ජනාධිපති අනුර කුමාර දිසානායක මහා පරිමාන ඉදිකිරීම් කිහිපයකට මුල පිරීම සඳහා උතුරට ගොස් සිටියේද එදිනම ය.
මන්නාරම් දුපතේ අලුතින් වැඩ කටයුතු අරඹා ඇති සුළං බලගාර දෙකකට විරෝධය පාමින් 2025 අගෝස්තු 2 වැනිදා මන්නාරම් නගරයේ ආරම්භ කළ විරෝධතාවයට එක්ව සිටින සිවිල් ක්‍රියාකාරිකයකු වන එස්.ආර්. කුමරේස් සැප්තැම්බර් 01 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට ස්ථිර විසදුමක් ලැබෙන තෙක් අරගලය අත් හැරීමට සුදානම් නොමැති බවයි.
“මේ සුළං බලාගාර නිසා අද මන්නාරම දූපත විනාශය කරා ගමන් කරනවා. මේ දූපතේ ජීවත් වන 75,000 ක් පමණ වන ජනතාවට අවතැන් වීමට සිදුවන තත්වයක් උදා වෙන්න යනවා. ඒ නිසා, එවැනි විනාශයන් නතර කළ යුතුයි. සුළං බලාගාරයට එරෙහි මේ අරගලය දිගටම පවතිනවා.”

මන්නාරම් දුපතේ තවදුරටත් සුළං බලගාර ඉදිකළහොත් මේ වන විටත් මහත් පීඩාවන්ට ලක්ව සිටින දුපත්වාසීන්ට උතුරට සංක්‍රමණය වීමට සිදු වන බව පෙන්වා දෙන සීවිල් සමාජ ක්‍රියාධරයා අවධාරණය කරන්නේ යුද නිමාවෙන් වසර ගණනාවකට පසුවත් ඉඩම් ගැටළු රාශියකට මුහුණ පා සිටින උතුරේ ජනයාට එය අමතර පීඩනයක් ගෙන දෙන ගැටුම්කාරී ප්‍රශ්නයක් වනු ඇති බවයි.
යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට සැප්තැම්බර් 1 වැනි සදුදා පෙරවරුවේ එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබුනේ රට වටා ඇති මහ මුහුද, දූපත් මෙන්ම ගොඩබිමද ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට රජය කැප වී සිටින බවයි.
එයට කිසිදු ආකාරයේ බලපැමක් එල්ල වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.
ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට මන්නාරම් දුපතේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කර තිබුනේ මන්නාරම යනු පාරාදීසයක් නොවන බවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිදු කළ ප්‍රකාශයකට සමාජයෙන් දැඩි විරෝධයක් ද එල්ල වෙමින් තිබියදීය.
මන්නාරම දූපත ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරයක් සදහා ටර්බයින රැගෙන යන වාහන තවතා අගෝස්තු 11 වැනිදා විරෝධතා දියත් කළ දුපත්වාසීන් දැඩිව අවධාරණය කර තිබුනේ මන්නාරම දුපතේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම වහාම නවත්වන ලෙසයි.
එල්ල වු දැඩි ජනතා විරෝධතා හමුවේ සුළං ටර්බයින් රැගෙන ගිය වාහන මන්නාරම ප්‍රධාන පාලම අසළ දී නවතා දැමීමට එහි රියැදුරන්ට සිදුවූ අතර, පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එහි තිබු භාණ්ඩවල ආරක්ෂාව සදහා පොලිසිය ද යෙදවු බවයි.
ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුව, මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 13 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී ආණ්ඩුව අවධානය යොමු කර ඇත්තේ රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳවයි.
සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම යැයි පැවසු බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.
එම නිසා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන ප්‍රදේශයේ ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කර තිබේ.

සුලං මෝල් ව්‍යාපෘති අකුලාගන්නා තුරු සටන් වදින බවට මාසයක් තිස්සේ අරගලයේ නිරත පුරවැසි සංවිධාන සපත කර සිටී.




