ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ විධායක අධ්‍යක්ෂවරයා වන රජිත් කීර්ති තෙන්නකෝන් එබව සඳහන් කර ඇත්තේ අද (05) දින මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
* විදේශ සංචිත පහත වැටේ !
* ආර්ථික වර්ධන වේගය අඩාලයි !
* රුපියල අවප්‍රමාණය වේ !
* සල්ලි අච්චු ගසයි !
* ජාතික ආර්ථික ඉලක්ක අවදානම් !
2022 දෙසැම්බර් මස ඩොලර් මිලියන 1,900 ක් වූ විදේශ සංචිත 2024 දෙසැම්බර් මස වන විට බි. 6,120 ක් දක්වා වර්ධනය විය. මාස 24 ක් තුල ඩොලර් මිලියන 4,220 ක් හෙවත් සෑම මසකට ඩො. මි. 175 බැගින් අඛණ්ඩව සංචිත වැඩි වෙමින් පැවතුණි.
2024 දෙසැම්බර් සිට මේ වසරේ මැයි දක්වා (මාර්තු - අප්‍රේල් මාස දෙක හැර) අඛණ්ඩව විදේශ සංචිත පහත වැටෙමින් ඇත. සංචිත වැඩිවිම නැවතී, සංචිත පහත වැටීමේ රිද්මයකට පැමණ ඇත.
සල්ලි අච්චු ගැසීම
2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස 12 තුළ පුළුල් මුදල් සැපයුම රු. බි. 1,427.9 (10.4%) කින් වර්ධනය වී ඇත. පුළුල් මුදල් සැපයුමේ වර්ධන යනු මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම වැඩි කිරීම හෙවත් මුදල් අච්චු ගැසීම හා වාණිජ බැංකු හරහා සිදුවන මුදල් මැවීමයි.
2025 මැයි දක්වා වන අවසන් මාස 12 තුල සංචිත මුදල් සැපයීම රු. බි. 242.5 (17.1%) කින් වර්ධනය වී ඇත. මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් හා අජිත් නිවාඩ් කබ්රාල් යුගයන් හි ‘මැරතන් අච්චු ගැසීම’ නොවුවත් මෙය බලපෑම්කාරී මට්ටමකි.
මුදල් මැවීමේ අනිවාර්ය ප්‍රතිඑලය උද්ධමනය ඉහළ යාම වුවත්, තවමත් ලංකා ආර්ථිකයේ මාස 11 ක් පුරා පවතින අවධමන තත්වයෙන් මිදී නැත. රජය අය වැය මගින් වෙන්කළ ප්‍රාග්ධන මුදල් වැය නොකිරීම (මිලදී ගැනීම්, ඉදිකිරීම් හා සේවා) මෙයට මුලික හේතුවයි.
රුපියල බාල්දුවීම
මහ බැංකුවට අනුව, 2025 ජනවාරි 1 රු. 292.58 ක් වූ ඩොලරය, අගොස්තු 2 දින වන විට රු. 302.18 දක්වා, එනම් ඩොලරයට සාපේක්ෂව රුපියල ඒකක 10 කින් බාල්දු වී ඇත.
මහ බැංකුව සංචිත ඉහළ නැංවීමට වානිජ්‍ය බැංකු හරහා ඩොලර් මිලදී ගෙන සංචිත ගොඩනැගු නමුත්, පසුගිය මාස 7 තුල සංචිත වැඩිවීමක් නොමැතිවම, රුපියල අවප්‍රමාණය වීම දැඩි ආර්ථික අවදානමකි.
අර්ථික වර්ධන වේගය පහත වැටීම
ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව, 2024 වසරේ දී 5% ක් වූ ආර්ථික සංවර්ධනය වේගය, 2025 දී 3.5% ක් දක්වා පහත වැටෙනු ඇති අතර, එය 2026 දී 3.1% ක් වනු ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ පූර්වකථනයන්ට අනුව, 2025 දී ආර්ථිකයේ වර්ධනය 3.9% දක්වා ද, 2026 දී එය 3.4% දක්වා ද පහත වැටෙනු ඇත.
අද රට මුහණු දෙන විශාලතම අර්බුදය සැලසුම් කළ පරිදි ආයෝජන නොලැබීම ය. ජපන් සැහැල්ලු දුම්රිය පද්ධතිය, විදුලිබල පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීම (ඩො.බි. 3.8), හම්බන්තොට සිනෝපැක් පිරිපහදු සංකීර්ණය (ඩො.බි. 5) ක ආයෝජන රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන ගැටුම් හේතුවෙන් නැවතී හෝ ප්‍රමාද වී හෝ ඇත.
මන්නාරම අදානි විදුලි ජනන ව්‍යාපෘතිය වන්දි ගෙවමින් අතහැර දැමීමට තීරණය කර ඇත.
අස්වනු නෙලන ආසන්නයේ දී ඩොලර් වැය කරමින් හාල්, බඩ ඉරිඟ, බී ළුණු සීනි ආනයනය කිරීමට රජය පියර ගනු ලැබීය. වාහන දහසක් පමණ රේගුවේ හිරවී ඇති අතර, ජාත්‍යන්තර විනිමය ව්‍යවහාරයන් අනුව ගෙන් වූ තවත් වාහන 1,200 ක් පමණ ආපසු හරවා යැවීමට රජය තීරණය කර ඇත. මේ සියල්ල නාස්තිකාර හා එලදායී නොවන ආර්ථික ව්‍යවහාරයන් වෙති.
ට්‍රම්ප් බදු සාධකය
ට්‍රම්ප් රජය විසින් පනවා ඇති නව බදු 20% ක මට්ටමට පැමිණීම පිළිබඳ සතුටු විය හැක්කේ, එය රටේ ආර්ථිකය එල්ල විය හැකි මරු පහරක් නොවන බවට වන උපකල්පනය නිසාය. කෙසේ නමුත්, ට්‍රම්ප් බද්ද හි ‘වෙළඳ බලපෑම්’ ඩොලර් බිලියන 1.2 දක්වා විය හැකි බව අනුමාන කෙරේ.
බොරු දත්ත
ඇමති ටී.බී. සරත් රටේ 8.3% ක ආර්ථික වර්ධන වේගයක් ඇතැයි ‘ලොකු බොරුවක්’ කීවේය.
පසුගිය මාස 7 තුල රටේ සංචාරක ආදායම ඇ.ඩො. බි. 1.71 ක් බව මහ බැංකුව ප්‍රකාශ කර පසු දින විජිත හේරත් අමාත්‍යවරයා පැවසූවේ එය ඇ.ඩො. බි. 3.7 ක් බවය.
රජයේ අමාත්‍යවරුන් දිගින් දිගමට ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ආර්ථිකය ගැන ‘සුදු චිත්‍රයක්’ නිර්මාණය කරති.
රට තුල ආර්ථික අවස්ථා පුළුල් කිරීම, ආයෝජනයට හිතකර ප්‍රතිපත්ති හා පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
අවසනාවකට මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම, ප්‍රාග්ධන මුදල් වැය නොකිරීම, රුපියල බාල්දුවීම සහ ආර්ථික වර්ධන වේගය පහත වැටීම දිගු කාලීන අයහපත් ප්‍රතිඑල ඇති කරන්නේය.
(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
rajith_tennakoon@yahoo.com
Rajith Keerthi Tennakoon
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka




