අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය 04වන දින බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අතර තවත් පැවති විශේෂ සාකච්ඡාවක් දි ය.
මෙම සාකච්ඡාවට පදනම වුයේ පසුගිය මැයි 23 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සහ හෙට එනම් 06වන දිනට පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත විදුලිබල සංශෝධන පනත ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
දැනට සිටින කිසිම සේවකයෙකුගේ වරප්‍රසාද අයිතිවාසිකම් කඩ වෙන්නේ නැහැ
''විදුලිබල සංශෝධන පනත ජාතික ජනබලවේගයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සුරකින අතරම වර්තමාන අභියෝග හා අනාගත ආර්ථික තත්වයන්ට මුහුණ දිය හැකි අයුරින් විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම පිණිස මෙම සංශෝධන පනත ඉදිරිපත් කරනවා. මෙමගින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණ වැඩපිළිවෙළ ආපසු හරවමින්, විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමකාරීත්වය සුරැකීමට හැකිවෙනවා.
එමෙන්ම, මේ පනත ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුළ විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැකි තරම් දැනුවත් කරමින්, ඒ වගේම අදාළ ක්ෂේත්‍රයේ සියලු දෙනාගේම අදහස් හා යෝජනා ලබාගනිමින්, ඒ සඳහා ප්‍රමාණවත් කාල වේලාවක් දෙමින් ක්‍රියාත්මක කළා. අපි කිව්වා වගේම දැනට සිටින කිසිම සේවකයෙකුගේ වරප්‍රසාද අයිතිවාසිකම් කඩ නොවන විදිහට ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු නඩු සහ එම තීන්දු සැලකිල්ලට අරගෙන හැකි තරම් සද්භාවයෙන් අපි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නෙ.
ඒ වගේම මීට පෙරත් වෘත්තීය සමිතිවලට ද අදහස් දක්වන්න අවස්ථාවක් දුන්නා. වැඩි වෘත්තීය සමිති ප්‍රමාණයක් ඊට සහභාගී වෙලා අදහස් ප්‍රකාශ කළා. එදා නොපැමිණි වෘත්තීය සමිතිත් අද සහභාගී වෙනවා. ඒක අගය කරනවා. අපි ජනතා කේන්ද්‍රීය රජයක්. මේ රටට සහ වැඩකරන ජනතාවට හානිදායක තීන්දුවක් අපි ගන්නෙ නෑ. ඒ හින්දා මේ පනතේ වටිනාකම, අවශ්‍යතාවය තේරුම් අරගෙන වෘත්තීය සමිතිවලත්, සේවකයෝ සියලු දෙනාගේමත් සහයෝගය මේ සඳහා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා''
පනත සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වනවා - වෘත්තිය සමිති නියෝජනය
මෙහි දී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ නැවත වතාවක් වෘත්තීය සමිති සමග අදහස් හුවමාරු කරගන්න අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතරම, වගකිව යුතු වෘත්තීය සමිති හැටියට සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා අත්‍යවශ්‍ය වැදගත් කාරණාවක් බව ඇමතිවරයාත් පිළිගනු ඇතැයි විශ්වාස කරන බවත්, පොදුවේ සියලු වෘත්තීය සමිතිවල එකඟතාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයක් මේ අවස්ථාවේ ලිඛිතව ඉදිරිපත් කරන අතරම, වෘත්තීය සමිතිවලට අවශ්‍ය විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව අපසු හරවන වැඩපිළිවෙළ හෝ රජයේ සංවර්ධන වැඩවලට අකුල් හෙළන වැඩපිළිවෙලක් නොවන බවත්, සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකෙන හා විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව තහවුරු කෙරෙන තත්වයක් තුළ මෙම පනත සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වන්නට සූදානම් බව යි.
මෙම අවස්ථාව සඳහා විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යංශයේ අධ්‍යක්ෂක ජනරාල් පුබුදු නිරෝෂන් ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.





