The Leader News
BREAKING
Top Ad
පුවත්

සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන මෙහෙයුම් යාන්ත්‍රණයක් අවශ්‍යයි - ජනපති මහනුවර දී අවධාරණය කරයි

T

The Leader Desk

December 6, 2025 • 5:00 PM

සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන මෙහෙයුම් යාන්ත්‍රණයක් අවශ්‍යයි - ජනපති මහනුවර දී අවධාරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
  • ස්ථීර ලෙස මාර්ග පද්ධතිය ඉදිකරන තුරු ඉදිරි දින 25 සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මාර්ග පිළිසකර කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහි දී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
  • විනාශ වී ගිය සත්ත්ව ගොවිපොළ නැවත කඩිනමින් ආරම්භ කරමින් එම ගොවීන්ගේ ආදායම් මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සහ කිරි, කුකුළු මස්, බිත්තර ඇතුළු රටේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පැහැදිළි කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

මාර්ග පිළිසකර කිරීම් කඩිනමින් අවසන් කරන්න

දිස්ත්‍රීක්කයේ: මහා මාර්ග, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම වාරිමාර්ග සහ සන්නිවේදන පද්ධතිය යථාවත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කඩිනම් වැඩසටහන්වල ප්‍රගතිය සහ අවසන් කෙරෙන කාලය පිළිබඳ මෙහි දී ජනාධිපතිවරයා වෙන් වෙන්ව විමසා බැලී ය.

ස්ථීර ලෙස මාර්ග පද්ධතිය ඉදිකරන තුරු ඉදිරි දින 25 සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මාර්ග පිළිසකර කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහි දී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම බවුසර් මගින්

දිස්ත්‍රීක්කයේ ජල සැපයුම් දින 03ක් තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිවරයා  එතෙක් බවුසර් මගින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමටත්, එම කටයුතුවල දී සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් හදිසි අවශ්‍යතාවක් සේ සලකා ප්‍රසම්පදාන කටයුතු සිදු කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහාය ලබා ගැනීමටත් උපදෙස් දුන්නේ ය.

 

දෙසැම්බර් 31 වන වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කරන්න

නිවාසවල ළිං සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙන් සිදු කිරීමටද උපදෙස් දුන් අතර  විශාල ප්‍රතිසංස්කරණ කටයුතු දෙවන අදියරට තබා ගනිමින් තාවකාලික පිළිසකර කිරීම් තුළින් මෙම දෙසැම්බර් 31 වනදා වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමට ද උපදෙස් දුන්නේ ය.

ගොවින්ට දිය යුතු රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල කඩිනමින් ලබා දෙන්න

වගා කළ හැකි බිම් හදුනාගෙන ඒවා වගා කිරීමට ප්‍රමඛතාව ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉක්මණින් වගා කළ හැකි කුඹුරු හඳුනාගෙන ඒවාට අවශ්‍ය වාරි ජලය සැපයීමටත්, එහි දී මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමත් අවධාරණය කළේ ය. ඉක්මණින් වගාකළ හැකි ගොවීන් ප්‍රමාණය සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල කඩිනමින් ලබා දීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවෙන් හානියට පත්  දිස්ත්‍රික්කයේ එළවළු වගාව පිළිබඳවද සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගනිමින් ඔවුන් වෙනුවෙන් ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක් වූ වන්දි මුදල් ලබා දීමටත්, කෙසෙල් වගාවට සිදු වූ හානි සඳහා එළවළු වගාවට ලබා දෙන වන්දි මුදලම ලබා දීමට  හැකි වන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමත් උපදෙස් දුන්නේය.

 
විනාශ වී ගිය සත්ත්ව ගොවිපොළ නැවත කඩිනමින් ආරම්භ කරන්න

ආපදාව හමුවේ පශු සම්පත් ක්ෂේත්‍රයට සිදු වූ බලපැම පිළිබඳවද මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ගොවිපොළ ප්‍රමාණය මෙන්ම සතුන් ප්‍රමාණය පිළිබඳ යාවත්කාලීන දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහි දී නිලධාරීන්ට පෙන්වා දුන්නේ ය. විනාශ වී ගිය සත්ත්ව ගොවිපොළ නැවත කඩිනමින් ආරම්භ කරමින් එම ගොවීන්ගේ ආදායම් මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සහ කිරි, කුකුළු මස්, බිත්තර ඇතුළු  රටේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පැහැදිළි කළේ ය.

ඉන්ධන සැපයීම අද ම ක්‍රියාත්මකයි

දිස්ත්‍රික්කයේ ඉන්ධන සැපයුම යථාවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මාර්ග අවහිර වීම හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වී ඇති පුස්සැල්ල සහ මීතලාව යන ප්‍රදේශවලට මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සම්බන්ධීකරණයෙන් අද සවස් වන විට ඉන්ධන සැපයීමට ද උපදෙස් දුන්නේ ය.

පාසල් ආරම්භ කිරීමේ දී කාල පරතරය අවම කර ගන්න

මහනුවර දිස්ත්‍රීක්කයේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබදවද සාකච්ඡා කෙරුණු අතර නියමිත පරිදි විභාග පැවැත්වීම වෙනුවෙන්  පාසල් ආරම්භ කිරීමේ දී කාල පරතරය අවම කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේ ය.

 

ජනතාව යළි පදිංචි කිරීම වෙනුවෙන් ඉඩම් නිදහස් කරන්න

දිස්ත්‍රීක්කයේ සෞඛ්‍ය, දුම්රිය මාර්ග, සහ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවරද මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි. නිවාස හානි සහ එම ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සාකච්ඡා වූ අතර එම කටයුතුවල දී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කාර්යභාරය සහ කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරා ගැනීම පිළිබඳ සාකච්ඡා විය. ජනතාව යළි පදිංචි කිරීම වෙනුවෙන් ඒ ආසන්න ප්‍රදේශවල ඇති රජයේ ඉඩම් හඳුනාගෙන ඉදිරිපත් කරන ලෙසත් අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් එම ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.ජනතාව වඩා  සුරක්ෂිතව යළි පදිංචි කිරීම රජයේ අරමුණ බවත්,  විනාශ වූ සහ අර්ධ හානි සිදු වූ නිවාස වෙනුවෙන් ලබා දෙන වන්දි නිසි අයුරින්ම එම කටයුතු සඳහා යොදවන්නේ ද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමක් සිදු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.


සියලු රාජ්‍ය නිලධාරීන් ගේ කැපවීම අත්‍යවශ්‍ය යි

මෙම සියලු වන්දි මුදල් 2025 අයවැය යටතේ ලබා දීම සිදුවන බැවින් 2026 අයවැය බරක් නොවීමට නම් දෙසැම්බර් 31 වනදාට පෙර මෙම සියලු වන්දි ලබා දීම්  අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේ ය.

ප්‍රදේශයේ කුණු බැහැර කිරීමට තාවකාලිකව විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම ලබා දෙන්න

ගම්පොළ ප්‍රදේශයේ කුණු බැහැර කිරීමේ ගැටලුව පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වූ අතර ඊට දීර්ඝකාලීන විසඳුමක් ලෙස මහවැලියට අයත් ඉඩම නිදහස් කරන තුරු විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම තාවකාලිකව ලබා දීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය. ආපදා තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආයතනවල සිදුව ඇති හානිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

දිරාපත් වෙමින් පවතින මධ්‍ය කඳුකරය යළි සුවපත් කළ යුතුයි

ගංවතුර, සුළි කුණාටු සහ නාය යාම් යනාදි ස්වභාවික ආපදා වැළැක්විය නොහැකි නමුත්, එමගින් ජීවිත සහ දේපළවලට සිදුවන හානි වළක්වා ගත හැකි බව පෙන්වා දුන්  ජනාධිපතිවරයා මධ්‍ය කඳුකරය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර දිරාපත් වෙමින් පවතින මධ්‍ය කඳුකරය යළි සුවපත් කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය. නැවත මෙවන් ව්‍යසනයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අනවසර ඉදිකිරීම් සඳහා මින් ඉදිරියට ඉඩ නොදිය යුතු බවත්, එම ස්ථානවලට විදුලි සැපයුම ලබා නොදීමට විදුලිබල මණ්ඩලයටද වගබලා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට

ව්‍යසනයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළ ද ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජයට හැකියාව ලැබී තිබෙන බවත්, තවත් කෙටි කාලයක් සියලුදෙනා එකට වැඩ කිරීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. මෙම කටයුතුවල දී රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන  කැපවීම මෙහි දී ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මුදිත හංසක විජේමුණි,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ, තනුර දිසානායක, රියාස් මොහොමඩ්, මොහොමඩ් පස්මීන්, තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ ප්‍රේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරිප්පෙරුම ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු,  මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සහ මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රේඛීය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(සටහන - ජයසිරි අලවත්ත)

 xcfhe5y6546

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...