The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
Opinion

ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර

Awara

Awara

October 8, 2026 • 2:56 PM

ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර රාජ්‍ය බලයෙන් ඉවත් කර ඇත.
  • මගේ අදහස උන්වහන්සේ සාධාරණ සටනක් අසාධාරණ ලෙස මෙහෙයවූ අයෙකු බවයි.
  • නමුත් ඒ සටන් ක්‍රමයේ අසාධාරණත්වයට උන්වහන්සේම අවසානයේ ගොදුරු වීම ගැන මට ඇත්තේ බලවත් කම්පනයකි.
  • බන්ධනාගාර කොමසාරිස්ගේ ඇඳුම සහ ඥානසාර හිමියන්ගේ සිවුර උන්වහන්සේව බලෙන් සිවුරු අරවා ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර රාජ්‍ය බලයෙන් ඉවත් කර ඇත. මෙසේ ලියන මම ඥානසාර හාමුදුරුවන්ගේ බොහෝ හැසිරීම්වලට එරෙහිව අදහස් පළ කළ, අදටත් ඒ මතයේම පිහිටා සිටින අයෙක්මි. මගේ අදහස උන්වහන්සේ සාධාරණ සටනක් අසාධාරණ ලෙස මෙහෙයවූ අයෙකු බවයි. ඒ නිසාම සටනේ සාධාරණත්වයට වඩා සටන් ක්‍රමයේ අසාධාරණත්වය ප්‍රචලිත විය.

නමුත් ඒ සටන් ක්‍රමයේ අසාධාරණත්වයට උන්වහන්සේම අවසානයේ ගොදුරු වීම ගැන මට ඇත්තේ බලවත් කම්පනයකි. ඒ කම්පනය තියුණු බුද්ධියක්, මනා උගත්කමක්, මධුර මනෝහර හඬක්, අසාමාන්‍ය පෞරුෂයක් සහ නිර්භීත නායකත්වයක් සහිත ඥානසාර හිමියන් බඳු භික්ෂූන් වහන්සේලා අතිශයින් කලාතුරකින් පහළ වන නිසා ය.

බන්ධනාගාර කොමසාරිස්ගේ ඇඳුම සහ ඥානසාර හිමියන්ගේ සිවුර

උන්වහන්සේව බලෙන් සිවුරු අරවා ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ය. දැන් බන්ධනාගාරයට ස්ථිර කොමසාරිස් ජනරාල් කෙනෙකු නැත; ඇත්තේ වැඩබලන අයෙකි. ස්ථිර කොමසාරිස් ජනරාල්ගේ නිල ඇඳුම ගැලෙව්වේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයයි. නිල ඇඳුම ගැලෙව්වා මදිවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් කටයුතු කළේ ආණ්ඩුවේ සී.අයි.ඩී. යයි. ආණ්ඩුවේම නීතිඥයෙකු අධිකරණයේදීම ඒ කොමසාරිස් ජනරාල්ට අපහාස කළේ වෙනම රාජ්‍යයක් පවත්වාගෙන ගියා කියා ය.

අන්තිමේදී ඒ ස්ථිර කොමසාරිස් ජනරාල්ට රැකියාවත් නැත; වැටුපකුත් නැත; නඩුත් නැත. ඔහු ගැන හඬකුත් නැත. දැන් සමාජය කළඹවන ප්‍රශ්නය වන්නේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ සිවුර ගැලෙව්වේ ඇයිද යන්නයි.


අනුන්ගේ වරදට හිරේ ගිය හාමුදුරුවෝ

ගලගොඩඅත්තේ හාමුදුරුවෝ මෙදා බන්ධනාගාරගත වුණේ හිටපු ජනාධිපතිවරයා කළ වරදක් නිසා ය. අනුන් කළ වරදකට වෙන කෙනෙකු හිරේට යන්න පුළුවන් බව ඔප්පු කර පෙන්නුවේ ඥානසාර හාමුදුරුවෝය. උන්වහන්සේ කළ වරදකට හිරේ ගියේ 2018 වසරේදී ය. ඒ සිරදඬුවම ගෙවා අවසන් කරන්නට නොදී උන්වහන්සේව එළියට ගත්තේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව ජනාධිපති සමාව ලබා දෙමිනි.

එදා ජනාධිපති සමාව නොදුන්නා නම් ඥානසාර හාමුදුරුවන්ට 2023 හෝ 2024 වන විට කිසිදු බියක් සැකක් නැතිව නිදහස් වීමේ හැකියාව තිබුණි. කෙසේ හෝ උන්වහන්සේගේ පූර්වයේ කරුමයකටදෝ ජනාධිපති මෛත්‍රීපාලගේ පඬුපුල් ආසනය උණු වී උන්වහන්සේට සමාව දුන්නේය. දුන් සමාව නිවැරදිව නීත්‍යනුකූලව ලබාදීමට අපොහොසත් වීම ජනාධිපති සිරිසේන කළ වරදයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සද්භාවයෙන් කළ බොහෝ දේ කළේ වැරදියට ය.

අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් විඳිමින් සිටි එස්.බී. දිසානායකට මහින්ද රාජපක්ෂ මහතා සමාව දුන්නේය; කවුරුත් ඊට එරෙහිව උසාවි ගියේ නැත. ඒ වරදම කළ රන්ජන් රාමනායක නම් නළු දේශපාලකයා හිරේ ගිය අතර, ඔහුත් නිදහස් වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමාවෙනි. කවුරුවත් ඊටත් එරෙහි වූයේ නැත. එහෙත් මෛත්‍රීපාල සහ ගෝඨාභය ලබාදුන් ජනාධිපති සමාවන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට පිරිසක් සිටියහ. "නිවටයන් දුටුවිට එළුවත් නිකට පානවා" යැයි කියන්නේ මෙවැනි සිදුවීම්වලට විය යුතුය.

2018 දී තිබූ නීතිය මෙදා වෙනස් වුණාද?


ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එදා සිරදඬුවම් විඳිද්දී බන්ධනාගාරයෙන් පිටත උසාවිවලට ඉදිරිපත් කළේ චීවරය සහිතවය. එදා පැවති බන්ධනාගාර ආඥා පනත සහ බන්ධනාගාර රෙගුලාසි එලෙසින්ම අදටත් ක්‍රියාත්මක වේ. මේ ආණ්ඩුව පත්වීමෙන් පසු අලුත් බන්ධනාගාර පනතක් සම්මත කර නැත. බන්ධනාගාර රෙගුලාසි, රීති හෝ නියෝග වෙනස් වූයේද නැත.

එසේ නම් එදා වසර හයක සිරදඬුවමක් විඳිද්දී සිවුර පෙරවාගෙන අධිකරණයේ සෙසු නඩුවලට රැගෙන ආ ඥානසාර හිමියන්ව, මෙදා එසේ රැගෙන ඒමට නොහැකි වූයේ මන්දැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් හෝ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසන්නට කිසිවෙකු නොසිටීම බලවත් අඩුවකි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ වසර තුනකට වඩා බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳින සියලු දෙනා බන්ධනාගාර රැඳවියන්ගේ ඇඳුම ඇඳිය යුතු බවයි. එසේ නම් එදා ඥානසාර හිමියන් විඳිමින් සිටියේ වසර තුනකට අඩු දඬුවමක් දැයි ඇසුවා නම් ප්‍රකාශකගේ මුව වැසෙනු ඇත.

කාටත් බෙදන එකම හැන්ද සහ සමාජවාදී භික්ෂූන්

කැබිනට් ප්‍රකාශක ඇමතිවරයාට අනුව ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට කිසිදු විශේෂ වෙනසක් කර නැත. ඉන් අදහස් කළේ ආණ්ඩුව සියලු භික්ෂූන්ට එකම හැන්දෙන් සලකන බවයි. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්යවරුන් තිදෙනෙකුම, දියවඩන නිලමේවරයා විසින් පෞරාණික වස්තුවක් වන රාජකීය දළදා මහ කරඬුව රහසිගතව ඉවත් කර මුදලාලි කරඬුවක දළදා වහන්සේ තැන්පත් කිරීම වරදක් බවට පැමිණිලි කළ අවස්ථාවේ ඔය කියන "හැන්ද" තිබුණේ කොහේදැයි ඇමතිවරයාගෙන් අහන්නට කිසිවෙකුට මතක් වූයේ නැත.



ඒ ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවට සිවුර පිටින්ම පක්ෂපාතීව කටයුතු කරන හිමිනමක් මුහුණුපොතේ සටහන් කර තිබුණේ, සියලු වැඩවසම් සංස්ථාවන්ගේ පරිවර්තනයන් සමාජ පරිවර්තනයට අනුකූලව සිදුවන බව භික්ෂු සංස්ථාව ද වටහා ගත යුතු බවයි. අප මෙතෙක් සිතා සිටියේ මෙරට ඇත්තේ ථේරවාදී එකම භික්ෂු සංස්ථාවක් බවයි. ඒ හිමියන්ගේ සමාජ මාධ්‍ය සටහන දුටු විට පෙනෙන්නේ උන්වහන්සේ අයත් වන්නේ ‘සමාජවාදී භික්ෂු සංස්ථාවට’ බවයි. ඇතැම්විට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩවසම් භික්ෂු ස්ථරයේ නායකයා ලෙස සලකනවා වන්නට පුළුවන. මෙරට සමාජවාදී භික්ෂු සංස්ථාවේ වත්මන් මහානායක වන්නේ කලවැල්ගල චන්දාකෝල හිමියන්ද, අනුනායක වන්නේ වකමුල්ලේ උදිත හිමියන්දැයි විමසමින් උපහාසාත්මක සටහනක් තැබීම හැර වෙනත් කළ හැකි දෙයක් මට නොවීය.

කොටපිටියේ රාහුල අනුනාහිමියන්ගේ ලිඛිත ඉල්ලීම

2018 දී සිවුරු පෙරවා අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමියන්ව මෙදා එසේ රැගෙන ඒමට නොහැකි වූයේ මන්දැයි විමසා බැලීමේදී සැබෑ හේතුව පැහැදිලි වේ. එදා ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර නොගලවන ලෙස කිසිවෙකු ඉල්ලා සිටියේ නැත.

මෙදා, කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක සහ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් මැදිහත් විය. උපසම්පදා භික්ෂුවක් විනයට අනුව සතර පාරාජිකාවලට අයත් නොවන වරදක් කළද, එකී භික්ෂුවගේ සිවුර ඉවත් කළ හැක්කේ උන්වහන්සේ අයත් භික්ෂු නිකායේ මහානායක හිමියන්ගේ අනුමැතියෙන් පමණක් බව උන්වහන්සේ ලිඛිතවම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබුණි.


කෝට්ටේ සංඝ සභාවේ ඓතිහාසික විනය සම්ප්‍රදාය

කෝට්ටේ සංඝ සභාවේ ඇති සුවිශේෂත්වය වන්නේ, ආරම්භයේ සිටම බෞද්ධ ධර්ම විනය පිළිබඳ ප්‍රාමාණික හා උගත් යතිවරයන් වහන්සේලා විසින් ඊට නායකත්වය ලබාදීමයි. අදටත් එහි ප්‍රාදේශීය නායක හිමිවරුන් පවා උපාධිධාරීහූ වෙති. කාරක සංඝ සභාවේ මහා තෙරවරු පශ්චාත් උපාධි සම්පූර්ණ කළ ධර්ම විනයධරයෝ වෙති. අතිපූජ්‍ය මහානායක ධුරය හොබවන්නේ සිය පර්යේෂණාත්මක නිබන්ධනය වෙනුවෙන් ආචාර්ය උපාධිය හිමිකරගත් අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියෝ ය.

කෝට්ටේ සංඝ සභාව ආරම්භ කළ පුරෝගාමී නාහිමිවරුන් පස්නම වන ගණාචාර්ය බෙන්තර අත්ථදස්සි, වලානේ සිද්ධාර්ථ, මලිගස්පේ මංගල, පැපිලියානේ ශීලවංශ සහ පානදුරේ සුමංගල යන හිමිවරුන් දේශදේශාන්තරවල කීර්තියට පත් මහා පඬිවරු වූහ. එදා සිට අද දක්වා වැඩසිටි සියලු මහානාහිමිවරු සාසනය බැබළවූහ. එවන් ඓතිහාසික සංඝ සභාවක් නියෝජනය කරමින් අනුනාහිමියන් කළ සාධාරණ දැනුම්දීමට ගරු කිරීම රාජ්‍ය පාලකයන්ගේ වගකීමක් විය.

නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ බෞද්ධ උරුමය

ඇතැම් අන්‍යාගමික නායකයන්ගේ මනසේ පහළ වූ මහමොළකරුවන් සොයමින්, රට වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කළ කීර්තිමත් බුද්ධි අංශ ප්‍රධානියෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන හිරිහැර කරන ආණ්ඩුවකට, කොටපිටියේ රාහුල අනුනාහිමියන්ගේ කාරුණික ඉල්ලීමට සවන්දීමට ඉඩක් නැතැයි සිතිය නොහැක.


උන්වහන්සේ ඥානසාර හිමියන්ට සමාව දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේ නැත. බෞද්ධ ශාසනික විනය නීතිවලට අනුකූලව වැදගත් කරුණක් පෙන්වා දෙමින් නිසි මඟපෙන්වීමක් සිදුකළා පමණි. එම ඉල්ලීමෙන් කිසිවෙකුට අසාධාරණයක් සිදු නොවේ. අඩුම තරමින් වෙනත් නඩුවක සැකකරුවෙකු ලෙස ඉදිරිපත් කෙරෙන විටදීවත් ඥානසාර හිමියන්ට චීවරය පෙරවාගෙන ඒමට ඉඩදීමට කිසිදු නීතිමය බාධාවක් නොතිබූ බව සාධාරණ ඕනෑම අයෙකුට වැටහේ.

දළදා පෙරහැරේ සහ නිදහස් දින පෙළපාලියේ කොඩි රැගෙන යන, වෙසක් දිනට ප්‍රසිද්ධියේ භක්ති ගීත ගයන මෙන්ම විශේෂ උත්සවවල නර්තනයේ යෙදෙන බන්ධනාගාර රැඳවියන් ජම්පරය ඇඳගෙන එම කටයුතු කරනු අප දැක නැත. ඒ ඒ අවස්ථාවන්ට උචිත ඇඳුම් ඇඳීමට රැඳවියන්ට ඉඩදුන් බන්ධනාගාර බලධාරීන්ට, තමන් භාරයේ සිටින භික්ෂුවකට උසාවියට ඉදිරිපත් කිරීමේදී සිවුර පෙරවීමට අවසර දීමට නොහැකි විය. බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබාදෙන්නේ මෙලෙසද? එසේ නොමැති නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය පැවතීමෙන් සිදුවන්නේ ජාත්‍යන්තරයෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල විවේචනයට ශ්‍රී ලාංකේය බුද්ධ ශාසනයත් බෞද්ධ ප්‍රජාවත් නිරන්තරයෙන් ලක්වීම පමණි.


(මුල් ප්‍රකාශනය: vinivida.lk)

සුනිල් කන්නන්ගර

කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

skannangara1959@gmail.com

View all stories by සුනිල් කන්නන්ගර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Sri Lanka#theleader.lk#Sri Lanka News#theleadernews##gnanasarathero
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...