ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
''ලංකා ඉතිහාසයේ වාර්තා ගත දැවැන්තම ආපදාවට අපි පසුගිය සතියේ මුහුණ දුන්නා. සමස්ත ලංකාවට ම එකවර බලපාන මෙවැනි ආපදාවක් පිළිබඳ අපි මීට පෙර අහලා තිබුණේ නෑ. මේ ආපදාවෙන් ජීවිත අහිමි වුණු, දේපළ අහිමි වුණු, පීඩාවට පත් සියලු ම ජනතාවට අපේ සංවේගය පළමුව පළ කරනවා. අපේ උතුම් ශ්‍රී ලාංකික ගුණය ඉස්මතු කරලා විපතට පත් වුණු අයට සහන සලසවන්න පෙරට පැමිණි පරහිතකාමි ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා.
විපක්ෂයේ යුතුකම
ස්වභාවික ආපදා ඇති වෙන එක නවත්වන්න ආණ්ඩුවට බැරි වුණත් මිනිස්සුන්ට සිදුවන හානිය අවම කරන්න කටයුතු කරන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනි. මෙහෙම කිව්වේ මම නොවේ. වත්මන් සභානායක බිමල් රත්නායක මැතිතුමා 2016 දී විපක්ෂයේ ඉන්න කාලයේ. ඒ නිසාම වත්මන් ආණ්ඩුව මේ ආපදාව නිසි ලෙස කලමනාකරණය කළා ද නැතිනම් ආණ්ඩුවේ හැසිරීම නිසා මෙම ආපදාවෙන් සිදු වුණු විපත තීව්‍ර වුණා ද කියන එක සොයා බලා රට දැනුම්වත් කිරීම විපක්ෂයේ අපේ යුතුකමක්. මේ යුතුකම ඉටු කරන්න අපි කල් මැරුවා. ඒ නිසා පසුගිය දින දහයකට වැඩි කාලයක් අපි ජනතාවට සහන සලසමින් ආණ්ඩුවට උපරිම සහයෝගය ලබා දුන්නා. දැන් අවදානම සහ දුෂ්කරතා බොහෝ දුරට පහ වී ගිහින් තිබෙන නිසා ආණ්ඩුව දිහා විවේචනාත්මකව බලන්න කාලය හරියි කියලා අපි විශ්වාස කරනවා.
ආණ්ඩුව නොසලකා හැරිය කරුණු 14ක්
මේ ආණ්ඩුවත්, ඩෝබි බලකායේ සිටින වොෂිංටන්ලාත් මෙතරම් බරපතළ ආපදාවක් සිදු වුණේ කාලගුණ වාර්තා නොසලකා සිටින්න ආණ්ඩුව කටයුතු කළ නිසා බව කියන තිත්ත ඇත්ත සෝදා දාන්න බරපතළ උත්සාහයක් දැරුවා. නමුත් නොවැම්බර් 12 සිට ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කුණාටුවක් පැමිණීමේ හැකියාව ප්‍රකාශයට පත් කළ බවත් නොවැම්බර් 25 බීබීසි වෙදර් නාලිකාව සුළි කුනාටුවක් පැමිණෙන බව මෙන්ම එහි වර්ෂාපතනය මිලි මීටර් 500 ඉක්මවා යා හැකි බව ද ප්‍රකාශයට පත් කළ බව ඇසින් දැකලා කනින් අහලා මේ රටේ ජනතාව දැනගෙන ඉවරයි. මාලිමා ආණ්ඩුව විසින් සුළි සුලඟක් එන බව දැනගෙන, කළ යුතු, නමුත් නොකළ හැරිය කාරණා 14ක් හේතුවෙන් මේ ආපදාව තීව්‍ර වුණා කියන එක තිත්ත ඇත්තක්. ඒ කාරණා 14 මොනවාදැයි අපි දැන් බලමු.
1. වැසි ජලය රැස් කර ගැනීමට හැකි වන පරිදි ජලාශ හිස් කළේ නෑ.
2. මෝය කට පළල් කිරීම් කළේ නෑ.
3. හමුදාව යොදවා අතුරු ඇළ මාර්ග මතු කළේ නෑ
4. පළාත්පාලන ආයතන හරහා ජලය බැස යන කානු පද්ධතිය පිරිසිදු කළේ නෑ.
5. නාය යන දිස්ත්‍රික්ක හතේ අධි අවදානම් ප්‍රදේශ NBRO කලින් ම හඳුනා ගෙන තිබුණා. නමුත් ඒ ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කළේ නෑ.
6. ජල ගැලීම් සහ නාය යෑම් අවදානමට ලක් වුණු ප්‍රදේශවල ඇඳිරි නිතිය පනවා හමුදාව යෙදෙව්වේ නෑ. එහෙම නැතිව තමන් උපන් දා සිට උපයා ගත් දේවල් දාලා ජනතාව යන්නේ නෑ.
7. ත්‍රිවිධ හමුදාව සම්බන්ධිකරණය කරන ආරක්ෂක මණ්ඩල ප්‍රධානි (Chief of Defence Staff) පත් කළේ නෑ.
8. රාජ්‍ය යාන්ත්‍රණයට නායකත්වය දෙන්න පරිපාලන අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබුණේ නෑ. ජ්‍යේෂ්ඨත්වයෙන් පළමු දස දහසටවත් අයිති නොවන පරිපාලනය ගැන මෙලෝ හසරක අත්දැකීමක් නැති කෙනෙක් තමයි කැලණි සගයෙකු නිසා ජනාධිපති ලේකම් කළේ.
9. හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ නොවැ 28 දින ජාතික ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියා විපක්ෂ නායක ඉල්ලුවාට පස්සේ.
10. පාර්ලිමේන්තු සැසිය නැවැත්තුවේ නෑ. ඒක කළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉල්ලුවාට පස්සේ
11. ජාතික ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කළේ නෑ.
12. ආපදාවකට මුහුණ දෙන ආණ්ඩු - විපක්ෂ ඒකාබද්ධ යාන්ත්‍රණය වන ජාතික ආපදා සභාව කැඳවූයේ නෑ.
13. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ වැනි ආපදා කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති හිටපු ජනපතිවරුන් ගේ සහය ලබා ගත්තේ නෑ.
14. රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය කරනු වෙනුවට රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළා.
මේ නොසලකා හැරීම් නිසා ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දණ්ඩ නීති සංග්‍රහයේ 298, 327, 328 සහ 329 වගන්ති යටතේ සාපරාධි නොසැලකිල්ල කියන වරද සිදු කර තිබෙනවා. එය වසර පහක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක්.
අධිකරණමය පූර්වාදර්ශ
නොසැලකිලිමත්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා වැරදිකරු කිරීමේ පූර්වාදර්ශ දෙකක් මෑත ඉතිහාසයේ තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ හානිය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ හිටපු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වැරදිකරු වීමත්, ආර්ථික අර්බූදය මග හරවා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැරදිකරු වීමත් තමයි ඒ අවස්ථා දෙක. ඒ නිසා ඒ අධිකරණමය පූර්වාදර්ශ අනුව යමින් වත්මන් ජනාධිපතිතුමාව වසර පහක සිර දඬුවමකට යටත් කළ හැකියි.
පාසල් වසා බන්ධනාගාර විවෘත කරයි ද...?
හදිසි නීතිය අතට අරන් ජනාධිපතිතුමාට බණින අයව වහාම අත්අඩංගුවට ගන්න කියා මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පොලිසියට උපදෙස් දෙනවා අපි දැක්කා. මේ දවස්වල ජනාධිපතිතුමාට බණින අයව අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. එහෙම කලොත් ඒ අයව රඳවා ගන්න පාසල් වහලා සෑම පාසලක් ම බන්ධනාගාරයක් බවට පත් කරන්න වෙනවා. මොකද දැන් ලංකාවේ ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් ජනාධිපතිට බනිනවා. බනින්නේ නැත්තේ තවමත් පචවලට රැවටිලා ඉන්න ලෝකය ගැන දැනුමක් නැති සුළු පිරිසක් විතරයි. ඉතින් එච්චර දැවැන්ත පිරිසක් අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලෝක අමාරුවක වැටෙනවා.
පොලිසියට නියෝග දෙන්න වටගලට පුළුවන් ද...?
වටවල ඇමතිතුමාගේ නියෝගය කිහිප ආකාරයකින් නීති විරෝධියි. මුලින්ම මහජන ආරක්ෂක ඇමතිතුමා තමන් ගේ බලතල ගැසට් පත්‍රයක ප්‍රසිද්ධ කරන ප්‍රකාශනයක් මගින් නියෝජ්‍ය ඇමතිට පවරලා නෑ. කෙටියෙන් ම කිව්වොත් වටගල ඇමතිවරයා කිසිම බලයක් නැති නිකන්ම නිකන් නමට නියෝජ්‍ය ඇමති කෙනෙක් විතරයි. ඒ නිසා එතුමාට පොලිසියට නියෝග දෙන්න කිසිම බලයක් නෑ.
ඇත්තක් කීම අපහාසයක් ද...?
දෙවනුව, ආපදා තත්ත්වය වළක්වා ගන්න කටයුතු නොකිරීම පිළිබඳ ජනතාව ජනාධිපතිට බණින්නේ සත්‍ය කරුණු මත පදනම් වෙලා. පුද්ගලයකුට අපහාසයක් වෙන්නේ යම් පුද්ගලයකු පිළිබඳ බොරු කිව්වොත් විතරයි. ඇත්තක් කීම අපහාසයක් නොවේ. උදාහරණයක් විධියට තට්ට හිසක් ඇති කෙනෙකුට තට්ටයා කීම අපහාසයක් නොවේ. හිස පුරා කොණ්ඩය තිබෙන කෙනෙකුට තට්ටයා කිව්වොත් තමයි අපහාසය වෙන්නේ. මෙතරම් බරපතල ආපදාවක් වුණේ ජනාධිපතිතුමාගේ නොසැලකිල්ලෙන් කියලා කරුණු 14ක් ඉදිරිපත් කරලා මම දැන් ප්‍රකාශයක් කලානෙ. පුළුවන් නම් මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියා මම වටගල ඇමතිතුමාට අභියෝග කරනවා.
අනුර කුමරු රජ වුණා ද...?
තුන්වනුව, අපහාසයක් සිදු කළත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න බෑ. මොකද 2002 පසු ලංකාවේ සාපරාධි අපහාස නීතිය අහෝසි කරලා තිබෙන්නේ. එහෙම නම් නැති නීතියකින් අත්අඩංගුවට ගන්නේ කොහොමද? දැන් පුළුවන් වෙන්නේ අපහාස කිරීමකට සිවිල් නඩුවක් පවරලා වන්දි ලබා ගැනීම පමණයි. රජතුමාට අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා වික්ටෝරිය රැජිනගේ කාලයේ දණ්ඩ නීති සංග්‍රහයට වගන්තියක් එක් කරලා තිබෙනවා. ඒ වගන්තිය යටතේ දඬුවම් කරන්න අනුර කුමරු රජ වුණේ නෑ නෙ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය අත්හිටුවන්න ජනාධිපතිට පුළුවන් ද...?
සිව්වෙනුව, හදිසි නීතිය යටතේ ඕනෑම පනතක්, රෙගුලාසියක්, චක්‍රලේඛයක් අත්හිටුවන්න ජනාධිපතිවරයාට බලය පැවරුණාට රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවන්න ජනාධිපතිට බෑ. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස තහවුරු කරලා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන්. හදිසි නීතිය යටතේ ඒ වගන්තිය අත්හිටුවන්න ජනාධිපතිට බලයක් නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ නොසැලකිල්ල, අකර්මන්‍ය බව, නොහැකියාව විවේචනය කරන්න ඔබට තිබෙන අයිතිය හදිසි නීතිය යටතේ ඔබෙන් උදුරා ගන්න වටගල ඇමතිතුමාට බැරි බව වටගල ඇමතිතුමාටත් රටේ ජනතාවටත් සිහිපත් කරනවා.
වටගල ඇමති නීතිය දන්නෙ නැහැ
විශේෂයෙන්ම ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා මේ මහ විපත සිදු වුණා කියන තිත්ත ඇත්ත ජනගත කරන අදීන මාධ්‍ය බියපත් කරන අදහසින් තමයි වටගල අමාත්‍යවරයා ඕක කිව්වේ. නමුත් හදිසි නීතිය බිල්ලා පෙන්වලා මේ රටේ සිටින අදීන මාධ්‍ය වොෂිංටන්ලා බවට පත් කරන්න බැරි බවට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න කියා වටගල ඇමතිතුමාට අපි කියනවා. වටගල අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියේ පොලිසිය වට කරගෙන මේ නියෝග දෙන්නේ තමන් නීතිය දන්නා බව පෙන්වන්නයි. හැබැයි එතුමා තමන්ගේ නීතිය පිළිබඳ උගත්කම ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන සෑම අවස්ථාවක ම ප්‍රදර්ශනය වෙන්නේ නූගත්කම. ඒක හරියට බිග් කුච්චන් ඉංග්‍රිසි කතා කරනවා වගේ. ඒ නිසා සහෝදර නීතිඥයින්ට අනුකම්පා කරලා නමට ඉදිරියෙන් නීතිඥ කියන තනතුර භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස අපි එතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.''




