The Leader News
BREAKING
Top Ad
පුවත්

සුරේෂ් සලේ 2016දීම දුන් අනතුරු ඇඟවීම ඉහළ නිලධාරියෙක් යටපත් කළා: අභියාචනාධිකරණයේදී විශේෂ හෙළිදරව්වක්!

T

The Leader Desk

July 21, 2026 • 3:24 PM

 සුරේෂ් සලේ 2016දීම දුන් අනතුරු ඇඟවීම ඉහළ නිලධාරියෙක් යටපත් කළා: අභියාචනාධිකරණයේදී විශේෂ හෙළිදරව්වක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහරාන් හමුවූ බවට අසාද් මවුලානා කළ ප්‍රකාශය විදේශ ගමන් බලපත්‍රයෙන් අසත්‍යයක් බව ඔප්පු වන බවට කරුණු දැක්වීමක්
  • ඊට අදාළව ඉස්ලාමීය අන්තවාදය මැඩපැවැත්වීම සඳහා 'කාර්ය සාධක බලකායක්' පත්කිරීමේ යෝජනාව ඇතුළත් සංකල්ප පත්‍රිකාවක් ද එවකට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වෙත ඉදිරිපත් කර තිබිණි.
  • නමුත් ජාතික ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ නිලධාරියෙකු මීට දැඩි සේ අකමැත්ත පළ කර ඇති බවත්, එම තත්ත්වය මත බුද්ධි මෙහෙයුම් අඩාල වූ බවට එවකට යුද හමුදාපති ජගත් ක්‍රිශාන්ත ද සිල්වා, ජනක් ද සිල්වා කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඇති බවත් නීතිඥවරයා සිහිපත් කළේය.
  • එලෙස අන්තවාදයට එරෙහිව කටයුතු කළ සුරේෂ් සලේ, මාස දෙකක් ඇතුළත දේශපාලන හේතූන් මත මැලේසියාවට මාරු කර යවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු ලෙස සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි රිට් පෙත්සමේ නීතිපති විරෝධතා විභාගය 27 වැනිදාට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ගොනු කළ රිට් පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම අද (21) අභියාචනාධිකරණයේදී අවසන් විය.

එහිදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන දින හතක් පුරා සිදුකළ කරුණු දැක්වීමේදී, 2016 වසරේ සිටම මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පැවති ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් කළ අනතුරු ඇඟවීම් සහ ඊට එල්ල වූ බාධාවන් පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් අධිකරණය හමුවේ අනාවරණය කළේය.


2016 අනතුරු ඇඟවීම සහ බලපෑම්

2016 වසරේදී යුද හමුදා බුද්ධි බළකායේ අධ්‍යක්ෂවරයාව සිටියදී ISIS ත්‍රස්තවාදී මතවාද මෙරට තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට සුරේෂ් සලේ පියවර ගෙන තිබූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඊට අදාළව ඉස්ලාමීය අන්තවාදය මැඩපැවැත්වීම සඳහා 'කාර්ය සාධක බලකායක්' පත්කිරීමේ යෝජනාව ඇතුළත් සංකල්ප පත්‍රිකාවක් ද එවකට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වෙත ඉදිරිපත් කර තිබිණි.

නමුත් ජාතික ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ නිලධාරියෙකු මීට දැඩි සේ අකමැත්ත පළ කර ඇති බවත්, එම තත්ත්වය මත බුද්ධි මෙහෙයුම් අඩාල වූ බවට එවකට යුද හමුදාපති ජගත් ක්‍රිශාන්ත ද සිල්වා, ජනක් ද සිල්වා කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඇති බවත් නීතිඥවරයා සිහිපත් කළේය. එලෙස අන්තවාදයට එරෙහිව කටයුතු කළ සුරේෂ් සලේ, මාස දෙකක් ඇතුළත දේශපාලන හේතූන් මත මැලේසියාවට මාරු කර යවා ඇති බවද හෙතෙම සඳහන් කළේය. එසේ තිබියදී, ඉස්ලාමීය අන්තවාදය මැඩලීමට සටන් කළ නිලධාරියෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නම් කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ප්‍රශ්න කළේය.


අසාද් මවුලානාගේ සාක්ෂිය සහ CID විමර්ශන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු කණ්ඩායමක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස්, දේශපාලන රැකවරණ අපේක්ෂාවෙන් සිටින වරෙන්තුකරුවකු මෙන්ම මෙරට අධිකරණය දූෂිත බවට අපහාස කළ අසාද් මවුලානා නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සම්බන්ධයෙන් ද පෙත්සම්කාර පාර්ශ්වය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

2018 වසරේ පෙබරවාරි මාසයේදී වනාතවිල්ලුවේදී සහරාන්ගේ කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සිදුවූ බවට අසාද් මවුලානා කරන ප්‍රකාශය අමූලික බොරුවක් බව පැවසූ ජනාධිපති නීතිඥවරයා, එකී කාලසීමාවේදී සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ නොසිටි බව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයෙන් මනාව ඔප්පු වන බව පෙන්වා දුන්නේය.


පෙර දැනුවත් වීම් සහ පවුල් පසුබිම

පාස්කු ප්‍රහාරයට පෙර දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වෙත වට්ස්ඇප් පණිවිඩයක් හරහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ප්‍රහාරය පිළිබඳව දැනුවත් කර තිබූ බව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශයක සඳහන් වන බැවින්, අදාළ තොරතුරු දැනදැනත් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත්තේ මන්දැයි මෙහිදී විමසා සිටියේය.

එමෙන්ම සුරේෂ් සලේ ගේ මව කිතුණු භක්තිකයෙකු බවත්, ඇය ප්‍රහාරය එල්ල වූ දිනයේ ද දේවස්ථානයකට ගොස් සිටි බවත්, සලේ ද නිරන්තරයෙන් කතෝලික දේවස්ථාන වෙත යන අයෙකු බවත් පෙන්වා දුන් නීතිඥවරයා, එවැනි පුද්ගලයෙකු දේවස්ථානවලට පහරදීමට සැලසුම් කරන්නේ යැයි පැවසීම පදනම් විරහිත බව අවධාරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලුණි.

පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම අද (21) අවසන් වීමෙන් පසු, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ලබන 27 වැනිදා මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව වැඩිදුර කරුණු සලකා බැලීම එදිනට කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...