සිසුන්ට ප්‍රායෝගිකව ඇතිවන අපහසුතා සහ ශික්ෂණ රෝහලක් තුළ සිසුන්ගේ අධ්‍යාපනය සිදුකිරිමේ දී සලසා තිබිය යුතු පහසුකම් පිළිබඳව සිසුන්ගෙන් අදහස් විමසීමක් සිසුන්ගෙන් සිදුකර නැතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
මොරටුව මහාචාර්ය ඒකකය කළුතර රෝහලේ පිහිටුවීමට තීරණය ගත්තේ 2024 නොවැම්බර් 29වන දා ය. එදා ඒ තීරණය ගත් මොහොතේ සිට මේ දක්වා ප්‍රායෝගිකව සිසුන්ට ඇතිවන අපහසුතා සහ ශික්ෂණ රෝහලක් තුළ සිසුන්ගේ අධ්‍යාපනය සිදුකිරිමේ දී සලසා තිබිය යුතු පහසුකම් ගැන සිසුන්ගෙන් අදහස් විමසීමක් සිදුකර නැත.
කෙසේ නමුත් එම තීරණය ගෙන මාස නවයක් වන මේ මොහොතේ දී ද අදාළ ඒකක පහක් පූර්ණ වශයෙන් පිහිටුවීමට අදාළ නිලධාරීන්, බලධාරීන් අපොහොසත් වී ඇත. මෙහි දී සැලැස්ම වී ඇත්තේ දැනට නාගොඩ රෝහලේ පවතින ප්‍රසව හා නාරිවේද ඒකක තුන අලුතෙන් පිහිටවන ලද නමුත් වසර දෙකක් තිස්සේ එක් වාට්ටුවක් පමණක් විවෘතව පවතින ගල්ලස්ස මාතෘ හා ළමා රෝහලට රැගෙන යෑමෙන් පසු හිස්වන ඒකක තුළ මහාචාර්ය ඒකකයට ඉඩ ලබාදීම ය.
මානව සහ භෞතික සම්පත්වල හිඟයක්
ආරම්භයේ දී මේ සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට දින වකවානු යෙදී තිබුණේ 2025 පෙබරවාරි මසට වන අතර එය අප්‍රේල් දක්වාත්, ඉන්පසු මැයි දක්වාත් අවසානයේ ජූලි මස 17 දින දක්වාත් කල් ඇදිණි. මේ අතරවාරයේ වෛද්‍ය සභාව විසින් Accreditation ක්‍රියාවලිය සඳහා නිල වශයෙන් මහාචාර්ය ඒකකයට අවශ්‍ය වාට්ටු ලබාදෙන දින වකවානු පිළිබඳ ව විමසා තිබූ අතර එහි දී ද රෝහල් පාර්ශවයෙන් ජූලි මස 1 වන දින විට වාට්ටු ලබා දිය හැකි බව ප්‍රකාශ කර තිබිණ.
කෙසේ නමුත් පසුව අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ජූලි මස 17 වන විට වාට්ටු ලබාදීමට එකඟ වී තිබුණ ද එය නැවත අගෝස්තු මස 15 වන දිනට කල් යන ලදී. මෙහි විහිළු සහගත ම කරුණ වන්නේ එම අගෝස්තු 15 වන දින විටත් අදාළ වාට්ටු ලබාදීම සඳහා, ප්‍රසව හා නාරිවේද වාට්ටු ගල්ලස්ස රෝහලට මාරු කිරීමේ දී එම ඒකකවලට අවශ්‍ය විය යුතු මානව සහ භෞතික සම්පත්වල හිඟයක් ඇති බව බලධාරීන් නොදැන සිටීම ය. මේ හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ ශිෂ්‍යයින් යන දෙපාර්ශ්වය ම දැඩි අපහසුතාවයකට පත්වී ඇත.
තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය වීම
2025 අගෝස්තු මස 18 දින මෙම ගැටලුවලට අවසන් විසඳුමක් ලබාදීම පිණිස අමාත්‍යවරයා විසින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළුව අදාළ සියලු පාර්ශව කැඳවා සාකච්ඡාවක් පවත්වන බව දැනුම් දී තිබූ අතර ඒ සඳහා ශිෂ්‍ය සංගමයට ද ආරාධනා ලැබිණ.
කෙසේ නමුත් අමාත්‍යාංශයට ගිය මොහොතේ අප නියෝජිතයින්ට එම සාකච්ඡාවට සම්බන්ධ වීමට ඉඩ ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළේ ය.
නමුත් මෙවැනි තීරණාත්මක සාකච්ඡාවක දී ගැටලුවේ ප්‍රධාන වින්දිතයින් වන ශිෂ්‍යයින්ට විනිවිද භාවයකින් යුතුව තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය වීම දැඩි ලෙස කණගාටු වන බව ප්‍රකාශ කළ යුතු ය.
එහි වඩාත්ම ශෝචනීය තත්ත්වය වන්නේ පසු දින විභාග තත්ත්වයක් තිබිය දී පවා නිල ඇරයුමක් මත එදින අමාත්‍යංශයට ගිය ශිෂ්‍ය නියෝජිතයින්ට සම්බන්ධ වීමට ගිය සාකච්ඡාව පසෙකලා හිස් අතින් ආපසු ඒමට සිදුවීම ය. මෙවන් සාකච්ඡාවක ශිෂ්‍ය නියෝජනයක් අනිවාර්ය වන්නේ පෙර සාකච්ඡා කර එකඟ වූ සෑම කාල රාමුවක්ම විවිධාකාර හේතු දක්වමින් කල් ගිය බැවින් බව නැවත නැවතත් අවධාරණය කළ යුතුය.
අමාත්‍යවරයා සාකච්ඡා මග හරියි
කෙසේ නමුත් අදාළ සාකච්ඡාව අවසානයේ අමාත්‍යවරයා සමග ශිෂ්‍යයින් ට සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බව පැවසූ බැවින් අපගේ ශිෂ්‍ය නියෝජිතයන් එහි රැඳී සිටිය ද පැය තුනකට වැඩි කාලයකට පසුව, අමාත්‍යවරයාගේ කාර්යබහුලත්වය හේතුවෙන් ප්‍රායෝගිකව සාකච්ඡාවක් ලබාදීම අපහසු බව දැන්වී ය.
විවිධාකාරයෙන් ඉල්ලීම් කළ ද අමාත්‍යවරයා හමු වීමට අවස්ථාවක් නොලැබුණු බැවින් අප ශිෂ්‍ය නියෝජිතයන් අමාත්‍යංශයෙන් පිටව ගියේ ය. සාකච්ඡාව පිළිබඳ ව පීඨයෙන් විමසූ විට අපට දැනගන්නට ලැබුණේ අගෝස්තු මස 21 එනම් බ්‍රහස්පතින්දා දින වනවිට අදාළ වාට්ටු ලබා දෙන බවයි.
මෙහිදී පැහැදිලි කළ යුතු විශේෂ කරුණක් පවතී. එනම් ගල්ලස්ස මාතෘ හා ළමා රෝහල විවෘත කර වසර දෙකක් පමණ ගත වන විටත් එහි ප්‍රසව හා නාරිවේද ඒකක ක්‍රියාත්මක කිරීමට අදාළ පහසුකම් ලබා දීමට නොහැකි වීම අදාළ අමාත්‍යංශ වල වගකිවයුතු බලධාරීන්ගේ ගැටලුවක් මිස රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හෝ ශිෂ්‍යයින් විසින් විසඳිය යුතු ගැටලුවක් නොවන බවයි. එසේම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය පිහිටුවීමට අදාල තීරණය ගෙන මාස නවයක් වන විටත් එය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු පූර්ව වශයෙන් හඳුනාගෙන තිබුණේ නම් මෙම ක්‍රියාවලිය මෙතුවක් කල් ඇදෙන්නේ නැති බවය.
බලධාරීන්ගේ කඹ අදිල්ලෙන් ශිෂ්‍ය ප්‍රජාව අනතුරේ
අවසාන වශයෙන් අගෝස්තු 21 යනු හුදෙක් තවත් බොරු පොරොන්දුවක් නොවී සත්‍ය වශයෙන්ම මහාචාර්ය ඒකක පිහිටුවීම සිදු විය යුතු බව ශිෂ්‍යයින් වශයෙන් අවධාරණය කර සිටින්නෙමු.
මාස ගණනාවක් පුරා විවිධ රජයන්ගේ සහ විවිධ බලධාරීන්ගේ කඹ ඇදීම්වලින් දිනෙන් දින මහාචාර්ය ඒකක පිහිටුවීම කල් යනවිටත් , අනාගත වෛද්‍ය වෘත්තිකයන් ලෙස ඉතා ඉවසීමකින් නමුත් අවධානයකින් යුතුව මොරටුව වෛද්‍ය ශිෂ්‍යයන් ක්‍රියාකර ඇති බවත් එය මෙම ක්‍රියාවලිය නිදහසේ කරගෙන යාමට දුන් සහයෝගයක් විනා ශිෂ්‍යයන් ගේ දුර්වලතාවක් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු.
(වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමය - මොරටුව විශ්වවිද්‍යාලය)




