රුසියානු හමුදාවට බැඳී යුක්‍රේනයට එරෙහිව සටන් කරමින් සිටියදී යුක්‍රේන හමුදාවේ අත් අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක් බටහිර යුක්‍රේනයේ ල්වීව් (Lviv) නගරයේ සිර කඳවුරක රඳවා සිටියදී මියගොස් තිබෙනවා.
ඔහුගේ මරණයට හේතුව උදරයේ හටගත් ආබාධයක් බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් සංදේශය නාලිකාවට දැනගැනීමට ලැබුණා.
ශ්‍රී ලාංකික යුද සිරකරුවා මිය යාම පිළිබඳව පවුලේ ඥාතීන්ට දැනුම් දෙනු ලැබ තිබෙනවා.
යුක්‍රේන හමුදාවේ අත් අඩංගුවේ පසු වූයේ ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් පමණයි. ඔවුන් අට දෙනාම රඳවා සිටියේ එකම කඳවුරක. දැනට අත් අඩංගුවේ පසුවන අනෙක් ශ්‍රී ලාංකිකයින් හත් දෙනාම යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව ඊයේත් (මාර්තු 26) ඔවුන් මුණ ගැසුණ අයෙක් මා සමග කියා සිටියා.
ල්වීව් කඳවුරේ සිටින ශ්‍රී ලාංකික යුද සිරකරුවෙක් සමග කළ සාකච්ඡාවක් Sandeshaya by Saroj නාලිකාව පසුගියදා විකාශනය කළා. ඉතිරි යුද සිරකරුවන් හය දෙනා සමගත් සාකච්ඡාවක් ලබා දෙන මෙන් මම යුක්‍රේන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.
රුසියානු හමුදාවට බැඳී සිටින විදේශිකයින් සහ යුද සිරකරුවන් හුවමාරු කරගැනීම ඇතුළු කරුණු පිළිබඳව යුක්‍රේන ආණ්ඩුවේ නිලධාරීන්, හමුදා ජනරාල්වරුන් සහ ඉන්දියාවේ සිටින යුක්‍රේන තානාපතිවරයා ඇතුළු පිරිසක් සම්බන්ධ වූ සාකච්ඡාවකට පසුගියදා මමත් සහභාගි වුණා. එහිදී සාකච්ඡා වූ කරුණුවල සාරාංශයක් ඉදිරි දිනයක ඔබට ඉදිරිපත් කරන්නම්.
සටහන:
යුක්‍රේන ආණ්ඩුවේ නිලධාරීන් සහභාගි වූ සාකච්ඡාව
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 මාර්තු 27




