සූර්ය විදුලිබල නිෂ්පාදකයන් දාහත්දෙනෙකු ගොනුකර තිබූ එම පෙත්සම් ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරිය මේ වෙනුවෙන් එකී එකඟතාව පළ කළා ය.
සිය සේවාදායකයන් විසින් රජයේ එකී ක්‍රියාදාමය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට දින නියම කිරීම නිසා ඒ සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩල පත්‍රිකාව හා කැබිනට් තීරණවල පිටපත් ලබා දෙන ලෙසට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කළත් එකී ඉල්ලීම ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නොසලකා හැර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහරද සිල්වා විනිසුරු මඬුල්ලට පැවසීය.
එබැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරනා ලෙසත් ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහරද සිල්වා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේ ය.
එකී ලේඛන නොමැතිව පෙත්සම්වල ඇති කරුණු තහවුරු කිරීමේ අපහසුතාව පෙන්වා දෙමින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා කරුණු දැක්වූ අවස්ථාවේදී රජයේ අධිනීතිඥවරිය කරුණු දක්වමින් එකී ලේඛන කඩිනමින් ලබා දෙන ලෙසට වගඋත්තරකරුවන්ට උපදෙස් ලබා දෙන බවත් අවශ්‍ය සියලු ලේඛන මෝෂන් පත්‍රයක් මගින් අධිකරණයටත් පෙත්සම්කාර පාර්ශ්වයටත් ලබා දීමට පියවර ගන්නා බවත් පැවසුවා.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එකී පෙත්සම් කරුණු තහවරු කිරීම සඳහා ලබන සැප්තැම්බර් 9 වන දා යළි කැඳවීමට දින නියම කළේ ය.
විදුලි හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය යටතේ නීතිඥ චලනි ද අල්විස් මගින් එම පෙත්සම් ගොනු කර තිබිණි.
වහල මත සවිකර ඇති සූර්ය බලශක්ති කෝෂ මඟින් නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිල දී ගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලය මෙන් ම ලංකා විදුලි සමාගම ද ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අත්තනෝමතික බවත් එමඟින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් විදුලිබල පනත අනුව එවැනි මිල අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු අතර සිය පෙත්සම්කරුවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් එවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් පෙන්වා දී තිබිණි.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මෙවැනි ආකාරයෙන් ගාස්තු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි ක්‍රියාවක් වන බැවින් එකී අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් අසා අවසන් වනතුරු අදාළ ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.
| Mawbima




