The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

දැඩි රැකවල් මැද සුරේෂ් සලේ අධිකරණයට: විත්තියේ ඉල්ලීම් රැසකට අධිකරණයෙන් සහන - මීළඟ නඩු වාරය මැයි 20

T

The Leader Desk

April 22, 2026 • 4:18 PM

දැඩි රැකවල් මැද සුරේෂ් සලේ අධිකරණයට: විත්තියේ ඉල්ලීම් රැසකට අධිකරණයෙන් සහන - මීළඟ නඩු වාරය මැයි 20

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළව ගොනු කර තිබෙන නඩුකරයේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අද (අප්‍රේල් 22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
  • ඉන්පසුව එම වසරේ ඔක්තෝබර් මස 12 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරාජසිංගම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් රිමාන්ඩ් භාරයට පත් වෙනවා.
  • ඉන්පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසකට හිරිහැර කිරීම් සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ වෙනවා.
  • ඉන්පසුව 2018 වසරේ ඔක්තෝබර් මස දින පනස් දෙකේ ආණ්ඩුවක් බලයට එනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අදාළව ගොනු කර තිබෙන නඩුකරයේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අද (අප්‍රේල් 22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් ඉකුත් නඩු දිනයේ කරන ලද නියෝගයකට අනුව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

''වගකිවයුතු සියලු දෙනා අපි මේ වසරේ අඩංගුවට ගන්නවා'' - අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

එහිදී විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී.. මේ පරීක්ෂණය තමයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ සිදුකළ විමර්ශනවල හැරවුම් ලක්ෂය. 21 වෙනි දා පාස්කු ප්‍රහාරයේ හත්වන සැමරුම සැමරුවා. හැබැයි පාස්කු ප්‍රහාරයේ අට වන සැමරුම සමරන්න අපි අවස්ථාවක් තියන්නේ නෑ. ඊට වගකිවයුතු සියලු දෙනා අපි මේ වසරේ අඩංගුවට ගන්නවා.

2015 වසරේ නව ජනාධිපතිවරයෙක් බලයට පත්වෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය පරදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වෙනවා. ඉන්පසුව එම වසරේ ඔක්තෝබර් මස 12 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරාජසිංගම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් රිමාන්ඩ් භාරයට පත් වෙනවා. ඉන්පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසකට හිරිහැර කිරීම් සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ වෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අත්අඩංගුවට පත්වන්නේ අද සැකකරු වශයෙන් ඉදිරිපත් කර තිබෙන සුරේෂ් සලේ නමැත්තාගේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්."

"මේ සැකකරු ප්‍රහාරක බළකාය පවත්වාගෙන ගොස් තිබෙනවා''

"මේ සැකකරු ප්‍රහාරක බළකාය පවත්වාගෙන ගොස් තිබෙනවා. දේශපාලකයින් ආරක්ෂා කිරීම සඳහා ඒක පවත්වාගෙන ගොස් තිබෙන්නේ. ඉන්පසුව 2018 වසරේ ඔක්තෝබර් මස දින පනස් දෙකේ ආණ්ඩුවක් බලයට එනවා. 2018 වසරේ දෙසැම්බර් මස 13 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා මේ දින පනස් දෙකේ ආණ්ඩුව නීති විරෝධී බවට. ඉන්පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ බුදු පිළිමවලට පහර දීමේ සිද්ධීන් වෙනවා. ඒ සිද්ධීන්වලට ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධ යි කියලා යුද හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා.

මේ අතරතුර තමයි වවුනතිව් ප්‍රදේශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය වන්නේ. මේ ඝාතනයට "අජන්තන්" නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. එම ඝාතනවලට සහරන් හෂීම්ගේ කල්ලිය සම්බන්ධ බව වසන් කිරීමටයි එසේ කරන්නේ. සහරාන් හෂීම්ගේ කල්ලිය වෙත විමර්ශන ගමන් කිරීම වැළැක්වීම සඳහායි එසේ කරන්නේ. ඉන්පසුව එම ඝාතන LTTE සංවිධානය කළ බවට අඟවන්න උත්සහ කරනවා. ඉන්පසුව පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. පාස්කු ප්‍රහාරයේ සිදුවී දින කිහිපයකින් ගෝඨාභය රාජපක්ෂ නමැති පුද්ගලයෙක් ප්‍රකාශ කරනවා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට. සහරාන් සහ ඥානසාර යන පාර්ශව දෙක ම නඩත්තු කරල තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශය විසින්," යනුවෙන් සඳහන් කර සිටියේ ය.

''වරුණ ජයසුන්දර මේ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක්"

වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දුන් යුද හමුදා බුද්ධි අංශ සාමාජික කලීල් නමැත්තාගේ නිවසට අත් බෝම්බ සහ පිස්තෝලයක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා තමයි එය කිරීමට සූදානම් කරන්නේ.


මේ පිටුපස සිටින්නේ යුද හමුදාව බුද්ධි අංශයේ කණ්ඩායමක්. පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව කටයුතු කළ වරුණ ජයසුන්දර නමැති නිලධාරියත් මේකට සම්බන්ධයි. වරුණ ජයසුන්දර මේ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක්" යනුවෙන් සඳහන් කළේය.


ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මේක බරපතළ තත්ත්වයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල ප්‍රමාදයක් තිබෙනවා. නමුත් දැනට සිදු කර තිබෙන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය සෑහීමට පත්වෙනවා. නමුත් අධිකරණයට සාක්ෂි ලබාදුන් පුද්ගලයකුට යම් බලපෑමක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ගැන අධිකරණය විමසිලිමත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය මුලින්ම විසඳගන්න අවශ්‍යයි. වරුණ ජයසුන්දර නමැති පුද්ගලයා මේ සාක්ෂිකරුට බලපෑම් කළ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා ද?" යනුවෙන් විමසුවේ ය.

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "මේ සම්බන්ධයෙන් ඍජුව ම සාක්ෂි නෑ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.

'තහවුරු වූ කරුණු විතරක් අධිකරණයට ඉදිරිපත් කරන්න'

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, "අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශව තහවුරු කළ කරුණු ඉදිරිපත් කළ යුතු යි. යුක්තිය ඉටු කිරීම සඳහා එය බෙහෙවින් වැදගත්. මොක ද ඉදිරිපත් වන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරිපත් කරන චෝදනා අසාර්ථක වෙන්න පුළුවන්. එසේ වුවහොත් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වෙනවා," යනුවෙන් අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා තහවුරු කළ කරුණු පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, "පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප්‍රදේශයේ පිරීමක් සිදුවෙනවා. එම සිද්ධියෙන් 16 දෙනෙකු මිය යනවා. ඒත් බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නේ 17 දෙනෙක් මැරුණා කියලා. පසුව පිපිරිම සිදුවු ස්ථානයේ මේසයක් මත තිබී සාරා ජෙස්මින් නමැත්තියගේ ජාතික හැදුනුම්පත හමුවෙනවා. සාරා ජස්මින් නමැත්තිය මියගොස් නැති බවට DNA වාර්තාව දෙකක් ඉදිරිපත් වෙනවා. එසේ තිබියදී කෂේරුකාවක කැබැල්ලක් ඉදිරිපත් කරලා තුන්වන DNA වාර්තාව ලබාගන්නවා. සාරා ජස්මින් මියගිය බවට," යනුවෙන් සඳහන් කර සිටියේ ය.

අසාත් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයක් ලබා ගැනීමේ ප්‍රගතිය

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කරමින් "මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසාත් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝගය නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර වල ප්‍රගතිය කෙසේ දැයි" ප්‍රශ්න කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරල්වරයා සඳහන් කළේ මෙම පුද්ගලයා මේ වන විට ප්‍රංශයේ වාසය කරන බව ය.

ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලට කැඳවා සූම් ඔස්සේ ප්‍රකාශ ලබා ගැනීමට උත්සහ කරමින් සිටින බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවත් ප්‍රශ්නයක් මතු කරමින් "අසාත් මවුලානා නැමැත්තා යුක්තිය උදෙසා මෙම ප්‍රකාශය සිදු කළා නම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැකිළෙන්නේ ඇයි දැයි" ප්‍රශ්න කර සිටියේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ජීවිත ආරක්ෂාව තකා ඔහු ප්‍රකාශ ලබාදීමට පැකිළීමක් දක්වන බව ය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ !

ඉන් අනතුරුව අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනි මේ ආකාරයේ නඩුවලට යුද හමුදා නිලධාරීන් සැකකරුවන් වශයෙන් ඉදිරිපත් කළා ම ඊට අදාළ නඩු ගාස්තු ගෙවන්නේ යුද හමුදා අරමුදල්වලින්. ඒ වගේ ම පරීක්ෂණවලට සහය ලබා දෙන්නෙත් නෑ. ඒනිසා මා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මේ පරීක්ෂණවලට සහාය ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයාට හා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාට නියෝගයක් නිකුත් කරන ලෙසට" යනුවෙන් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා "යුද හමුදාව කියන්නේ රජයේ ආයතනයක්. ඔවුන් සිට ගත යුත්තේ නීතිපතිවරයා සමග යි. ඊට පරිබාහිරව ගිහිල්ලා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් කරන්න බැහැ. එවැනි දෙයක් කරනවා නම් ඒක නීතිවිරෝධී ක්‍රියාවක්. ඒ නිසා මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍යතාවක් නෑ. මොක ද මේ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලය තිබෙනවා. මෙවැනි නියෝගයක් නිකුත් කිරීම හරහා නීතිපතිවරයාගේ බලය හෑල්ලුවට ලක්වීමක් සිදුවෙනවා. නමුත් අධිකරණ නියෝගවලට පරිබාහිරව යම් කණ්ඩායමක් කටයුතු කරනවනම් ඔවුන්ට එරෙහිව අධිකරණට අපහාස කිරීම යටතේ කටයුතු කළ හැකි යි," යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

''අසාද් මවුලාන ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන් අසත්‍යයි'' - නීතිඥ අසිත් සිරිවර්ධන

ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී පැමිණිල්ලෙන් චෝදනාවක් එල්ල කලා මගේ සේවාදායකයා ප්‍රහාරක බලකායක් මෙහෙයවා ඇති බවට. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. අදාල සිදුවීම් සිදුවන කාලයේ ඔහු සිටියේ විදේශ ගතව. ඔහු යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් පත්වෙන්නේ 2011 වසරේ. අසාද් මවුලාන ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන් අසත්‍යයි. ඔහු විදේශයක දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා මෙවැනි චෝදනා එල්ල කරන්නේ. ඔහු ලංකාවේ අධිකරණය දූෂිතයි කියලත් ප්‍රකාශ කරලා තිබෙනවා. එනිසා මා ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණය කොන්ත්‍රාත් පදනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් බැහැර පොලිසියේ වෙන ඕනෑම විමර්ශන අංශයක් වෙත යොමු කරන ලෙසට," ඊට අදාළව කරුණු හයකින් යුත් ලිඛිත ඉල්ලීමක් තමන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් නීතිඥ වරයා සඳහන් කළේ ය.


එමෙන් ම සැකකාර සුරේෂ් සලේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය විසිහත් වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්තුමාට ප්‍රකාශයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් කරන ඉල්ලීම යළි සිතා බලා ඊළඟ දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.


මෙම විමර්ශනය වෙනත් විමර්ශන අංශයක් වෙත මාරු කරන ලෙස කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් මීට පෙර නියෝගයක් ලබාදී තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ ලිඛිත කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් නියෝගයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්වන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් ලිඛිත දේශනයක්

එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය (නීතීඥ භානුක මලවිආරච්චි සහ නීතීඥ අසිත් සිරිවර්ධන ) විසින් වත්මන් විමර්ශන ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය සහ අපක්ෂපාතීත්වය දැඩි ලෙස ප්‍රශ්න කරමින් සවිස්තරාත්මක ලිඛිත දේශනයක් ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

විත්තියේ මූලික තර්ක සහ චෝදනාඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් කොන්ත්‍රාත් පදනමේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුන් "මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ" සාමාජිකයින් ලෙස කටයුතු කරමින් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මෙම විමර්ශනය හසුරුවන බවට විත්තිය සිය ලිඛිත දේශනයෙන් මූලිකවම චෝදනා කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ පෙර තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය නොකිරීම මත ඔවුන්ට එරෙහිව ද නඩු කටයුත්තක් පවතින බැවින් , මෙම විමර්ශනය ඔවුන් යටතේ සිදු කිරීම නීතියේ ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි බව විත්තිය පෙන්වා දුන්නේය.

තවද, අපරාධ නඩු විධාන සංග්‍රහයට පටහැනිව විමර්ශකයින් විසින් තීරණාත්මක සාක්ෂි රැසක් අධිකරණයෙන් වසන් කර ඇති බවත්, පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු සහ වව්නතිවු සිදුවීම සම්බන්ධයෙන් CID ය අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කර ඇති බවත් විත්තිය තර්ක කළේය.

බන්ධනාගාරය තුළ කෲර සහ අමානුෂික හිංසනයන්ට ලක් කිරීම විත්තියේ ලිඛිත දේශනයේ වඩාත්ම අවධානයට ලක්වූ කරුණක් වූයේ සුරේෂ් සලේ බන්ධනාගාරය තුළදී දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සහ කෲර සැලකීම්වලට ලක්ව ඇති බවට ඉදිරිපත් වූ චෝදනාවයි.

ලිඛිත දේශනයේ සඳහන් වන පරිදි, ඔහු රඳවා ඇත්තේ අඩි 6.5 x 4.5 ප්‍රමාණයේ අතිශය කුඩා සිර කුටියකය. ඔහු මීයන්ගේ සපාකෑම්වලට ලක්ව ඇති අතර ඒ සඳහා එන්නත් පවා ලබාදීමට සිදුව ඇත.


විශේෂයෙන්ම ලිඛිත දේශනයේ 10 වන ඡේදයට අනුව, ඔහු අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු රාත්‍රී කාලයේදී නිලධාරීන් කිහිප දෙනෙකු ඔහුගේ සිර කුටියට ඇතුළු වී ඇත. එහිදී ඔහුව කුටියෙන් ඉවතට රැගෙන විත් නිරුවත් කර, ශරීරය ඉදිරිපසට වන සේ අත්විලංගු දමා ඇත. ඉන්පසු එම නිලධාරීන්ට පිටුපා ඉදිරිපසට නැමීමට සලස්වා, සෙසු සියලුම රැඳවියන් ඉදිරියේ ඔහුගේ ශරීරය පරීක්ෂා කරමින් ඔහුව අතිශය කෲර, අමානුෂික හා නින්දිත සැලකීමකට ලක් කර ඇති බව විත්තිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.


විත්තියේ ඉල්ලීම් සහ ඊට අධිකරණය ලබා දුන් නියෝග

මෙම සියලු තත්ත්වයන් සලකා බලමින් විත්තිය විසින් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටි සහන සහ ඒ සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණ පහත පරිදි වේ:

1.⁠ ⁠විමර්ශනය වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) ඉවත් කොට වෙනත් විමර්ශන ඒකකයකට මාරු කිරීම:අධිකරණයේ නියෝගය:

මේ පිළිබඳව මාසයකින් අදාළ නියෝගය ලබාදෙන බවත්, සති දෙකක් තුළ අනෙක් පාර්ශ්වයට මෝසමක් (Motion) මාර්ගයෙන් සිය තර්ක ඉදිරිපත් කිරීමට හැකි බවත් අධිකරණය දැනුම් දුන්නේය.

2.⁠ ⁠ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අදාළ වගන්ති යටතේ, සැකකරු කෲර සැලකීම්වලට ලක්ව ඇත්දැයි නිශ්චය කිරීමට වහාම අධිකරණ වෛද්‍යවරයකු/මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීම:

අධිකරණයේ නියෝගය: මෙම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරු කඩිනමින් අධිකරණ මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම සඳහා අවසර ලබා දුන්නේය.

3.⁠ ⁠සැකකරු පෝෂණවේදියෙකු සහ කොළඹ අක්ෂි රෝහල වෙත යොමු කිරීම:

අධිකරණයේ නියෝගය: ආහාර නිසි පරිදි අනුභව නොකිරීම සහ දීර්ඝ කාලයක් හිරු එළියට නිරාවරණය නොවීම මත පෙනීම දුර්වල වී ඇතැයි කළ දැනුම්දීම සලකා බලා, අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා අධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.

4.⁠ ⁠පොත්පත්, නඩු වාර්තා සහ නීති පනත් කියවීමටත්, සටහන් තබා ගැනීමට පෑනක් සහ පොතක් ළඟ තබාගැනීමටත් අවසර ලබා දීම:

අධිකරණයේ නියෝගය: සැකකරුගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් කළ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, එය බන්ධනාගාරයේ අදාළ නිල ක්‍රියාපටිපාටියට අනුකූලව සිදුකිරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.

අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මැයි මස 20 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...