පුද්ගලයකු අතුරුදහන් කිරීම සම්බන්ධ විමර්ශනයකට අදාලව රහස් පොලිසිය විසින් ජුලි 28 වැනිදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඉන්නා හිටපු නාවික හමුදාපති අද්මිරාල් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න යළි ජුලි 30 වැනිදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන්ව ඇත්තේ සිරිසෝම උළුගේතැන්න විසින් ඒ වග පවසන ලද බවයි.
ඔහු හැර තවත් හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනකුද ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ පොලොව යට පිහිටි ගන්සයිට් රහසිගත වධකාගාරය පිළිබඳව දැන සිටි බව ද රහස් පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කර ඇති පරිදි 2009 වසරේ යුද්ධය අවසාන වීමත් සමග අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වසර තුනකට අධික කාලයක් නාවික බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කර ඇත.
අගෝස්තු 3 වැනිදා පළ කළ වාර්තාවක් මගින් ‘වීරකේසරී’ පුවත්පත කියා සිටින්නේ 2010 ඔක්තෝබර් 1 වැනිදා අධ්‍යක්‍ෂ නාවික බුද්ධි වශයෙන් පත්වීම් ලැබීමෙන් අනතුරුව එවකට නාවික හමුදාපති වු අද්මිරාල් සෝමතිලක දිසානායකගෙන් ගත් ලිඛිත අවසරය මත ත්‍රිකුණාමලයේ ගන්සයිට් කඳවුර බැලීමට ගිය බව සිරිසෝම උළුගේතැන්න දැනුම් දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන්ව ඇති බවයි.
ඒ වන විට එහි පුද්ගලයන් 40 - 60 ත් අතර පිරිසක් රදවා සිටි බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව එම වාර්තාවේ සදහන් යැයි කොළඹින් පලකෙරෙනන ‘වීරකේසරී’ දෙමළ ජාතික පුවත්පත වැඩි දුරටත් වාර්තා කර ඇත.
එම පිරිස අතර විදේශිකයන් දෙදෙනකුද සිටි බවටත් අනාවරණය වී තිබේ.
‘වීරකේසරී’ පුවත්පත සිය වාර්තාව මගින් කියා සිටින්නේ ත්‍රිකුණාමලයේ භුගත ගන්සයිට් කඳවුර තමා බාරයේ පැවැතියත් එහි විශේෂ බුද්ධි ඒකකය නමින් හැදින්වෙන ඒකකයක් ක්‍රියාත්මක වු අතර එය නාවික හමුදා බුද්ධි අංශය විසින් මෙහෙයවන ලද ඒකකයක් නොවන බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වන බවයි.
එම බුද්ධි ඒකකයට නාවික හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ නොවු එවකට කොමදෝරු ඩී.කේ.පී. දසනායක නියෝග දුන් බවත් නාවික හමුදා සාමාජිකයන් වන රණසිංහ, පොඩි කුමාර, ලොකු කුමාර, රත්නායක, සඳමාලි හා කෞශල්‍යා යන සිව් දෙනා ඔහු යටතේ සිටි බවත් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත.
‘වීරකේසරී’ පුවත්පත වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ එම විශේෂ බුද්ධි ඒකකය තමන් විසින් විසුරුවා හරින ලද බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජුලි 28 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුනේ පහලොස් වසරකට ඉහත දී අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි අයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙනි.
2010 ජුලි 22 දා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන එයින් දින කීපයකට පසු අතුරුදහන් කරන ලද ගනේරාලලාගේ ශාන්ත සමරවීර රඳවා සිටි බව හෙළිවී ඇති ගන්සයිට් නාවික හමුදා වධකාගාරය ඒ සමයේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ නිශාන්ත උළුගේතැන්න යටතේ ක්‍රියාත්මක වුවකි.
අතුරුදහන් කරනු ලැබූ ගනේරාලලාගේ ශාන්ත සමරවීර ඒ සමයේ රඳවා තිබුනේ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ගන්සයිට් භූගත වධකාගාරයේ බව සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) 2019 දී එළිදැක්වූ වාර්තාවකින් අනාවරණය කර තිබුනි.
“ශ්‍රී ලංකා නාවික හමුදාව: සාමුහිකව ඇස් පියා ගැනීම” නම් පිටු සියයත් ඉක්මවන එම වාර්තාව සම්පාදනය කර තිබුනේ කොළඹ සහ ඒ අවටින් පැහැරගැනීමෙන් අනතුරුව ගන්සයිට් සිරකඳවුරේ සිට අතුරුදහන් වූ පිරිමි 11 දෙනකු පිළිබඳ පොලිස් පරීක්ෂණ සටහන්, අධිකරණ වාර්තා ඇතුළු සාක්ෂි ගවේෂණයෙනි.
2008-09 සමයේ එම 11 දෙනා පැහැරගැනීම ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිස් නිලධාරීන්ට අවුරුද්දකට ආසන්න කාලයක් ගන්සයිට් කඳවුරේ රඳවා සිටි නාවික හමුදා බුද්ධි නිලධාරියකු වන බස්නායක මුදියන්සේලාගේ විජයකාන්ත් පවසා තිබුනේ ශාන්ත සමරවීර තමන් සමගම සිරගතකොට සිටි බවයි. ඉබ්බාගමුව ප්‍රදේශයේ ප්‍රගීත් නිසංසල විතානාරච්චිද ඒ සමග සිටි බව පොලිසිය වැඩි දුරටත් හෙළි කොටගෙන තිබුණි.
අධිකරණ නියෝග අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අගෝස්තු 13 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2025 ජුලි 30 වැනිදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ ත්‍රිකුණාමලයේ ගන්සයිට් වධ කඳවුර සිදුවු නීති විරෝධි කටයුතු සම්බන්ධයෙන් දැන සිටි බවට වන සාක්ෂි මත එවකට නාවික හමුදාපතිවරයා වු අද්මිරාල් සෝමතිලක දිසානායකගෙන් සහ එවකට නැගෙනහිර ආඥාපති වු පසු කලෙක නාවික හමුදාපතිධුරයට පත් ජයනාත් කොළඹගේ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බවයි.
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ බුද්ධි ඒකකය බාරව සිටි බාරති සහ නාවික හමුදාවේ අයකු ලබා දුන් සාක්ෂි අනුව විදේශිකයන් දෙදෙනකුද ගන්සයිට් වධ කඳවුරේ රදවා සිටි බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වු බව වීරකේසරි පුවත්පත වාර්තාකර තිබේ.
ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ගන්සයිට් භූගත වධකාගාරයේ රදවා සිටි අය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරියාගේද සාක්ෂි මත පදනම්ව පේදුරුතුඩුවේ පදිංචි කරන් සහ සරිදා යන අඹු සැමියන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් එහි ගිය අවස්ථාවේ නාවික හමුදා බුද්ධි අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම කණ්ඩායම ලුහු බැඳ ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 30 වැනිදා අධිකරණයට දැනුම් දී ඇත.
කරන් සහ සරිදා යන අඹු සැමියන් මේ වන විට ස්විට්සර්ලන්තයේ ජීවත් වන බව දැනගැනීම නිසා නිවැසියන්ගෙන් ඔවුන් සම්බන්ධකරගතහැකි දුරකතන අංක ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම ස්ථානයෙන් පිටව ගිය පසු ඉහත ලුහු බැදීම සිදු කළ නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් එම නිවසට ගොස් විමර්ශනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පසුපස ලුහුබැදි නාවික හමුදාවේ බුද්ධි අංශයේ සාමාජිකයන් කැදවා කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ කන්කසන්තුරේ බාර නාවික බුද්ධි අංශ ප්‍රධානී ලුතිතන් කමාන්ඩර් රූපසිංහගේ නියෝග මත එම ලුහු බැදීම සිදු කළ බවයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලුතිතන් කමාන්ඩර් රූපසිංහගෙන් ප්‍රශ්න කිරීමේ දී එය තමාගේ තීරණයක් මත සිදු වුවක් බව ඔහු පිළිගත්තේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වු බව අගෝස්තු 3 වැනිදා පළ කළ වාර්තාව මගින් ‘වීරකේසරී’ පුවත්පත වැඩි දුරටත් කියා සිටි.




