පළමු අවස්ථාවට සහභාගි වූ දෙසීයකට වැඩි දෙමළ යුද පීඩිතයන් දහසය අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සොයන ලද ඥාතීන් විසින් පරිහරණය කරන භාණ්ඩ කිසිවක් එහිදී දැකගත නොහැකිව ආපසු ගොස් තිබේ.
යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජාගේ නියෝගය පරිදි 2025 අගෝස්තු 5 වැනිදා පස්වරු 1.30 සිට හවස 5 වන තෙක් සිත්තුපාත්ති සමූහ සුසාන භුමියේ දී එම පරිශ්‍රයෙන් මෙතෙක් ගොඩගන්නා ලද භාණ්ඩ අතුරින් කොටසක් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමේදී ප්‍රමුඛත්වය ලබා දී තිබුනේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ටයි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා අගෝස්තු 5 වැනිදා සවස් යාමයේ මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ සමුහ සුසානයෙන් ගොඩගත් මිනිස් අස්ථි නොවන ද්‍රව්‍ය 54 න් 43 ක් අද දිනයේ හදුනාගැනීම සදහා ප්‍රදර්ශනය කර තිබු බවයි. ඉතිරි වස්තුන් මිනිස් පාරිහාරික වස්තුන් නොවන නිසා ප්‍රදර්ශනයට එක් නොකර තිබු බව ඇය වැඩි දුරටත් සදහන් කළාය.
එහෙත් පැමිණි පිරිසගේ සමීපතමයන් ඇසුරු කළ කිසිවක් මෙම භාණ්ඩ අතර තිබී නැත.
ඉදිරි කැනීම් වලදී සිත්තුපාත්ති සමූහ සුසාන භුමියෙන් තව දුරටත් පාරිහාරික වස්තුන් හමු වුවහොත නැවත වරක් මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්විමට ඉඩ කඩ පවතින බවටත් ඇය සදහන් කළාය.
ගොඩගන්නා ලද භාණ්ඩ ප්‍රදර්ශනයට වින්දිතයන් සහභාගී වන අවස්ථාව රූගත කිරීමට ජනමාධ්‍යවේදීන්ට අධිකරණ අවසරයක් ලබා දී තිබුනේ නැත.
මාසයකට වැඩි කාලයක් තිස්සේ සිදු කළ කැනීම් මගින් දැනට හඳුනාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව රටේ තුන්වැනි තැනට පැමිණ තිබෙන යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම වෙනුවෙන් සිදු කෙරෙන ස්කෑන් පරීක්ෂණ කටයුතු අගෝස්තු 4 සහ 5 යන දෙදින තුළ සිදු කර ඇත.
චෙම්මනි සමූහ සුසාන සංකිර්ණයේ කැනීම් කටයුතු වාර්තාකරණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සහාය ඇතිව භූමිය ස්කෑන් කිරීමේ කටයුතු සිදු කළ බවයි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා අගෝස්තු 5 වැනිදා යවස් යාමයේ මාධ්‍යවේදීන් වෙත කියා තිබුනේ සති තුනකින් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විසින් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි.
අපරාධ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර ඇති සමුහ සුසාන භුමියේ දෙවැනි අදියරේ කැනිම් කටයුතු සිදු කළ 31 වැනි දිනය වු අගෝස්තු 05 වැනි අගහරුවාදා හවස් විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි 130 ක් ගොඩ ගෙන ඇති අතර මතු කරගත් සමස්ත ඇටසැකිලි ගණන 141 කි.




