අපරාධ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසාන භුමියෙන් සෙරෙප්පු පැළදී සිටියදී වළ දමන ලද පුද්ගලයකුගේ සිරුරක් ගොඩ ගෙන තිබේ.
තවත් කුඩා බිළිදෙකුගේ බව පෙනීයන ලක්ෂණ සහිත සිරුරක්ද සමුහ සුසානයෙන් ඉතා පරෙස්සම් සහගතව ගොඩ ගන්නා ආකාරය කැනීම් කටයුතු වාර්තාකරණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් සිය කැමරා කාචයට හසු කරගෙන ඇත.

දෙවැනි අදියරේ කැනිම් කටයුතු සිදු කළ 32 වැනි දිනය වු අගෝස්තු 6 වැනි බදාදා හවස් යාමය වන චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි 140 ක් ගොඩ ගෙන ඇති අතර මතු කරගත් සමස්ත ඇටසැකිලි ගණන 147 ක් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන් පවසන්නේ.
සමුහ සුසානයෙන් සෙරෙප්පු සහිතව වළ දමන ලද පුද්ගලයකුගේ සිරුරක් අගෝස්තු 5 වැනිදා මතු කරගෙන ගොඩ ගත් බව පවසන නීතිඥ වී. එස්. නිරන්ජන් අවධාරණය කරන්නේ ඒ සමීපයේ තිබී ඉනෙහි බදින ලද සුරයක් හා කාසි කිහිපයක්ද ගොඩ ගන්නා ලද බවයි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිරන්ජන් තව දුරටත් පවසන්නේ යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජාගේ ප්‍රධානත්වයෙන් සමුහ සුසානය සම්බන්ධයෙන් වන නඩු කටයුතු අගෝස්තු 6 වැනිදා සමුහ සුසාන භුමිය තුලදීම විභාගයට ගත් බවයි.
දෙවැනි අදියරේ කැනීම් කටයුතු මේ වන විට දින 32 ක් පුරා සිදු කර ඇති බැවින් කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා අගෝස්තු 07 වැනිදා සිට විමර්ශන කටයුතු තාවකාලිකව නතර කිරීමට අධිකරණය තීරණය කර තිබේ.
යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජාගේ නියෝග පරිදි කැනීම් කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අගෝස්තු 22 වැනිදායි.
සිත්තුපාත්ති සමූහ සුසානයට අදාල නඩු විභාගය අගෝස්තු 14 වැනිදා විවෘත අධිකරණයේදී යලි කැදවීමට මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් නියෝග කර තිබේ.
මාසයකට වැඩි කාලයක් තිස්සේ සිදු කළ කැනීම් මගින් දැනට හඳුනාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව රටේ තුන්වැනි තැනට පැමිණ තිබෙන යුද පීඩිත උතුරෙන් හමුවූ සමූහ සුසානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම වෙනුවෙන් කෙරෙන ස්කෑන් පරීක්ෂණ කටයුතු අගෝස්තු 4 සහ 5 යන දෙදින තුළ සිදු කර තිබුනි.
චෙම්මනි සමූහ සුසාන සංකිර්ණයේ කැනීම් කටයුතු වාර්තාකරණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සහාය ඇතිව භූමිය ස්කෑන් කිරීමේ කටයුතු සිදු කළ බවයි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන් අගෝස්තු 6 වැනිදා යවස් යාමයේ මාධ්‍යවේදීන් හමුවේ විශ්වාසය පළ කර තිබුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විසින් භුමියේ ස්කෑන් පරීක්ෂණ වාර්තාව නඩු කටයුතු යළි විභාගයට ගන්නා අගෝස්තු 14 වැනිදා වන විට අධිකරණට ලබා දෙනු ඇති බවටයි.




