වැඩිම හමුදා ගහනයක් සහිත වන්නියේ වැවකින් සිරුර හමුවූ එක් දරු පියකුගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන බව පැවසෙන විමර්ශනවලට අදාලව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හමුදාවේ තිදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මුලතිව්, මුත්තියන්කට්ටු වැවේ පාවෙමින් තිබියදී සිරුර ගොඩගන්නා ලද එදිර්මානසිංහම් කපිල්රාජ් මරුමුවට පත්වූයේ හමුදා සෙබළුන්ගේ වධහිංසනයෙන් බවට පලාත්වාසීහු චෝදනා කරති.
මියගිය එක්දරු පියාගේ සිරුර ගොඩගන්නා විට කළු පැහැති කොටකලිසමක් පමණක් ඇඳ සිටිනු දැකගත හැකිය.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අගෝස්තු 9 වැනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 13 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ තිදෙනා අගෝස්තු 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් නියෝග කළ බවයි.

හත් මස් ළදරුවකුගේ පියා වන එදිර්මානසිංහම් කපිල්රාජ්ගේ දේහය අධිකරණ නියෝග අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මුත්තියන්කට්ටුව වම ඉවුරේ ස්ථාපිත කර තිබෙන 13 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කඳවුරේ යකඩ ඇතුළු අබලි ද්‍රව්‍ය හා උපකරණ රහසිගතව අලෙවි කිරීම සඳහා හමුදා සාමාජිකයන් කිහිප දෙනකු විසින් ගමේ තරුණයන් කණ්ඩායමක් යොදවාගෙන සිටින බවයි. එසේ අලෙවි කිරීමෙන් උපයා ගන්නා මුදල් යොදවා එම තරුණයන් මාර්ගයෙන් හමුදා කඳවුර තුලට මත් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමද සිදුවන බවට පළාත්වාසීන් උපුටා දක්වමින් ඔවුහු වැඩි දුරටත් චෝදනා කරති.
යකඩ ඇඳන් දෙකක් ඇතුළු අබලි ද්‍රව්‍ය රැගෙන යාම සදහා පැමිණෙන ලෙස හමුදා සාමාජිකයන්ගෙන් ලද කැඳවීමකට අනුව අගෝස්තු 7 වැනිදා හවස් යාමයේ පිරිමි පස් දෙනකු 13 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කඳවුරු භුමියට ඇතුළු වී තිබේ.

ගම් වැසියන් පවසන්නේ ඒ මොහොතේ හමුදා සාමාජිකයන් 20 ක පමණ කණ්ඩායමක් ඔවුන් වට කොට පහර දී ඇති අතර කඳවුර තුලට ඇතුළු වී සිටි පස් දෙනාගෙන් තිදෙනකු මුත්තියන්කට්ටුව වැවට පැන පීනා ගොස් බේරි පලා ගොස් ඇති බවයි.
කඳවුර තුලට ඇතුළු වී සිටි පිරිමි පස්දෙනා වටකොට හමුදා සාමාජිකයන් පහර දෙන මොහොතේ ඔවුන්ගේ කෑ මොරදීම් ඇසී ගම්වාසීන්ද එම ස්ථානයට පැමිණ ඇත. පහර කා සිටි අයකු බේරාගෙන මුලතිව් රෝහලට ඇතුල් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
ඒ මොහොතේ පැවැති කළුවර හේතුවෙන් අනෙක් පුද්ගලයාට සිදු වු දේ සොයා ගැනීමට ගම් වාසීන්ට නොහැකි වී ඇති අතර ඔවුන් චෝදනා කර තිබුනේ එම පුද්ගලයා හමුදා සාමාජිකයන් විසින් කඳවුරු භුමිය තුළම සිරකොට ගන්නට ඇති බවටයි.
පසු දින වු නිකිණි පෝදා ගම් වාසීන් එකතු වී අතුරුදහන් වී සිටි එදිර්මානසිංහම් කපිල්රාජ් සෙවීමට උත්සාහ කරන අතරවාරයේ මුත්තියන්කට්ටු වැවේ මළ සිරුරක් පාවෙමින් පවතින බව අගෝස්තු 9 වැනිදා දැන ගන්නට ලැබී ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට ගම්වාසීන් කටයුතු කර ඇති අතර අගෝස්තු 9 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ වැවෙන් ගොඩ ගෙන ඇත්තේ අවුරුදු තිස් දෙකක් වු එදිර්මානසිංහම් කපිල්රාජ්ගේ දේහයයි.

මල සිරුර ගොඩ ගැනීමෙන් පසු විමර්ශන කටයුතු සදහා මාන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් 13 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කඳවුර ඇතුලට ගොස් ආපසු එන මොහොතේ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් එම ස්ථානයට රැස්වු ප්‍රදේශවාසීන් පොලීසියට විරෝධතා දක්වා තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පොලිස් කණ්ඩායමක් සමග එම ස්ථානයට පැමිනි කිලිනොච්චියේ සහකාර පොලිස් අධිකාරිවරයා ඒ වන විටත් එක් හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තමන් පැමිණියේ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බවත් පැවසීමෙන් පසු ගම්වැසියන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි.
යුද හමුදා සාමාජිකයන්ගෙන් පහර කා මේ වන විට රෝහල් ගතව සිටින පුද්ගලයාගේ කට උත්තරය ප්‍රයෝජනයට ගනිමින් එම හමුදා සාමාජිකයා ඒ වන විටත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
කදවුරේ අබලි ද්‍රව්‍ය පිටතට අලෙවි කිරීම සදහා රැගෙන යාමට කඳවුරට පැමිණෙන ලෙස තරුණයන්ට ඇමතුම් ලබා දුන් හමුදා සාමාජිකයන්ගේ දුරකතන අංක ගම්වාසීන් විසින් පොලීසියට ලබා දීමෙන් අනතුරුව තවත් හමුදා සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අතුරින් දෙදෙනකු සහ ඒ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයාගේ ප්‍රකාශය අනුව අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයා අධිකරණ නියෝග අනුව රක්ෂිත බන්ධනාගාරගත තිබේ.
ඔඩ්ඩුසුඩාන් පොලීසිය විසින් වැඩි දුර පරීක්ෂණ සිදු කරමින් පවතින බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කළ සම්පුර්ණ නිවේදනය පහතින්,




