ජන අරගල සන්ධානය අද දින (08) කොළඹ CSR ශාලාවේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව අදහස් දැක්වමින් පවසා සිටියේ ස්වභාවික ආපදා නවතාගත නොහැකි වුවත්, නවීන තාක්ෂණය යටතේ අනතුරු කලින් හඳුනාගෙන ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සහ අදාළ ආයතන අසමත් වූ බවයි.
"මෙම ආපදා කළමනාකරණය කිරීමට ආණ්ඩුව දක්වන ලද අසමත්කම නිසා ව්‍යසනයේ හානිය තවත් වැඩි විය. මේ සඳහා වත්මන් ආණ්ඩුවට පමණක් නොව, පසුගිය රජයන් විසින් ක්‍රියාත්මක කළ පාරිසරික හානිදායක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවය අකාර්යක්ෂම කිරීම ද බලපෑ බව," හෙතෙම අවධාරණය කළේය.
ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වෙනුවට හදිසි නීතියක්

නාය යෑම් වැළැක්වීම සඳහා 1996 දී සම්මත කරන ලද පාංශු සංරක්ෂණ පනතට අදාළ රෙගුලාසි තවමත් නිකුත් කර නොමැති වීම නිසා එම පනත අක්‍රිය වී තිබේ. තවද, 2004 සුනාමියෙන් පසු පිහිටෙවූ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දුර්වල කර විසිරුවා හරින ලද්දේ ගෝඨාභය රාජපක්ෂ රජය විසින් වන අතර, ලාභ නොලබන බව පවසමින් එය අකාර්යක්ෂම කිරීමට නව ලිබරල් තර්ක යොදාගෙන ඇතැයි හෙතෙම චෝදනා කළේය. ආපදා කළමනාකරණය සඳහා පිහිටවූ ජාතික කමිටුව වසර හතකින් කැඳවා නොමැති අතර, අගෝස්තු මාසයේදී කැඳෙවූ අවස්ථාවේදීවත් නිසි තීරණ ගෙන නොමැති බවද ඔහු පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 25 දින රතු නිවේදනයක් නිකුත් කර තිබියදීත්, ජාත්‍යන්තර ආයතනයක නිවේදනයෙන් පසුවත්, නිවේදනයක් නිකුත් කිරීමට පැය 3 ක ප්‍රමාදයක් සිදු වූයේ ඇයි දැයි අදාළ නිලධාරීන් පැහැදිලි කළ යුතු බව අවධාරණය කළේය.
ආණ්ඩුව නොවැම්බර් 27 රාත්‍රියේ මැදිහත් වුවද, මුලින්ම රාජ්‍ය සේවයට නිවාඩු දී පසුව අත්‍යාවශ්‍ය සේවා කැඳවමින් ගැසට් නිවේදනය ව්‍යාකූල කළ බව ඔහු ප්‍රකාශ කළේය. මෙවැනි අවස්ථාවක ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වෙනුවට හදිසි නීතියක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද විවේචන එල්ල විය.
වඩාත් බරපතල චෝදනාවක් වූයේ, ආපදා කළමනාකරණයට අදාළ අරමුදල් සහ මෙහෙයුම් භාරදී ඇත්තේ රටේ පරිසරය සහ ස්වභාවික සම්පත් විනාශ කර තමන්ගේ ලාභය වැඩි කරගත් ව්‍යාපාරික කණ්ඩායමකට බවයි. LOLC හි ප්‍රධානියෙකු මෙම කමිටුවේ සිටීම නිසා විපතට පත් වූවන්ට ණය සහන ලැබේද යන්න පිළිබඳව සැක පළ කළේය. ඔහු අවධාරණය කළේ, රජයේ නොවන පාර්ශ්ව හරහා රජයේ මුදල් වියදම් කළ නොහැකි බවට සුනාමි සහන මණ්ඩලයට අදාළ නඩු තීන්දුවේ පැහැදිලිව ඇති බැවින්, මෙම කමිටුව වහාම අකුළාගෙන ආපදා කළමනාකරණයට අදාළ නිල ව්‍යුහය පිහිටුවන ලෙස ආණ්ඩුවට අනතුරු අඟවන බවයි.
අවසාන වශයෙන්, ආපදා අවස්ථාවේ නිකුත් කළ සියලුම නිල නිවේදන සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් තිබීම නිසා වැඩිපුරම පීඩාවට පත් වූ දෙමළ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කළ බවටද දුමින්ද නාගමුව චෝදනා කර සිටියේය
එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි

දැන් අපි පසුකරමින් ඉන්නේ ස්වාභාවික ව්‍යසනයක් නිසා බරපතළ ඛේදවාචකයකට මුහුණ දීලා, ඒ සිදු වූ හානියෙන් නැවත ගොඩනැගෙමින් ඉන්න අවධියක. මේ ව්‍යසනයකින් ඉදිරියේදී ජනතාව මුදවාගන්න නම් අපි යන්න ඕන පාර මොකක් ද කියලා දැන් අපිට හිතන්න කාලය ඇවිත්. අපි හිතනවා පරිසරය සම්බන්ධයෙන් ජනතාව සහ මේ රාජ්‍යය කටයුතු කරපු විදිහ නිසා තමයි මේ ස්වාභාවික ආපදාව මේතරම් විනාශයක් දක්වා ගෙන ගියේ. ඒ නිසා මේ විනාශයේ වගකීමෙන් අපි කාටවත් ගැලවෙන්න පුලුවන් කමක් නෑ.
මෙවැනි ස්වාභාවික ආපදාවක් ගැන අනතුරු හැඟවීම් කලින් ලැබිලා තිබුණා. නමුත් ඒ අනතුරු හැඟවීම් නිසි පරිදි කළමනාකරණය කරගන්න ආණ්ඩුව අසමත් වුනා. දැන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු උත්සහා කරනවා ඒ වගකීමෙන් නිදහස් වෙන්න. ඒක ඉතාම කණගාටුදායකයි. මේ වෙලාවේ සිය ගණනක් ජීවිත පොළොව යට වැලලිලා. දහස් ගාණක් මිනිස්සුන්ට තමන්ගේ නිවාස අහිමි වෙලා. එහෙම වෙලාවක ආණ්ඩුව තියනවා කරන්න වැඩ කොටසක්. හැබැයි අපි හිතනවා IMF එකට වැඳගෙන ඉන්නවනං ආණ්ඩුවට ඒ වගකීම ඉටු කරන්න පුලුවන් කමක් නෑ. මොකද IMF කොන්දේසිවලට අනුව කටයුතු කළොත් සුබසාධන කටයුතු ක්‍රියාත්මක කරන්න පුලුවන් කමක් නෑ.
ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන්වත් IMF වැඩපිළිවෙළෙන් ඉවත් වෙන්න කියලා. ආණ්ඩුව උත්සහා කරන්නේ මේ ව්‍යසනය පිට දාලා නවලිබර් වැඩපිළිවෙළ තවදුරත් සක්‍රීයව ක්‍රියාත්මක කරන්න. ඒ නවලිබර් ආර්ථික ප්‍රතිපත්ති නිසා අපේ රටේ පරිසර පද්ධතියට වුනු විනාශය ආණ්ඩුවට අමතකයි. තවදුරත් ඒ වැඩපිළිවෙළම ක්‍රියාත්මක කරනවා කියන්නේ තවදුරත් අපේ පරිසර පද්ධතියට හානි කරගන්නවා කියන එක.
ඒ නිසා අපි ජනතාවට කියනවා දැන්වත් මේ අනතුර තේරුම් ගන්න. ජනතාව දැන්වත් සංවිධානය වෙන්න ඕන. සියල්ල සල්ලි කියලා හිතන මේ ආර්ථික ක්‍රමය වෙනුවට සාමූහිකත්වය මූලික කරගත් ආර්ථික දේශපානලන ක්‍රමයක් ඇති කිරීම තමයි දැන් අපිට ඉතුරු වෙලා තියන එකම පාර. ඒ සඳහා ජනතාවගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ නිසා අපි ජනතාවට කියනවා අපි කමිටු විදිහට සංවිධානය වෙමු. මේවැනි ව්‍යසනයකදී ස්වේච්ඡාවෙන්ම මැදිහත් වෙන ජනතාවගේම කමිටු හදමු.




