මෙම නඩුවට අදාළ සිද්ධියේ දී කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට කරුණු අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරියා ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහි මෙම නඩුවේ පස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ මහතා සාක්ෂිකරු වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
එහිදී පෙර දින සාක්ෂි ලබාදෙන අවස්ථාවේදී රිටොප්සි මැබ් ඖෂධය තොග පාලක නිලධාරීවරයා විසින් භාර ගැනීමේදී වලංගු WOR සහතිකයක් සහ COA සහතිකයක් තිබීම සම්බන්ධයෙන් කළ සඳහන පිළිබඳව විමසීමක් කළ නීතිඥවරයා එම තොග පාලක නිලධාරීවරයා පරිශීලනය කළ WOR ලේඛනයක් පිළිබඳ දැනීමක් තිබෙනවා දැයි සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටියේය.
එය ඡායා පිටපතක් බව සඳහන් කළ සාක්ෂිකරු "ස්වාමීනි, ඒ සම්බන්ධව විමර්ශනයක් කළා. බඩු භාර ගැනීමේ දිනය ලෙස සඳහන් වෙන්නේ 05/11වැනිදා. WOR සහතිකය නිකුත් කර තිබුණේ 2023/02/11 වෙනිදා .එම සහතිකය මාස තුනක කාලයක් සඳහා වලංගු වන අතර බඩු බාරගන්නා අවස්ථාවේදී එය වලංගු සහතිකයක් නොවන බවට කිසිදු අවස්ථාවක කරුණු අනාවරණය වූයේ නැහැ."යනුවෙන් ප්‍රකාශ කළේය.
"ඖෂධ භාරගන්නා විට ඒවා භාර දිය යුතු දිනය ඉකුත් වෙලා නේද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එසේය ස්වාමීනී යනුවෙන් සාක්ෂිකරු පිළිතුරක් ලබා දුන්නේය.
"එම ඖෂධ භාර ගැනීමේදී තිබුණු තොග තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය වුණාද ?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම තොරතුරු සොයා බැලූ බවත් 6161ක ජාතික තලයේ තොග තිබූ බවට අනාවරණය වූ බවත්ය. වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ තොගය පිළිබඳව එම ලේඛනයේ සඳහනක් නොවන බවද සාක්ෂිකරු කියා සිටියේය.

"එම රිටොප්සිමැබ් ඖෂධ තොගය භාරගන්නා විට මාස හතකට පමණ ප්‍රමාණවත් තොග තිබූ බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී "ස්වාමීනි , රිටොප්සිමැබ් පිළිකා නාශක ඖෂධයක්. හත්වන චූදිත මාස 6-9 අතර කාලයකට එම තොගය පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබාදී තිබුණා ඒ වනවිට මාස හයකට අඩු තොග ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ බවට නිශ්චිතවම කිව හැකියි " යනුවෙන් සාක්ෂි කරු කියා සිටියේය.
"මා යෝජනා කරනවා සමස්ත තොගය මාස හතකට එහා තිබූ බව"යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව සාක්ෂිකරු සඳහන් කළේය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ඔබ කිව්වා නේද හත්වන චූදිත තොග තබා ගැනීමට උපදෙස් දුන් බවට?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: හත්වන චූදිත උපදෙස් බව කොහොමද අනාවරණය වුණේ?
සාක්ෂිකරු ස්වාමීනි ඔහුගේ අත් අකුරෙන්ම ලියූ ලිපියක් සොයාගත්තා
විනිසුරු සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :මොකක්ද ඒ ලේඛනය?
සාක්ෂිකරු :පැය 401 ලේඛනය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තොග පාලක නිලධාරී ,සහකාර අධ්‍යක්ෂක සහ අධ්‍යක්ෂකට දැනුම් දී ඇති බවත් ඔහුගේ අත්අකුරෙන්ම ලියූ බවත් අනාවරණය කරගත්තා.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :ඒ ලිපිය කියවලා බැලුවද?
සාක්ෂිකරු :එසේය ස්වාමීනී
නීතිඥවරයා: ඔබ කියන්නේ ඊට පූර්ව අවසරය තිබූ බවද
සාක්ෂිකරු :ඔව් ස්වාමීනි, ඔහු දන්වා තිබෙනවා, සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ලේකම් ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති එහි ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී ගත් තීරණයක් අනුව මාස 6-9ක තොග පවත්වාගෙන යා යුතු බවට
නීතිඥවරයා : එහි තියෙන්නේ essential cancer drugs කියලා. එම තීරණය ගෙන තියෙන්නේ අත්‍යවශ්‍ය පිළිකානාශක ඖෂධ සම්බන්ධයෙන්.
සාක්ෂිකරු: ස්වාමීනි විමර්ශනයේදී අනාවරණය කරගත්තා මෙම රිටොප්සි මැබ් ඖෂධය අත්‍යවශ්‍ය පිළිකානාශක ඖෂධයක් බවට.
නීතිඥවරයා: මේ ලිපියේ තියෙනවද දිනය ඉකුත් වූ භාණ්ඩ භාරගන්නා ලෙස?
සාක්ෂිකරු. මේ ලිපිය අනුව භාණ්ඩ බාරගෙන තිබුණා. එය ඉහළ නිලධාරීන්ට යොමු වී තිබුණා. ඒ කිසිම අවස්ථාවක එවැනි ගැටලුවක් ඇති බවක් අනාවරණය වුණේ නෑ.
හත්වන චූදිත විසින් නිකුත් කරන ලද මෙම ලිපිය අනුව අදාළ ඖෂධ තොග භාර ගැනීම සිදුකර තිබූ අතර ඉහළ නිලධාරින් විසින් ඒ ගැන සටහනක් කර නොතිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය .රිටොප්සි මැබ් ඖෂධය භාර ගැනීමේදී තොග පාලක නිලධාරීවරයා ගේ නිර්දේශය සහකාර අධ්‍යක්ෂ විසින් අනුමත කර භාරගෙන තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් භාර ගැනීම සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත්තේ ඒ ආකාරයෙන් නේද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එහිදී WOR ලේඛනය නිවැරදි දැයි පරීක්ෂා කිරීමක් සිදුකර නොමැති බවය. එම සහතිකය COA සහතිකය නිවැරදි ද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීම සම්බන්ධයෙන් තමන් විමර්ශනයක් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
රිටොප්සි මැබ් ඖෂධය භාර ගැනීමට අදාළ WOR සහතිකයේ වලංගු කාලය සහ ඉන්වොයිස් පත්‍රයේ කරුණු නිවැරදිව තිබූ බව සඳහන් කළ සාක්ෂිකරු ගැනුම් ඇනවුම සමග බැලිය යුතු කාරණා එහිදී සලකා බලා තිබූ බවද සඳහන් කළේය.
"ඔය සියලු කාරණා පස්වන විත්තිකරු විසින් ද පරීක්ෂා කළ බවට මා යෝජනා කරනවා." යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ WOR ලේඛනය වලංගු කාලය ඉකුත් වී තිබූ අතර COA සහතිකය නිසි ලෙස පරීක්ෂා කිරීමක් සිදු නොකර නොතිබූ බවය.
"පස්වන චූදිත නිසි ලෙස බර ගැනීම් කර තිබූ අතර කස්තුරි සිංහ නිලධාරියා අවිධිමත්ව බාරගත් දෙයක් විධිමත් ලෙස කර ඇති බව ඔබ පවසන බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත තමන් අදාළ ප්‍රකාශ කළ බවය.
තොග භාර ගැනීමේ ගැනීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය වෛද්‍ය සැපයුම් ඒකකයට ඇති බවත් එය තනි පුද්ගලයෙක් සතු නොවන බවත් නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තොග පාලන නිලධාරියාට හා සහකාර අධ්‍යක්ෂවරියට ඖෂධ භාර ගැනීමේ වගකීමක් තිබුණු බවය.
"මා යෝජනා කරනවා ථේරාවලිය අනුව ඉහල නිලධාරීන් විසින් එම බාර ගැනීම අනුමත කළ යුතු බව" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු "එය වැරදියි ස්වාමීනි, තොග පාලක ට සහ සහකාර අධ්‍යක්ෂකට ඒ සම්බන්ධයෙන් හැකියාව තිබෙනවා .යම් ගැටලුව සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ගත යුතුයි" යනුවෙන් සඳහන් කළේය .
නීතිඥවරයා: මෙය ගැටලුකාරී තත්ත්වයක්නේ. බාර දිය යුතු කාලය ඉකුත් වෙලා?
සාක්ෂිකරු:. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ලිපිය අනුව තමයි එය සිදුකර තිබුණේ. ඒ සඳහා මුදල් ගෙවීම් දක්වා ගොස් තිබෙනවා. ඒ කිසිදු අවස්ථාවක ඒ වැරදියි කියලා තිබුණෙ නෑ.
නීතිඥවරයා :වෛද්‍ය සැපයුම් ඒකකයේ කාර්යය පටි පාටියේ දී තොග පාලක නිලධාරියාට අවසරයක් නැතුව තනිව භාණ්ඩ භාරගත නොහැකි බවට යෝජනා කරනවා
සාක්ෂිකරු: එම තොග භාර ගැනීමට අවසරයක් අවශ්‍ය බව විමර්ශනයේදී අනාවරණය වූයේ නෑ.
අදාළ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් තොගය භාර ගැනීමේදී සැපයුම් කොන්දේසි පිළිබඳව සැලකිල්ලක් නොදක්වා තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
පස්වන චූදිතට ලබා දී තිබූ රාජකාරී ලැයිස්තුව සම්බන්ධයෙන් නීතිඥවරයා හරස් ප්‍රශ්න යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එහි එකොළොස්වන අයිතමය තමයි යටතේ. required document ලෙස සඳහනක් ඇති බවට ඊට WOR සහතිකය ඇතුලත් වන බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඒ ඔබේ මතයනේ, මෙහි එවැන්නක් තිබෙනවාද? යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී නීතිඥවරයා කියා සිටියේ භාණ්ඩ භාර ගැනීමේදී required document එකක් ලෙස WOR ලේඛනය සලකා බැලිය යුතු බවට අනාවරණය කරගත් බවය.
"මා යෝජනා කරනවා WOR සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති බව .එය ඔබගේ හිතලුවක් බව බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වූ බවය. ඊට අදාළව දීපාල් කස්තුරිසිංහ සහ චාන්දනී වන්නිආරච්චි ගෙන් ප්‍රකාශ ලබා ගැනීමක් සිදුකළ බව ද සාක්ෂිකරු කියා සිටියේය.
"පස්වැනි විත්තිකරුට පවරා තිබූ රාජකාරී ලැයිස්තුවට අදාළව check list එකක් හමු වුණාද? යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි එවැන්නක් හමු නොවූ බව සාක්ෂිකරු කියා සිටියේ ය.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති 2 v 42 ලේඛනය සහ 5 V 1 එක රාජකාරී ලැයිස්තුව සාක්ෂිකරුගේ අවධානයට යොමු කරමින් ප්‍රශ්න කිරීම් කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට විරෝධය පළ කරමින් රාජකාරී ලැයිස්තුවක් සහ චක්‍රලේඛයක් එකිනෙකට සංසන්දනය කරමින් සාක්ෂි විමසීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සඳහන් කළාය.
"මෙම විමර්ශනවල පියවරක් ලෙස මාලිගාකන්ද අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම අධිකරණයට ප්‍රගතිය වාර්තා කිරීමක් සිදුකළ බවය.
පස්වෙනි විත්තිකරු අත්අඩංගුවට ගෙන 2023/11/20 දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
"ප්‍රසම්පාදන කටයුතු කිරීමට පෙර ඒ ඒ ඖෂධයේ තිබෙන තොග තත්ත්වයන් පිළිබඳව දැනුම් දීමක් කර තිබුණාද ?"
යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන් ඒ පිළිබඳව සොයා බැලීමක් කළ බවය ප්‍රසම්පාදනයට පෙර ඇනවුම් ලැයිස්තු ඉදිරිපත් කර නොතිබූ බව අනාවරණය වූ බව සාක්ෂිකරු එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.
"මෙම නඩුවට අදාළ ඖෂධ දෙකෙන් ම වැඩිපුර මුදලක් ගෙවා ඇත්තේ කුමන ඖෂධයටදැ"යි විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ " රිටොප්සි මැබ් ඖෂධය සම්බන්ධයෙන් වැඩිම ගෙවීම කර ඇති බවය. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් රුපියල් මිලියන 36 කට වැඩි ප්‍රමාණයක් ගෙවා ඇති අතර රිටොප්සි මැබ් ඖෂධය සම්බන්ධයෙන් රුපියල් මිලියන 107කට වැඩි මුදලක් ගෙවා ඇති බව අනාවරණය වූ බව "සාක්ෂිකරු කියා සිටියේය.
"එසේ වුවද සම්පූර්ණ තොගයට මුදල් ගෙවීමක් සිදු කළා නම් එහි වැඩි වටිනාකමක් ගෙවීමට සිදුවන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් වන බවද" ඔහු සඳහන් කළේය.
"පස්වන චූදිත අදාළ රාජකාරිය නිසි ලෙස කළ බවට යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු" එය ප්‍රතික්ෂේප කරන බව "සඳහන් කළේය.
"රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීම නිසි ලෙස සිදුකර නොමැති බවට තමන් යෝජනා කරන බව" නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
ඒ සමගම පස් වැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර ඉන් අනතුරුව මෙම නඩුවේ තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරු වෙත හරස් ප්‍රශ්න යොමු කිරීම සිදු කළේය.
"මෙම නඩුකරයට අදාළව විමර්ශන කටයුතු කළ නිලධාරියා ඔබ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු භාරව කටයුතු කළ බව සඳහන් කළේය.
"spc ආයතනය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන කටයුතු කළ බව අනාවරණය කර ගත්තාද ?"
යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එම කරුණ අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.

"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ EOI ප්‍රසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක බවද විමර්ශනයේදී අනාවරණය වූ නමුත් ඖෂධ සඳහා EOI භාවිතා නොකරන බව අනාවරණය වූ බව" සාක්ෂිකරු කියා සිටියේය
2022 /09/05 දින සහ 2022/10/10 ,දින 2022/10/28 පැවති සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ලබා දී තිබූ සාක්ෂි සම්බන්ධයෙන් වෙන් වෙන්ව විමසීමක් නීතිඥවරයා කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි සාක්ෂියක් ලබා දුන් බවය.
එම රැස්වීමට චාන්දනී වන්නිආරච්චි සහභාගි වූ බව10v63 ලේඛනයේ සඳහන් වන බව ද ඇය පැමිණිල්ලේ සාක්ෂිකාරියක් ලෙස සාක්ෂි ලබාදුන් බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
එම රැස්වීමට සහභාගී වූ අයගේ නම් ප්‍රකාශයට පත් කළ නීතිඥ වරයා "ඔවුන් අදාළ රැස්වීමට සහභාගි වූ බව අනාවරණය වූවාද?" යනුවෙන් නිතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදි අදාළ ලේඛනය සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඔවුන් මෙම අධිකරණයේ විත්තිකරුවන් අතර සිටිනවාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවලදී "ඔවුන් මෙහි නොසිටින බව "සාක්ෂිකරු කියා සිටියේය.
"EOI ක්‍රමය යටතේ ප්‍රසම්පාදනයක් සිදුකර තිබුණාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැන්නක් තිබුණු බව අනාවරණය වූ බවය .එම ප්‍රසම්පාදනය ආරම්භ කර ඇගයීම් කමිටුවක් හරහා නිර්දේශයන් කර වෛද්‍ය සැපයුම් අංශය වෙත ගැනුම් ඇනවුම් නිකුත් කළ බව අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"එම ගැනුම් ඇනවුමේ සැපයුම් කොන්දේසි තිබුණද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එම සැපයුම් කොන්දේසි අනුව ඖෂධ භාර දීම කළ යුතුව තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් ගැනුම් ඇනවුමක් නිකුත් වී තිබුණාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ආයතනයට එවැනි ගැනුම් ඇනවුමක් නිකුත් වී තිබූ බව ය.
"එහි COA එකක් පරීක්ෂා කළ යුතු බවට සඳහනක් තිබෙනවාද?" යන්න නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව සඳහනක් නොමැති බවය.
"COA ලේඛන පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලක නිලධාරීන් සහ සහකාර අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන තොග පාලක යන අයට යම් පුහුණුවක් ලබා දී තිබූ බවක් අනාවරණය වුණාද?" යන ප්‍රශ්නය නීතිඥවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි පුහුණුවක් ලබා දී තිබූ බවක් අනාවරණය නොවූ බවය .
එහෙත් COA සහතිකය required document එකක් ලෙස හඳුනා ගත යුතුව තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"Quality, safety, efficasy යන කටයුතු කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය බව ඔබ දන්නවාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ පනතෙහි ඒ බව සඳහන් වන බවය.
"ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධවේදින්ට ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා තිබෙනවාද ?"යන්න පිළිබඳව තමන් විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය.
මෙම නඩුවේ තුන්වන විත්තිකාරියට COA පරීක්ෂා කිරීම සඳහා පුහුණුවක් ලබා දී නොතිබූ බවට යෝජනා කරන බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එය තමන් ප්‍රතික්ෂේප කරන බවය. එහිදී එම සහතිකය පරීක්ෂා කරන බව අනාවරණය වූ බවද සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය.
WOR සහතිකය, ආනයන අපනයන පාලකවරයා වෙත භාණ්ඩ නිෂ්පාශනය කිරීම සඳහා ඉදිරිපත් කරන්නක් බවට නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එහි පිටපත් වෙනත් අංශවලටද යොමු කිරීමක් සිදුකරන බවය.
එහි කාලය එහි වලංගු කාලය මාස තුනක් බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඖෂධ තොග භාරදීමේ දිනය ඉකුත් වී තිබුණද එම ඖෂධවල ජීව කාලය පැවතීම හේතුවෙන් රිටොක්සි මැප් ඖෂධය භාරගත් බවට යෝජනාවක් කළ නීතිඥවරයා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් භාර ගැනීමද එයා කාරයටම සිදුකර ඇති බවට යෝජනාවක් කළේය.
එහිදී සාක්ෂිකරු අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කළ සාක්ෂි කරු එම ඖෂධය භාර ගැනීමේදී ඉදිරිපත් කළ WOR සහතිකයේ වලංගු කාලය කල් ඉකුත් වී ඇති බව සඳහන් කළේය.
WOR සහතික පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් තොග පාලක නිලධාරීන්ට, සහකාර අධ්‍යක්ෂකවරුන්ට ,ප්‍රධාන තොග පාලක නිලධාරියාට කිසිදු පුහුණුවක් ලබා නොතිබූ බවට යෝජනා කරන බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් විමර්ශනය නොකළ බවය.
අදාළ ලේඛන සහකාර අධ්‍යක්ෂකට සහ අධ්‍යක්ෂකට යොමු කර උපදෙස් ලබාගෙන ඇති බවක් අනාවරණය කරගත් බවට සාක්ෂිකරු සඳහන් කළේය.
"තුන්වෙනි විත්තිකාරී කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොකළ බවට මා යෝජනා කරනවා" යනුවෙන් තිඥවරයා ප්‍රතිසන්ධාන කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේ.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව හයවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
තමන් මෙම නඩුවට අදාළ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයා වන අතර ඊට අදාළ ලිඛිත පැමිණිලි දෙකක් 2023 /10/11 වැනි දින ලැබුණු බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය
"අදාළ මුල් පැමිණි දෙක ලැබුණේ කාටද?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලැබුණු බව සාක්ෂිකරු කියා සිටියේය.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එම කරුණු වාර්තා කිරීම විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පි.ඒ. ජයන්ත විසින් සිදුකළ බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
"මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔබ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයා ලෙස බලය පැවරුවේ කවුද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ 2023/ 10/11 වැනි දින ස්ථානාධිපතිවරයා විසින් එම බලය පැවරීම සිදුකළ බවය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ස්ථානාධිපතිවරයාට දැනුම් දීමක් සිදු කළ අතර ඔහු විසින් තමන්ට මෙම පැමිණිලි කැඳවීමට නියෝගයක් 2023/10/07 දින ලබා දී ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
අපරාධ සම්බන්ධයෙන් ඇති පැමිණිලි සටහන් කිරීමේදී අධ්‍යක්ෂක කාර්යාලයට විමර්ශන නිලධාරීවරයා ලෙස වාර්තා කළ යුතු අතර ඒ සඳහා තමාගේ නම සඳහන් කර තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කළ බී වාර්තාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 454. 459යන වරද සඳහන් කර ඇති බව සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
"මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කොපමණ කාලයක් සිදු කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වසර දෙකකට ආසන්න කාලයක් එම විමර්ශන කටයුතු සිදුකළ බවය.
"එම විමර්ශනවල කුමන හෝ අවස්ථාවක මෙම විත්තිකරුවන්ගෙන් එක් අයකු හෝ කූඨ ලේඛන භාවිතා කළ බවට අනාවරණය වුණාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ලේඛන මත පමණක් නොව ප්‍රසම්පාදන කටයුතුවලදී සිදුවූ අක්‍රමිකතාවයන් පිළිබඳව ද විමර්ශනය සිදුකරන බවය.
එම විමර්ශනයට අදාළව ලබාගත් ලේඛන සහ ප්‍රකාශ මත විශේෂ කරුණු අනාවරණය කර ගත් බව සාක්ෂිකරු කියා සිටියේය
"මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර දෙක හමාරකට අධික කාලයක් ඔබ කළ විමර්ශනයේදී කුමන හෝ නිලධාරියකු විසින් ව්‍යාජ අත්සන් යොදා කූට ලේඛන සකසා තිබූ බවට අනාවරණයක් වුණාද ?"යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැන්නක් අනාවරණය නොවූ බවය. අදාල නිළධාරින විසින් අත්සන් යොදා තිබූ එම ලේඛන භාරයට ගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
එම ලේඛන ව්‍යාජ ලේඛන නොවන බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය
"ඔබ මෙම සිද්ධියට අදාළව දුරකථන වාර්තා ලබා ගත්තාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ, තාක්ෂණික ආධාර ඒකකයේ මගින් නියෝජ්‍ය පොලිස්පති හරහා ඉල්ලීමක් කර දුරකථන සමාගම් වලින් අදාළ වාර්තා ලබාගත් බවය.
එවැනි වාර්තාවක් ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය අවසරයක් අවශ්‍ය නොවන බව සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වන මෙම නඩුවේ හය වන චූදිත සහ පළමු වන චූදිත අතර දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ හුවමාරු වී නොමැති බව අනාවරණය වූවාද යන්න පිළිබඳව නීතිඥවරයා විසින් වෙන් වෙන්ව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර එවැන්නක් අනාවරණය නොවූ බව සාක්ෂිකරු කියා සිටියේය.

"එලෙස ඊමේල් හුවමාරු වීමක් සිදුවී තිබෙනවාද?" යන්න පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය.
නීතිඥවරයා :එක සහ හය වන චූදිත අතර පුද්ගලික සම්බන්ධතාවයක් තිබුණ බවට වසර දෙකහමාරක් ඔබ කළ විමර්ශනවලදී අනාවරණය වුණාද?
සාක්ෂිකරු : ලිපි පිළිබඳ විමර්ශනයේදී අනාවරණය වුණා. ඒ අනුව යම්කිසි හැඳින්වීමක් ඇති බවක් අනාවරණය වුණා. ඒවා රාජකාරී ලිපිද කියා විමර්ශනයක් සිදු කළා .රුධිර ප්ලාස්මා ලබා ගැනීම සඳහා ලේකම්ගේ නිර්දේශය ලබාදී තිබුණා. ඒ සඳහා ඉල්ලීම් කළ යුතුව තිබුණේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට."
නීතිඥවරයා: ඔබ විත්තිය විසින්ම මතු කරන ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරු දෙන්නේ නැති සාක්ෂිකරුවෙක්.
සාක්ෂිකරු:. එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි
නීතිඥවරයා: මේ ලිපි හැර වෙනත් හැඳුනුම්කමක් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වුණාද?
සාක්ෂිකරු :එවන්නක් විමර්ශනයේදී අනාවරණය වුණේ නෑ.
නීතිඥවරයා :අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ගැන අනාවරණය වුණාද?
සාක්ෂිකරු :එසේය ස්වාමීනි
"මේ නඩුවට විෂය වන ප්‍රසම්පාදනය සඳහා ලන්සුකරුවන් කී දෙනෙක් ඉදිරිපත්ව තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ලේඛන බැලීමකින් තොරව පිළිතුරු ලබාදිය නොහැකි බව සාක්ෂිකරු කියා සිටියේය .
අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනයෙන් ඉදිරිපත් කර තිබූ ලංසු බහුතරයකට අනුමැතිය ලබාදී තිබූ අතර සමහර ඒවාට නිර්දේශයන් නිකුත් නොවී තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
ලන්සු හයක් සඳහා නිර්දේශ ලබාදී ඇති බවත් ඉන් තුනක් පමණක් ප්‍රසම්පාදන කමිටුව විසින් අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයට ප්‍රදානයක් කර ඇති බවත් අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
"හයවන චූදිතගේ කාර්යාලයේ දුරකථන ක්‍රියාකරුවකු සිටින සිටි බවට විමර්ශනවලදී අනාවරණය වූවාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය. එහෙත් එම දුරකථන ක්‍රියාකරුගේ නම ප්‍රකාශ කළහොත් ඒ පිළිබඳව සාක්ෂි ලබාදිය හැකි බව සාක්ෂිකරු කියා සිටියේය.
"අනිල් හේමන්ත නමැත්තෙකු එහි සිටි බව අනාවරණය වුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමක් සිදුකළ බව සාක්ෂිකරු සඳහන් කළේය. ඔහුගෙන් ලේඛන කිසිවක් ලබා ගැනීමක් සිදු නොකළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ ලේකම්තුමාගේ මාණ්ඩලික සහකාර නිලධාරීනියක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමක් සිදු වුණාද ?"යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව සාක්ෂිකරු කියා සිටියේය
spc ආයතනයේ සභාපති, සරත් ලියනගේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමක් සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය
"දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවක් අනාවරණය වුණාද ?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එවැනි අනාවරණය වීමක් සිදු නොවූ බවය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න



