යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරියා ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කිරීම සදහා සිරුරු කොටස් කොළඹට යැවීමට කටයුතු කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ හත් මස් ළදරුවකුගේ පියා වන එදිර්මානසිංහම් කපිල්රාජ්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අගෝස්තු 11 වැනි සදුදා ඔහු ජීවත් වු ජීවනගර්, වම් ඉවුර, මුත්තෛයන්කට්ටු, මුලතිව්හිදී ප්‍රදේශවාසීන්ගේ විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදු කළ බවයි.
අගෝස්තු 9 වැනිදා මුත්තෛයන්කට්ටු වැවෙන් ගොඩ ගන්නා ලද 32 හැවිරිදි කපිල්රාජ්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් අගෝස්තු 10 වැනිදා සිදු කර ඇත්තේ යාපනයේ වෛද්‍ය ශිෂ්‍යයන් 15 දෙනකු ඉදිරිපිටදීය.
වැවෙන් ගොඩ ගන්නා ලද සිරුර නරක් වී තිබීම නිසා මරණයට හේතුව නිශ්චිතව පැහැදිලි කර නොමැති අධිකරණ වෛද්‍යවරය තීරණය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් කොළඹට යොමු කිරීමටයි.
එදිර්මානසිංහම් කපිල්රාජ්ගේ සිරුර ඔහුගේ ඥාතීන්ට බාර දෙන අවස්ථාවේ ඔහුගේ මරණය සම්බන්ධයෙන් යම් තොරතුරු ප්‍රමාණයක් ඔහුගේ ඥාතීන්ට හෙලි කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා කටයුතු කර ඇති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
ශ්‍රී ලංකා පොලීසිය 2025 අගෝස්තු 10 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ව ඇත්තේ එදිර්මානසිංහම් කපිල්රාජ්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදු කර ඇති අතර මෘතදේහය සම්බන්ධ විවෘත තීන්දුවක් ලබාදී ඇති බවයි.
මුලතිව්, මුත්තියන්කට්ටු වැවේ පාවෙමින් තිබියදී සිරුර ගොඩගන්නා ලද කපිල්රාජ් මරුමුවට පත්වූයේ 13 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ හමුදා සෙබළුන්ගේ වධහිංසනයෙන් බවට පලාත්වාසීහු චෝදනා කරති.
කඳවුරට ඇතුල්වූ ඔහු ඇතුලු පස් දෙනකු 'පලවා හැරීමට' හමුදා සෙබළුන් කටයුතු කළ බව පොලිසිය පවසයි. ඒ කෙසේද යන්න පොලිසිය පැහැදිලි කර නැත. ඇතුල්වීම අනවසරයෙන් සිදුවූ බව පොලිසිය පවසයි. එහෙත්, දිවි ගලවා ගත්තවුන් සහ ගම්වාසීන් පවසන්නේ කඳවුරේ අබලි යකඩ ඉවත් කිරීමට හමුදා නිලධාරියකු කළ කැඳවීමට පස් දෙනා ගිය බවයි.







