The Leader News
BREAKING
Top Ad
පුවත්

සුනාමි අනාථයන්ට ආධාර කරන්නට ගොස් ඝාතනයට ලක්වූ පිරිසක් සැමරේ

T

The Leader Desk

August 7, 2025 • 3:11 AM

 සුනාමි අනාථයන්ට ආධාර කරන්නට ගොස් ඝාතනයට ලක්වූ පිරිසක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝාතනයට ලක්වුවන්ගේ ඡායාරූප සහිත බැනරයක් ඉදිරියේ ඉටිපන්දම් දල්වා ත්‍රිකුණාමලයේ මට්ටිකාලි කලපු උද්‍යානයේ දී අගෝස්තු 4 වැනිදා ඔවුන් අනුස්මරණය කිරීමට කටයුතු කළේ ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් හා ඝාතනයට ලක් වුවන්ගේ ඥාතීන් විසින් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • ප්‍රංශයේ පැරිසිය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සංවිධානයක් වන ‘ඇක්ෂන් එගේන්ස්ට් හංගර්’ (සාගින්දරට එරෙහි ක්‍රියාන්විතය - ACF) මුතූර් කාර්යාලයේ සේවය කළ ලාංකික සහන සේවකයන් 17 දෙනා වෙඩි තබා ඝාතනය කෙරුණේ 2006 වසරේ අගෝස්තු 4වැනිදා ය.
  • ඔවුන් 17 දෙනාට දෙමළ සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයන් 16 දෙනකුද මුස්ලිම් සම්භවයක් ඇති එක් ශ්‍රී ලාංකිකයකුද ඇතුළත් විය.
  • ඇති බහුතරය තරුණ තරුණියන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඝාතනයට ලක්වුවන්ගේ ඡායාරූප සහිත බැනරයක් ඉදිරියේ ඉටිපන්දම් දල්වා ත්‍රිකුණාමලයේ මට්ටිකාලි කලපු උද්‍යානයේ දී අගෝස්තු 4 වැනිදා ඔවුන් අනුස්මරණය කිරීමට කටයුතු කළේ ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් හා ඝාතනයට ලක් වුවන්ගේ ඥාතීන් විසින්  බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ප්‍රංශයේ පැරිසිය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සංවිධානයක් වන ‘ඇක්ෂන් එගේන්ස්ට් හංගර්’ (සාගින්දරට එරෙහි ක්‍රියාන්විතය - ACF) මුතූර් කාර්යාලයේ සේවය කළ ලාංකික සහන සේවකයන් 17 දෙනා වෙඩි තබා ඝාතනය කෙරුණේ  2006 වසරේ අගෝස්තු 4වැනිදා ය.

ඔවුන් 17 දෙනාට දෙමළ සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයන් 16 දෙනකුද මුස්ලිම් සම්භවයක් ඇති එක් ශ්‍රී ලාංකිකයකුද ඇතුළත් විය. ඇති බහුතරය තරුණ තරුණියන්ය. මෙම සිද්ධිය සිදුවූයේ ශ්‍රී ලංකා රජයේ හමුදා සහ විමුක්ති කොටි සංවිධානය අතර මුතූර් භූමිය වෙනුවෙන් කෙරුණු සංග්‍රාමය අතරතුර ය. සහන සේවකයන් මුතුර් ගොස් සිටියේ සුනාමියෙන් පීඩාවට පත් වුවන්ගේ සුබසාධනය වෙනුවෙනි.

මූත්තූර් සමූල ඝාතනයේ තුන්වැනි සැමරුම වෙනුවෙන් 2009 අගෝස්තු 4වැනිදා, යාපනය කේන්ද්‍රකරගත් මානව හිමිකම් සඳහා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද සවිස්තරාත්මක වාර්තාවෙන් හෙළිදරව් වූයේ මෙම ඝාතනයට වගකිවයුතු වන්නේ රජයේ ආරක්ෂක හමුදා බවයි. සිද්ධිය පදනම් කරගත් සාක්ෂි රාශියක් සහ අදාල ගිනි අවි විශ්ලේෂණය කරමින් එම වාර්තාව සකසා තිබුණි.

මෙම සිද්ධිය ඇතුළු මානව හිමිකම් කඩවීම් පිළිබඳ සිද්ධි 16ක් සඳහා  හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ විසින් 2007 වසරේ ජූනි මාසයේ ස්ථාපිත කළ ජනාධිපති කොමිසම විසින් ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව එකී සිද්ධියෙන් නිදහස් කෙරුණි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගමගේ සභාපතිත්වයෙන් යුත් මේ කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ යසන්ත කෝදාගොඩ, දුලිප් ජයතුංග සහ ලක්මාලි කරුණානායක ය.

මෙහිදී විනිසුරු උදලාගම මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනේ  එම නිශ්චිත මොහොතේදී එකදු යුද හමුදා සාමාජිකයකු ඒ අවට සිටි බවට කිසිම සාක්ෂිකරුවකු ප්‍රකාශ නොකළ බවයි.  ඔහු ප්‍රකාශ කළේ සිද්ධිය සිදුවන මොහොතේ මුත්තූර් ප්‍රදේශය මුළුමනින්ම කොටි සංවිධානයේ අණසක යටතේ පැවති බවයි.

නමුත් සිද්ධිය වූ දිනයේම එවක රජයේ ප්‍රකාශක හා  හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍යයට පවසා තිබුණේ මෙම සමූලඝාතනය සිදුවන මොහොත වන විට මුත්තූර් පැවතියේ හමුදා පාලනය යටතේ බවයි. ඊට පසු දිනෙක ඔහු කියා සිටියේ 'කොටි සංවිධානය විසින් ඝාතනය සිදුකළ බවට සාක්ෂි' රජය සතුව ඇති බවයි. එකී සාක්ෂි කිසි දිනෙක අනාවරණය කළ බවක් දැනගන්නට නැත.

ජාත්‍යන්තර විශේෂඥයෙන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා සටන් විරාම කමිටුව (SLMM) ප්‍රසිද්ධියේ කියා සිටියේ ‘මෙම ක්‍රියාවට කිසිදු සම්බන්ධයක් නැතැයි ආරක්ෂක අංශ ප්‍රකාශ කළද, ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳ බරපතල සලකුණු දකින්නට ඇත” යනුවෙනි.

කෙසේ නමුත් සමස්තයක් වශයෙන් ‍‘ඇක්ෂන් එගේන්ස්ට් හංගර්’  ජාත්‍යන්තර සංවිධානය මෙහිදී ක්‍රියා කර ඇත්තේ නොසැලකිලිමත් ලෙසින් බවට උදලාගම ජනාධිපති කොමිසමේ දෝෂ දර්ශනයට ලක්විය.

එසේම එම සංවිධානය මෙම ඝාතනයට ලක්වුණු සහන සේවකයන්ගේ ඥතීන්ට වසර දහයක වැටුප ගෙවිය යුතු බවට ද කොමිසම විසින් නිර්දේශ කෙරුනි.

නමුත් මෙම කොමිසම ක්‍රියාත්මක වන අතරතුර සාක්ෂි දීම සඳහා ඉදිරිපත්වූ ඝාතනය වූවන් 17දෙනාගේ ඥාතීන්ට ආරක්ෂක හමුදා සාමාජිකයන්ගෙන් තර්ජන එල්ල කෙරුනු බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ සිදුකළ විමර්ශන වාර්තාවකින් එලි දක්වා තිබුනි.

කොමිසමේ කටයුතු නිරීක්ෂණයට පත් කර තිබු ජාත්‍යන්තර ස්වාධීන අද්වීතීයයන් (IIGEP) ලෙසින් හැඳින්වුණු ඉන්දීය විනිසුරු පී එන් භගවතී ගේ නායකත්වයෙන් යුත් මණ්ඩලය 2008 දී ඉල්ලා අස්වුනේ විමර්ශනවල අපක්ෂපාතී භාවය ප්‍රශ්න කරමින්, විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් බරපතල නොමනාපය පල කරමිනි.
 
පහත නම් දැක්වෙන මරා දමන ලද 17 දෙනාට යුක්තිය ඉටුවනතුරු තම සටන අතහරින්නේ නැති බව ACF පවසයි.

* එම් නර්මදන් (23) - ජල හා සනීපාරක්ෂක තාක්ෂණ ශිල්පී

* ආර් අරුල්රාජා (24) - ජල හා සනීපාරක්ෂක තාක්ෂණ ශිල්පී

* එස් කෝනේස්වරන් (24) - රියැදුරු

* එම් රිෂිකේශන් ((24) - ජල හා සනීපාරක්ෂක තාක්ෂණ ශිල්පී

* ආර් සිවප්‍රගාසම් (25) - ස්වස්ථතා ප්‍රවර්ධක

* ජී කවිතා (27) - ස්වස්ථතා උපදේශිකා

* ටී ප්‍රදීපන් (27) - ජල හා සනීපාරක්ෂක තාක්ෂණ ශිල්පී

* ඒ ජසීලන් (27) - ජල හා සනීපාරක්ෂක තාක්ෂණ ශිල්පී

* කේ ගෝවර්ධනී (27) - ස්වස්ථතා ප්‍රවර්ධිකා

* වී කෝකිලවදනී (29) - ස්වස්ථතා ප්‍රවර්ධිකා

* වයි කෝඩිස්වරන් (30) - ආහාර සුරක්ෂිතතා තාක්ෂණ ශිල්පී

* ඒ එල් එම් ජවුෆර් (31) - ජල හා සනීපාරක්ෂක තාක්ෂණ ශිල්පී

* එස් පී ආනන්දරාජා (32) - වැඩසටහන් කළමනාකරු

* අයි මුරලිදරන් (33) - රියැදුරු

* ජී ශ්‍රීධරන් (36) - ජල හා සනීපාරක්ෂක තාක්ෂණ ශිල්පී

* එම් කේතිස්වරන් (36) - ජල හා සනීපාරක්ෂක තාක්ෂණ ශිල්පී

* එස් ගනේෂ් (54) - රියැදුරු 
 mutur 7 01

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...