව. මහජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු හෙළිදරව් වෙනවා. ඒ වගේ ම රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටිලා කියලා වැරදි තොරතුරු කියනවා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරලා නැහැ, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියලා නැහැ වගේ විවිධ දේවල් වගේම ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම්වලට මේ මුදල් යොදාගෙන කියලා ප්‍රකාශ සිදුකරනවා."
"අපි වගකීමෙන් කටයුතු කරනකොට අවබෝධ කර ගත යුතු කාරණය තමයි මොකක් ද මෙතැන සිද්ධ වුණේ කියලා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයත් මහා භාණ්ඩාගාරයත් අතර මුදල් පියවීමේ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගන්නේ අන්තර්ජාලය හරහා ඊමේල් පණිවිඩ මාර්ගයෙන්. මේ ඊමේල් පණිවිඩ යාන්ත්‍රණය තමයි ඔවුන් හැක් කරලා මේ තොරතුරු හුවමාරු කරගෙන තියෙන්නේ," නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පැවසීය.
ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ මුදලක් ලබා ගැනීමට පරිගණක හැකර්කරුවන් විසින් මෙවැනි ආකාරයෙන් ම උත්සාහ දරලා
මේ අතර පරිගණක අපරාධකරුවන් විසින් ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ මුදලක් ලබා ගැනීමට මෙවැනි ආකාරයෙන් ම උත්සහ දරා ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ය.
"අපේ නොදැනුවත්භාවයෙන් ගිය මේ ගෙවීමට අමතරව හැකර්කරුවන් විසින් තවත් මෙවැනි ආකාරයට මුදල් ලබා ගැනීමට උත්සාහ දැරීමක් සිදුකර තියෙනවා. ඒ ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන්. ඒ අනුව සැක මතු වෙච්ච නිසා විශේෂයෙන් ගිණුම් අංක වෙනස් වන බවට දැන ගත්තු පළවෙනි මොහොතේදී ම මහා භාණ්ඩාගාරය විසින් නිසි පරිදි ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයටත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටත් දැනුවත් කළා. ඔවුන් දීර්ඝ පරීක්ෂණයක් කළා. ඒ පස්සට ගිහිල්ලා ඒ කියන්නේ ඇත්තට ම ණය ප්‍රතිව්‍යූහගතකරණය කරලා නැවත ගෙවීම සිදු කිරීමේ සන්නිවේදන කටයුතු ආරම්භ කරපු තැන ඉඳල ම පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන ආවා."
"ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට හොයා ගන්න පුළුවන් වුණේ ඔස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල මේ හැකර්කරුවන්ගේ ගිණුම්වලට ගිහිල්ලා කියලා. ඒ අනුව වහා ම නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා මේ ගැන පැමිණිල්ලක් සිදුවෙමින් යනවා," නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.




