යොදාගන්නා බවට උතුරේ දෙමළ පාසල් ශිෂ්‍යාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින යුද හමුදා භටයකුගේ බිරිඳක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවලට බරපතල චෝදනාවක් කර තිබේ.
දහනම හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් ශිෂ්‍යාව දුෂණය කොට ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියම වූ යුද හමුදාවේ කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිද වත්මන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ දඬුවම් ලබා දිය යුත්තේ වැරදි කළ ඉහල නිලධාරීන්ට බවයි.
"හිටපු පාලකයන් කළේ උසස් නිලධාරීන් බේරාගෙන යුධ හමුදාවේ පහළ නිලදාරීන් පිරිසකට දඩුවම් කර ජාත්‍යන්තරයට ප්‍රකාශ කලා අපි අපේ හමුදාවටත් වැරදි කලානම් දඩුවම් ලබා දුන් බව. දඩුවම් ලබා දිය යුත්තේ වැරදි කළ අයට. හිටපු රජයන් ගැලවීම සදහා අහිංසක සෙබළුන් පිරිසකට මරණ දඩුවම ලබා දී ජාත්‍යන්තර සමුළු වලදී මේ වසර 26 පුරාම මෙම හමුදා භටයන් බිල්ලට දෙමින් හිටපු රජයන් කටයුතු කළ අතර ඔවුන්ට සමාවක් ලබා නොදී කටයුතු (කළෙමි.)," යි රාජපක්ෂ බිරිඳ එස්.සී. විජේවික්‍රම ජනාධිපතිවරයාට යොමුකළ අභියාචනයේ සදහන්ය.
ළමා ළපටින්ගේ ද ඇතුළු මිනිස් සිරුරු 150 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට පාදාගෙන තිබෙන චෙම්මනි සමූහ මිනීවල අවට කලාපයේ යුද හමුදාව විසින් තවත් සිරුරු සියගණනක් මරා වලදමා ඇති බව අධිකරණයට ප්‍රකාශ කළ කෝප්‍රල් රාජපක්ෂ ඇතුළු මරණ දණ්ඩනය නියම වූ සෙබළුන් 5ක් විසින් පෙන්වන ලද ස්ථානවලින් 1999 දී සිරුරු 15ක් ගොඩගන්නා ලදී.
ඒ පස්දෙනා විසින් අපරාධවලට වගකිවයුතු පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 20 ක නම් හෙළිකර තිබුණි.
"1996 වර්ෂයේ යාපනයේ දී ක්‍රිෂාන්ති කුමාරස්වාමී දුෂණය කර මරා දැමු නඩුවේ වසර 29 ක් බන්ධනාගාර ගතව මරණ දඩුවමේ සිටින හමුදා භටයන් (05) පස්දෙනා එම ඝාතනයේ සත්‍ය හෙළි කරමින් ගරු ජනාධිපතිතුමන් වෙත මෙම අභියාචනය ඉතාම ගෞරවයෙන් යුතුව ඉදිරිපත් කරමි," යන හිසින් යුතුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අභියාචනය මගින් ඇය පෙන්වා දී ඇත්තේ සිය ස්වාමි පුරුෂයාට දඩුවමේ කලේ නීති විරෝධි ආකාරයෙන් බවත්, චෙම්මනි සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඒ සදහා සාක්ෂි ලබා දීමට සිය ස්වාමි පුරුෂයා වන රාජපක්ෂ කැමැත්ත පළ කර සිටින බවයි.
දහනම හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් ශිෂ්‍යාව 1996 සැප්තැම්බර් 07 දා චෙම්මනියේ දී දුෂණය කර ඝාතනය කිරීම හා ඒ දිනයේ දී ම තම දියණිය සොයා ආ ඇයගේ අම්මා රාසම්මා කුමාරස්වාමි, මල්ලී ප්‍රණවන් කුමාරස්වාමි හා පවුලේ මිත්‍රයකු වූ කිරුබාකරන් යන අයද ඝාතනය කිරීම සම්බන්ධයෙන් 09 දෙනෙක් චෝදනා ලබා සිටියහ.
ඒ චූදිතයන් අතර හමුදා භටයන් අට දෙනෙක් හා එක් පොලිස් භටයෙක් වූහ. මේ චූදිතයන්ට එරෙහි නඩුකරය 1997 නොවැම්බර් 18 වැනිදා කොළඹ මහාධිකරණයේ දී ආරම්භ කරන ලදී. අධිකරණ ක්‍රියාදාමය අවසානයේ දී, එනම් 1998 ජූලි 03 වැනිදා චූදිතයන් 09 දෙනාම ඒ සම්බන්ධයෙන් වරද කරුවන් බවට සනාථ වී ඇතැයි නිමල් දිසානායක, ගාමිණී අබේරත්න සහ ඇන්ඩ්රූ සෝමවංශ යන විනිසුරු තුන්කට්ටුව විසින් තීන්දු කරන ලදී. ඉන් හය දෙනකුට මරණීය දණ්ඩනය නියම වූ අතර, අනෙක් තිදෙනාට වසර 20 ක සිරදඬුවම් ද රුපියල් 50,000/- බැගින් වූ දඩ ද නියම කරන ලද්දේ ය.
මරණීය දණ්ඩනය නියම වූයේ සෝමරත්න රාජපක්ෂ, ආර්.එල්.එම්. ජයසිංහ, ඒ.ඒස්.පී. පෙරේරා, ඩී.එම්. ජයතිලක හා ඩී.වී. ඉන්ද්‍රජිත් කුමාර යන හමුදා භටයන් පස් දෙනාට හා පොලිස් භටයකු වූ ජී. ප්‍රදීප් ප්‍රියදර්ශනටය. වසර 20 ක සිරදඬුවම් නියම වූයේ ඩබ්.ඒ.ඩබ්.අල්විස්, ඩී.ජී.මුතුබණ්ඩා හා ඒ.පී. නිෂාන්ත යන හමුදා භටයන්ටය.
සෝමරත්න රාජපක්ෂ හා මහාධිකරණය විසින් වරද කරුවන් ලෙස නම් කර මරණීය දණ්ඩනයට යටත් කරන ලද අනෙක් පස්දෙනා විසින් සිය දඬුවම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා අභියාචනාවක් ඉදිරිපත් කරන ලදි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අභියාචනය නිශ්ප්‍රභ කරමින් මහාධිකරණය විසින් දුන් දඬුවම ස්ථීර කරන ලද්දේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ අභියාචනය මගින් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිද වන එස්.සී. විජේවික්‍රම පෙන්වා දී ඇත්තේ මෙතෙක් පැවති ආණ්ඩු යටතේ රටේ නීතිය කෝටිපති ව්‍යාපාරිකයකුට හා සාමාන්‍ය මිනිසුන්ට දෙයාකාරයකට ක්‍රියාත්මක වන බවයි.
එය නිදර්ශන සහිතව ජනාධිපතිවරයා වෙත පෙන්වා දීමටත් ඇය කටයුතු කර ඇත.
1998 වර්ෂයේ සිය ස්වාමි පුරුෂයා වන සෝමරත්න රාජපක්ෂට මරණ දඩුවම ලබා දීමෙන් පසු එම අභියාචනය විභාග නොකර මහාඅධිකරණයේ සඟවා තබා ගැනීම නිසා හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් මරණ දඩුවම නියම වුවන් සදහා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලිහිල් කර 2002.05.26 වැනි දින ලබා දුන් සමාව සිය ස්වාමියාට අහිමි වුයේ ඔහුගේ අභියාචනය 2002.12.26 වැනිදා දන්වාම ප්‍රමාද කිරීම නිසාවෙන් බවටත් ඇය චෝදනා කරයි.
කෝටිපති ව්‍යාපාරිකයකු වු ප්‍රභාත් මනබන්ධන සේරම් යන අය ඒ වන විට සෙව්වන්දි නැමැති හමුදා සෙබළිය ඝාතනය කර 2000 වර්ෂයේ කොළඹ මහාධිකරණයේ විභාග වු නඩුවට මරණ දඩුවම ලබා දෙන අතර ඔහු විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය 2001 වර්ෂයේ විභාග කර 2002.04.05 වැනි දින නැවත මරණ දඬුවම ජීවිතාන්ත දඩුවමක් දක්වා ලිහිල් කිරීම ඔහුට හිමි වු අතර 2021.05.26 වැනි දින ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් ජීවිතාන්ත සිර දඩුවම විසි වසරක සිර දඩුවමක් බවට ලිහිල් කිරීමෙන් පසු නිදහස ලබා ඔහු බන්ධනාගාරයෙන් පිටව ගිය බවත් ඇය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
29 වසරක් තිස්සේ සිය ස්වාමි පුරුෂයා ඇතුළු මරණ දඩුවමි විඳිමින් සිටින හමුදා භටයන් පස් දෙනාට සමාවක් ලබා දීමට නිර්දේශ ලබා නොදෙන්නේ ඇයිදැයි යන්න ගැටළුවක් බව පවසන කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිද වන එස්.සී. විජේවික්‍රම විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කළ අභියාචනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ සිය ස්වාමි පුරුෂයාට මහාධිකරණයෙන් දඩුවම් කිරීමට පෙර කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 1999 වර්ෂයේ චෙම්මනි මුරපොලේ සිය ස්වාමියා රාජකාරි කර ඇත්තේ මාස දෙකක් වැනි කෙටි කාලයක් බවත්, එම කාල සීමාව තුළ ඔහු විසින් වළ දමන ලද ස්ථාන පෙන්වා දීමෙන් පසු කපිතාන් ලලිත් හේවාගේ, කපිතාන් පෙරේරා, ලුතිනන් උදය කුමාර, එම මුරපොලේ භාෂා පරිවර්තක වන පොලිස් කොස්තාපල් සමරසිංහ, පොලිස් කොස්තාපල් අබ්දුල් හමීඩ් නසාර් සහ ලුතිනන් තුඩුගල යන ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් මාස 6 ට පසු ඇප ලබා ගනිමින් බන්ධනාගාරයෙන් පිටව ගිය අතර ඉන් පසු ඒම නඩුවට කුමක් වුයේද යන්න අද වන තුරුත් නොදන්නා බවයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ද පිටපත් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ අභියාචනායේ ඇය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ මෙම ලිපිය යොමු කර මාසයක් වැනි කෙටි කාල සීමාවක් තුළ පිලිතුරක් නොලැබෙන්නේනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වෙතද මෙම අභියාචනය යොමු කිරීමට කටයුතු කරන බවයි.




