The Leader News
BREAKING
Top Ad
විදේශ

'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

පැසිෆික් කලාපය දරුණු දේශගුණ අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ඉදිරි මාසවලදී 'සුපිරි එල් නිනෝ' තත්ත්වයක් හේතුවෙන් ගංවතුර, සුළි කුණාටු සහ දැඩි උණුසුම වර්ධනය විය හැකි බවත් ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් අනතුරු අඟවයි.

Pasan

Pasan

October 7, 2026 • 9:04 PM

'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ දේශගුණ විපර්යාසයන්හි සැබෑ බරපතළකම මැනිය හැක්කේ සමුළු කාමර තුළ ඉදිරිපත් කෙරෙන සංඛ්‍යාලේඛනවලින් පමණක් නොවේ.
  • තුර්කියේ අන්තාලියා නුවර ලබන මස පැවැත්වීමට නියමිත Cop31 දේශගුණ සමුළුවට පෙරවදනක් ලෙස ෆීජි සහ ටුවාලු රාජ්‍යයන්හි සංවිධානය කර තිබූ පූර්ව-කොප් සමුළුවට එක්වෙමින් ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පෙන්වා දුන්නේ, ලෝකය මේ වන විටත් ඉතා තීරණාත්මක කාලගුණික කඩඉමකට පැමිණ ඇති බවයි.
  • "දේශගුණ වෙනස අනාගත ප්‍රශ්නයක් නෙවෙයි; එය මෙහි තිබෙනවා" ෆීජි සමුළුව අමතමින් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කළේ බටහිර පැසිෆික් කලාපයේ මුහුදු මට්ටම ඉහළ යාම ගෝලීය සාමාන්‍ය මෙන් දෙගුණයකට වඩා වැඩි වේගයකින් සිදුවන බවයි.
  • විශේෂයෙන්ම ඉදිරි ගිම්හානයේදී කලාපය පුරා මතුවිය හැකි ‘සුපිරි එල් නිනෝ’ (Super El Niño) බලපෑම ප්‍රබල පරීක්ෂණයක් වනු ඇති බව ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකයේ දේශගුණ විපර්යාසයන්හි සැබෑ බරපතළකම මැනිය හැක්කේ සමුළු කාමර තුළ ඉදිරිපත් කෙරෙන සංඛ්‍යාලේඛනවලින් පමණක් නොවේ. මුහුදු මට්ටමෙන් මීටර් දෙකකටත් වඩා පහළින් පිහිටි, ජනගහනය දසදහසකට සීමා වූ ටුවාලු (Tuvalu) රාජ්‍යයේ දූපත් තීරය දෙස බලන ඕනෑම අයෙකුට ඒ ඛේදවාචකය සජීවීව දැකගත හැකිය.

තුර්කියේ අන්තාලියා නුවර ලබන මස පැවැත්වීමට නියමිත Cop31 දේශගුණ සමුළුවට පෙරවදනක් ලෙස ෆීජි සහ ටුවාලු රාජ්‍යයන්හි සංවිධානය කර තිබූ පූර්ව-කොප් සමුළුවට එක්වෙමින් ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පෙන්වා දුන්නේ, ලෝකය මේ වන විටත් ඉතා තීරණාත්මක කාලගුණික කඩඉමකට පැමිණ ඇති බවයි.


"දේශගුණ වෙනස අනාගත ප්‍රශ්නයක් නෙවෙයි; එය මෙහි තිබෙනවා"


ෆීජි සමුළුව අමතමින් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කළේ බටහිර පැසිෆික් කලාපයේ මුහුදු මට්ටම ඉහළ යාම ගෝලීය සාමාන්‍ය මෙන් දෙගුණයකට වඩා වැඩි වේගයකින් සිදුවන බවයි. විශේෂයෙන්ම ඉදිරි ගිම්හානයේදී කලාපය පුරා මතුවිය හැකි ‘සුපිරි එල් නිනෝ’ (Super El Niño) බලපෑම ප්‍රබල පරීක්ෂණයක් වනු ඇති බව ඔහු පැවසීය.

"අපි බලාපොරොත්තු වන්නේ ගංවතුර, සුළි කුණාටු සහ අසාමාන්‍ය ලෙස ඉහළ යන දැඩි උෂ්ණත්වයක් සහිත කාලගුණයක්. විමෝචනය අවම නොකළහොත් කුමක් සිදුවේදැයි විද්‍යාව අපට අනතුරු අඟවා තිබුණා. අද අප ඉදිරියේ දිගහැරෙන්නේ ඒ අනාවැකියයි."


ටුවාලු දූපතේ 13 හැවිරිදි දැරියගේ හඬ

නායකයින් ටුවාලු අගනුවර වන ෆුනාෆුටි හි සිදුකළ ක්ෂේත්‍ර සංචාරයේදී ඔවුන්ට මුහුණ දීමට සිදුවූයේ අතිශය හැඟීම්බර අත්දැකීමකටයි. එහිදී අදහස් දැක්වූ මෙලෙලුසි සොකොටියා නම් 13 හැවිරිදි පාසල් දැරිය කළ ප්‍රකාශය ලෝක නායකයින්ගේ අවධානයට දැඩිව යොමුවිය:

"මගේ යාළුවො හීන දකින්නේ ගුරුවරු, දොස්තරවරු, ඉංජිනේරුවෝ වෙන්න. ඒත් අපි හැමෝටම තියෙන එකම පොදු හීනය අපි ලොකු වෙනකල් අපේ දූපත බේරිලා තියෙයිද කියන එකයි. අපි ඉල්ලන්නේ උපකාරය සහ සහයෝගීතාවයයි. කරුණාකරලා අපේ පුංචි දූපත් ආරක්ෂා කරන්න එක්වෙන්න."

දේශගුණික දත්ත පෙන්වා දෙන්නේ වර්ෂ 2050 වන විට සාගර ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ටුවාලු රාජ්‍යයට සිදුවන වාර්ෂික ආර්ථික හානිය ඩොලර් මිලියන 34 ඉක්මවනු ඇති බවයි. 2100 වන විට එම අගය ඩොලර් මිලියන 63 දක්වා ඉහළ යා හැකි අතර, එය එම රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ද (GDP) ඉක්මවා යන්නකි.


ණය නොගෙන අරමුදල් ලැබිය යුතුයි: පැසිෆික් රාජ්‍යයන්ගේ ස්ථාවරය


ටුවාලු අගමැති ෆෙලෙටි ටියෝ (Feleti Teo) මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත සෘජු ප්‍රශ්නයක් යොමු කළේය.

"අප විසින් සිදු නොකළ වරදක ප්‍රතිවිපාකවලින් බේරෙන්න අපට අලුතින් ණය වෙන්න සිදුවෙලා තියෙන්නේ ඇයි? මේ අර්බුදයෙන් ගොඩ ඒමට අප ණය උගුලකට හසුවිය යුතු නැහැ."

ෆීජි අගමැති සිටිවේනි රබුකා ද පෙන්වා දුන්නේ, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක සීමාවේ රඳවා ගැනීමේ පැරිස් එකඟතාවය කිසිසේත් යළි සාකච්ඡාවට විවෘත නොවිය යුතු බවත්, පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීමේ පියවර කඩිනම් විය යුතු බවත්ය.


ඉන්දියන් සාගරයට සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම


පැසිෆික් කලාපය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වන මෙම දැවැන්ත කාලගුණික වෙනස්වීම් හුදෙක් එම දූපත්වලට පමණක් සීමා වන කාරණයක් නොවේ. 'සුපිරි එල් නිනෝ' තත්ත්වයක් වර්ධනය වීම යනු ඉන්දියන් සාගර කලාපයේ මෝසම් සුළං රටාවන්හි සහ වර්ෂාපතනයේ දෘශ්‍යමාන වෙනස්කම් ඇති කළ හැකි තත්ත්වයකි.

විශේෂඥ නිරීක්ෂණ අනුව, දිවයිනක් ලෙස ශ්‍රී ලංකාවට ද අක්‍රමවත් අධික වර්ෂාපතන, හදිසි නියං තත්ත්වයන් සහ වෙරළ ඛාදනය වැනි පාරිසරික අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේ. එබැවින් ගෝලීය දේශගුණ අරමුදල් (Climate Finance) වෙත ළඟාවීමේ ක්‍රමවේද සහ පාරිසරික ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සමස්ත දකුණු ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයටම එකසේ තීරණාත්මක වෙමින් පවතී.

මුලාශ්‍රය:

The Guardian | Australia faces summer of extreme weather, Anthony Albanese warns at pre-Cop

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...