මතු පළ වන්නේ එම සම්පූර්ණ ලිපිය යි.
අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිනිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ.
ගරු අග්‍රාමාත්‍යතුමියනි,
ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කරනු ලබන ඉල්ලීම
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ගංවතුර ගැලීම් හා නායයාම් නිසා රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත හානි වගේම දේපළ හානි සිදු විය. ඒ වගේම ජලාශ, ගංගා, වැව් අමුණු, ඇළවේලි ඇතුළු අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි, ධීවර, කර්මාන්ත, ස්වයංරැකියා, සංචාරක, ආනයන-අපනයන, සේවා සහ ව්‍යාපාර ඇතුළු සියලු ම ක්ෂේත්‍රයන්ට අදාළව හානි, බලපෑම් සහ විනාශයන් සිදුවිය. මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතල හානි සිදුවිය. එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකිව ඇත.
මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් අප ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතු ය. දැනටමත් අප ප්‍රායෝගිකව ඒ සඳහා මැදිහත්ව සිටින අතර, ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව විධිමත්ව මීට වඩා මැදිහත් විය යුතු බවට අපගේ විශ්වාසය යි.
ඒ අනුව, ආපදාවලට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් සහ අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන මෙන්, පක්ෂයක් ලෙස අප ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි...!
නීතිඥ නාමල් රාජපක්ෂ පා.ම.
ජාතික සංවිධායක,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
පිටපත් - කථානායකතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව




