විශාල බලපෑමක් එල්ල වීමට නියමිත බවත්, එම බලපෑම සුළුපටු එකක් නොවන බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික Youth For Chenge ජාතික සංවිධායක ළහිරු වීරසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මන්නාරම සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය සහ නීතිවිරෝධී ඛනිජ ජාවාරම හේතුවෙන් සිදු වන දැවැන්ත පාරිසරික විනාශය සහ ජන ජීවිතයට සිදුවන විශාල බලපෑම පිළිබඳව මෙන් ම උතුරේ මිලිටරීමැදිහත්වීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද (11) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර...
කුමාර ජයකොඩිට නොපෙනෙන කුරුල්ලෝ
"මන්නාරම ප්‍රදේශයේ ජනතාව දින හතක් තිස්සේ ඉන්නේ අඛණ්ඩ අරගලයක. තමන් ජීවත් වුණු භූමියෙන් තමන්ව පිටමං කරන්න එපා කියන එක තමයි ඔවුන්ගේ එකම ඉල්ලීම. මෙහෙම සාකාච්ඡාවක් රටේ මතුවන වෙලාවක අපි දැක්කා ඊයෙ දවසේ ප්‍රවෘත්තියක් වාර්තාවෙනවා බලපත්‍ර රහිතව අරුවක්කාලු ප්‍රදේශයේ ඉල්මනයිට් කැණීමක් සම්බ්න්ධයෙන්. මේ කැණීම් කරපු ස්ථානය ගිහින් වටලන්නේ වලානේ දූෂණ මර්දන ඒකකයෙන්. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි පුත්තලම පැත්තේ පොලීසිය, මධ්‍යම පරිසර අධිකාරිය මේ කිසිඳු ආයතනයක් දැනුවත් නැතුවද මෙතරම් කාලයක් බර වාහන යොදාගෙන මේසා විශාල ජාවාරමක් සිදුවුණේ?
ඒ ප්‍රශ්නය එක්කම අපි දැන් ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කැමතියි මෙවැනි ම ප්‍රශ්නයක් ගැන. අරුවක්කාලු ඉල්මනයිට් කැනීමට වඩා වැඩි පරිසර විනාශයක් සහිත ජාවාරම්කරමක් මේ වෙද්දිත් මන්නාරම ප්‍රදේශයේ සිදු වෙමින් යනවා. දැන් මේ වෙද්දිත් කිසිඳු පාරිසරික ඇගයීමකින් තොරව ජනතාව පවා බලහත්කාරයෙන් ප්‍රදේශයෙන් පිටමං කරමින් මේ සූදානම් වෙන්නේ මහාපරිමාණ ජාවාරම්කරමක් කරන්න. අපි ආණ්ඩුවට කියනවා අරුවක්කාලු වැටලීම වගේම වැටලීමක් කරන්න දැන් අවස්ථාව තියනවා මන්නාරම ප්‍රදේශයේ. මේ නීතිවිරෝධී කැණීම් කරන සමාගම් මොනවද ඔවුන්ට ආරක්ෂව සහ උදව් ලබාදෙන ඉහළ නිළධාරීන් කවුද කියන එක හොයන්න දැන් ආණ්ඩුවට අවස්ථාව තියනවා.
පරිසර ඇමති කුමාර ජයකොඩිට දැන් මන්නාරම ප්‍රදේශයේ ඇවිදිනකොට කුරුල්ලෝ පේන්නෙත් නෑ. උඩ බලාගෙන නොගිය නිසා කුරුල්ලෙක් දැක්කෙ නැත්තං අඩුම තරමින් බිම බලාගෙන යද්දි මේ ප්‍රදේශයේ ජීවත්වෙන අහිංසක ජනතාව පෙනුනේ නැද්ද ?
ආණ්ඩුව විශ්වාස කරන ව්‍යාජ තත්ත්ව වාර්තා
මන්නාරම ප්‍රදේශයේ ඉඳි කරන්න යන සුළං විදුලි බලාගාරය සහ ඛනිජ කැණීම් නිසා ඒ ප්‍රදේශයේ ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙන්න නියමිතයි. ඒ බලපෑම සුළුපටු එකක් නෙවෙයි. ඔවුන්ගේ මෙච්චර කාලයක් කරගෙන ආව රැකියාව තමයි ධීවර කර්මාන්තය. නමුත් ඉදිරියේදී මේ ප්‍රදේශයේ ජනතාවට තවදුරටත් තමන්ගේ රැකියාව කරගන්න බැරි තත්වයක් උදා වෙනවා.
ඒ වගේම තමයි දැනටත් මේ ප්‍රදේශයෙන් ජනතාව පිටමං කරමින් පවතින්නේ. කුමාර ජයකොඩි ඇමතිවරයාට මේ ජනතාවගේ ප්‍රශ්නය අදාළ නැද්ද? පරිසර නියෝජ්‍ය ඇමති කියන විදිහට මන්නාරම ප්‍රදේශයේ එක කුරුල්ලෙක්වත් නෑ. නමුත් අපි දන්න විදිහට අවුරුද්දකට විවිධ රටවලින් පක්ෂීන් මිලියන ගාණක් එන පක්ෂි පර්‍යටන කොරිඩෝවක් තමයි මන්නාරම ප්‍රදේශයේ තියෙන්නේ නමුත් මේ කිසිඳු කාරණයක් නොසලකා දැන් ආණ්ඩුව උත්සහ කරමින් ඉන්නේ මන්නාරම ප්‍රදේශය ජාවාරම්කරුවන්ට විවෘත කරන්න.
ආණ්ඩුව තවමත් කටයුතු කරන්නේ සමාගම් විශ්වාස කරමින්. සමාගම්වලින් නිකුත් කරන පරිසර වාර්තා බලලා තමයි ආණ්ඩුව දැන් කියන්නේ මන්නාරමේ එක කුරුල්ලෙක්වත් නෑ කියලා. ඔය විදිහටම තමයි පෝට්සිටි එක හදද්දිත් සමාගම් පරිසර තත්ව වාර්තා නිකුත් කළෙත්. ඒ එක තත්ත්ව වාර්තාවක තිබුණේ මීගමුව වෙරළ තීරය ආශ්‍රිතව මත්ස්‍යයින් බෝ වෙන්නේ නෑ කියලා. දැන් ආණ්ඩුව විස්වාස කරන්නේ එහෙම පරිසර තත්ව වාර්තා නම් අපි කියනවා මේ විදිහට ආණ්ඩුවට ඉදිරියක් නෑ.
ගෙදර යන්න කැමති නම් උද්ධච්ච වැඩ කරන්න
මේ ප්‍රදේශයේ ජනතාව දැන් දින හතක් අඛණ්ඩ අරගලයක ඉන්නේ. ආණ්ඩුව කියන විදිහට කිසිඳු ප්‍රශ්නයක නැත්තම් ඇයි මේ ජනතාව පාරට ඇවිත් ඉන්නේ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුව දැන්වත් මේ මන්නාරම ප්‍රදේශයට යන්න ගිහිල්ලා ඒ ජනතාව එක්ක මේ ප්‍රශ්නය කතාකරන්න. දැන් මුත්තු නගර් ප්‍රදේශයේත් මෙවැනිම ප්‍රශ්නයක් උද්ගත වෙමින් යනවා. මුත්තු නගර්වල ජනතාව පරම්පරා ගාණක් වගා කළ ඉඩම් අයිති වරාය අධිකාරියට කියලා දැන් ඒ ජනතාව බලහත් කාරයෙන් එළවලා ඒ ඉඩම් සමාගම්වලට විකුණන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ.
අපි කියනවා ඒ ජනතාව මෙච්චර කල් පදිංචි වෙලා හිටිය ඉඩම් වරාය අධිකාරියට අයිති ඉඩම් නම්, ඒවා නැවත ගන්න ඕන නම්, ඒක කරන්න ඕන මේ විදිහට නෙවෙයි. මේකට අදාළව විකල්පයක්, ජනතාවටත් එකඟ විය හැකි විකල්පයක් ඒ ජනතාව එක්ක සාකාච්ඡා කරන්න ඕන. එහෙම සාකාච්ඡා නොකර අපිට තුනෙන් දෙකක බලයක් තියනවා අපිට ඕන දේ අපි කරන්නේ වගේ උද්ධච්ච ප්‍රකාශ කරමින් නම් ආණ්ඩුව ඉදිරියට යන්නේ අපි අනතුරු හඟවනවා ආණ්ඩුවට. මීට කලින් ආණ්ඩුත් ඔය විදිහට උද්ධච්ච වැඩ කරන්න ගිහිල්ලා තමයි ගෙදර යන්න වුණේ. ඒ තත්වයට වැටෙන්න එපා කියන ඉල්ලීම අපි මේ වෙලාවෙ ආණ්ඩුවෙන් කරනවා.''
(සටහන - ජයසිරි අලවත්ත)




