අධිකරණ වෛද්‍ය නිලධාරි වෝහාරික විශේෂඥ නිර්මාල් බෝරුක්ගම උසාවියට දැනුම් දී ඇත්තේ සාම්පුර් වෙරලින් ඇටකටු හමුවූ පිරිමි තිදෙනාගේ මරණය ස්වාභාවික හේතුවකින් සිදුවූ බව නිගමනය කිරීම අපහසු බවයි.
පුද්ගලයන් තිදෙනකුට අයත් අස්ථි කොටස් වීමත්, එම භුමියේ මීට පෙර විධිමත් සුසාන භූමියක් පැවැති බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැති වීමත් සලකා බලමින් H M තස්නීම් ෆවුසාන් මුතූර් මහේස්ත්‍රාත්වරිය අගෝස්තු 6 වැනි බදාදා නියෝග කර ඇත්තේ එම භුමියේ කැනීම් කටයුතු සිදු කර විමර්ශන කිරීමටයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනයට හිස් කබලක් ඇතුලු ඇටකටු මුල්ම වරට හමුව තිබුනේ ජුලි 20 වැනි දිනයි.
බිම් බෝම්බ ඇති බවට සැක භුමියේ කැනීම් කටයුතු සිදු කිරීම අනතුරුදායක ක්‍රියාවක් බව අගෝස්තු 6 වැනිදා අධිකරණයට දැනුම් දුන් බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය නිර්දේශ කර ඇත්තේ කැනීම් කටයුතු සිදු කරන්නේනම් එය පළාතේ හමුදා අණ දෙන නිලධාරියාගේ සහාය සහිතව සිදු කළ යුතු බවටයි.
ඒ අනුව කැනීම් කටයුතු නැගෙනහිර පළාතේ අණදෙන නිලධාරියාගේ අධික්ෂණය යටතේ, යුද හමුදා ඉංජිනේරු බලකා සාමාජිකයන්ගේ සහාය ඇතිව සිදු කළ යුතු බවට නියෝග කළ මුතූර් මහේස්ත්‍රාත්වරිය තීරණය කර ඇත්තේ නඩු විභායට අගෝස්තු 26 වැනිදා යළි කැදවීමටයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මුතුර් ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබු වාර්තාව මගින් මිනිස් අස්ථි හමුවු භුමිය රජයේ ඉඩමක් බවත්, එහි විධිමත් සුසාන භූමියක් මීට පෙර පැවැති බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැති බවත් යළිත් වරක් අධිකරණය හමුවේ තහවුරු කළ බවයි.
එම භුමියෙන් හමුවු අස්ථි කොටස් සම්බන්ධයෙන් මුතූර් මහේස්ත්‍රාත්වරිය සිදු කළ විමසීම් හමුවේ ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිලධාරි වෝහාරික විශේෂඥ නිර්මාල් බෝරුක්ගම දැනුම් දී ඇත්තේ හමුවු අස්ථි කොටස් පිරිමින් තිදෙනකුට අයත් බවයි.
ඔවුන්ගේ වයස් සීමාවන්ද අධිකරණයට දැන්වු අධිකරණ වෛද්‍ය නිලධාරීයා තවදුරටත් අවධාරණය කර ඇත්තේ ඒ අතරින් දෙදෙනකුගේ අස්ථි එකට හමුව ඇති හෙයින් එම මරණ ස්වාභාවික හේතුවකින් සිදුවූ බවට නිගමනය කිරීම අපහසු බවයි.
අගෝස්තු 6 වැනි බදාදා පැවැති නඩු විභාගය සදහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව, භු විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නිලධාරීන්, පොලිස් නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, ප්‍රදේශයේ ඉඩම් නිලධාරී, ග්‍රාම නිලධාරී ඇතුළු අදාළ පාර්ශවයන් සහභාගී වී සිටි බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනයට ජුලි 20 වැනි අහඹුලෙස හිස් කබලක් ඇතුලු ඇටකටු මුල්ම වරට හමුවු ස්ථානය පිහිටා ඇත්තේ සාම්පුර් පොලිස් බල ප්‍රදේශයේ ළමා උද්‍යානය සමීපයේය.
1990 ජූලි 7 වැනි දින ශ්‍රී ලංකා හමුදා විසින් අවම වශයෙන් සිවිල් වැසියන් 57 දෙනකු වෙඩි තබා, කපා කොටා පුළුස්සා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඝාතනයට ලක් වුවන් අනුස්මරණය වෙනුවෙන් ගම්වැසියන් ස්ථාපිත කළ ස්මාරකයේ සිට මීටර් 50 ක් පමණ නුදුරින් මෙම අස්ථි හමුවී ඇති බව ගම්වාසීහු පවසති.




