ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරියා ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකාර මෙම නඩුවේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා වැඩිදුර මූලික සාක්ෂි ලබාදීම සිදු කළේය.
පෙර දින නඩු විභාගය අවසන් වන අවස්ථාවේදී ලබා දෙමින් සිටි සාක්ෂිය පිළිබඳව සාක්ෂිකරුට සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනය සෝදිසි කර බැලීම සඳහා ලබාගත් සෝදිසි වරෙන්තුව ට අදාළ රාජකාරී 2024 ජනවාරි මස 22 දින අවසන් කළ බවට සඳහන් කළාද?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී එදින එම රාජකාරිය අවසන් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩුවේ 306 ලෙස නම්කර ඇති ලේඛණය විමර්ශනවලදී ඔබ බාරයට ගත් ලේඛනයක්ද?
සාක්ෂිකරු: ස්වාමීනි, එය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාගත්ත එකක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එය ඔබ කාගෙන්ද ලබා ගත්තේ?
සාක්ෂිකරු: ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ශානිකා රණසිංහ නමැති නිලධාරිනිය ගෙන් එය ලබා ගත්තා. මේ ලේඛනයට අදාළව විමර්ශනයක් සිදුකළා 2023 අගෝස්තු මස පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී 2023 තිස් වන දින ලිපියක් හයවන චූදිත විසින් යොමු කර තිබූණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :එම ලිපිය ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සටහන්වල තිබෙන බව නිරීක්ෂණය කළාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
2023/03/ 17 දින අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී විශේෂ ක්‍රමවේදය යටතේ WOR නිකුත් කිරීම නතර කර දමනවා. එසේ තිබියදී 2023/03/30 දින හයවන චූදිත විසින් දොළොස්වන චූදිතට මේ WOR ක්‍රමය ආරම්භ කිරීමට සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවා. එහිදී ප්‍රධාන විධායක නිලධාරීයාගේ අත් අකුරින් සකස්කර හයවන චූදිතට මෙම ලිපිය යොමු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හයවන චූදිත විසින් නිකුත් කළ ලිපියේ කටුසටහන් සකස් කර තිබුණේ කවුරුන් විසින්ද?
සාක්ෂිකරු: 12 වන චූදිත විසින් එම කටු සටහන් සකස් කර තිබුණා. එය හදුනාගත හැකියි.
මෙම කටුසටහන් ඒ ඇති අත් අකුරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ගේ බවට පිළිගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දන්වා සිටියාය.
අයිසොලිස් බයෝ ටෙක් පාමා ඒ ජී නමැති කේවල ව්‍යාපාරය මගින් 2023/05/11 දින රිටොප්සි මැබ් ඖෂධ භාරදීම ආරම්භ කර තිබූ අතර එම ඖෂධ රෝහල්වලට නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අවස්ථාව වන විට එම අයිතම භාවිතයට ගෙන තිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.

"ස්වාමීනි, 2023 /11/01 දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ නිසි පරිසර තත්ත්වයක් යටතේ නිසි උෂ්ණත්වයෙන් පවත්වාගෙන යාමට වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් ලබා ගත්තා." යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය තවත් ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ "මෙම විමර්ශන ආරම්භ වන විටත් අහිතකර ප්‍රතිවිපාකයන් ඇති වූ බවට අනාවරණය වී තිබුණාද?" යන්නය.
එම සාම්පල NMQAL ආයතනයට ලබා දීමක් කර තිබුණාද යන්න පිළිබඳව විමර්ශනය කළ අතර ඒ වන විට වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරීවරියව සිටි දීපිකා බුලත් සිංහල මහත්මියගෙන් එම ලේඛන ලබා ගැනීමට කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
මෙම අයිතම නිසි ශීතදාමය පවත්වා ගත් බවට, වෛද්‍ය සැපයුම් ඒකකයේ සිට රෝහල්වලට යන තෙක් ශීතදාමය ආරක්ෂා කර ගත් බවට ප්‍රකාශ සටහන් කර ගනිමින් කරුණු අනාවරණය කර ගැනීමක් සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය.
එම සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂා කළ MRI ආයතනය විසින් වාර්තාවන් නිකුත් කර තිබූ අතර එම වාර්තාව භාරයට ගැනීමක් සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය.
"මෙම සාම්පල විෂයෙහි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් ලබා ගත්තාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී අදාළ ඖෂධවල සංයුතිය පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් රසායනාගාර වෙත රැගෙන යාමට අදාළ නියෝගයක් ලබා ගත් බව' සාක්ෂිකරු කියා සිටියේය.
එම ඖෂධ රැගෙන යාමේ රාජකාරියට තමන් සහභාගි වූ බවත් 2025 පෙබරවාරි 11 වැනි දින එම රාජකාරිය ආරම්භ කිරීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයේ 06 ගබඩාවට නිලධාරීන් කිහිපදෙනෙකු සමග බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අර්ජුන පද්මපෙරුම මහතා සහ ඉශානි සඳමාලී නමැති නිලධාරිනිය එහි පැමිණ සිටි බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
"එහිදී මුලින්ම ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ 06 ගබඩාව භාරව සිටි දර්ශන බණ්ඩාර හමුවී ඔහුගෙන් කාණ්ඩ අංක 732330401 දරන live ealth biotech pharma pvt itd ආයතනයේ නම සඳහන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සාම්පල සීයක් ශීතාගාරය තුළදීම අර්ජුන පද්මපෙරුම මහතා වෙත භාර දීමක් සිදුකළ බවය.එම සාම්පල ඖෂධ අංක එකේ සිට සියය තෙක් ඔවුන් විසින් අංකනය කළ අතර ඉන් අනතුරුව සෘජුෆෝම් පෙට්ටියකට අසුරා, එය කාඩ්බෝඩ් පෙට්ටියකට ඇතුළත් කළ අතර data logger එකක් ක්‍රියාත්මක කර ඊට ඇතුළත් කර මුද්‍රා තැබීමක් සිදුකළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
රිටොප්සි මැබ් ඖෂධ සීයයක්ද එලෙසම ඇසුරුම් කර මුද්‍රා තැබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
අදාළ සාම්පල වෛද්‍ය සැපයුම් ඒකකයේ freezer රථයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය අතර ජර්මනිය බලා රැගෙන යාමට ගුවන් සමාගමට භාර දීම සිදුකළ බවද ඒවා danger cargo ලෙස රැගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගෙන තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
ජර්මනියට ගොස් අදාළ සාම්පල රේගුවෙන් නිෂ්කාශනය කිරීමෙන් අනතුරුව මුද්‍රා විවර කිරීමකින් තොරවම ලබා ගත් අතර ඒවා ජර්මනියේ සහ ග්‍රීමන්වල පිහිටි GMPB රසායනාගාරයට රැගෙන ගොස් භාරදීමක් සිදුකළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
එම අවස්ථාවේදී මුද්‍රා තැබූ පෙට්ටියක තිබූ සාම්පල පෙට්ටියක් සාක්ෂිකරුට පෙන්වා සිටි අතර එය විමර්ශනයේදී ඉන්දියාවට රැගෙන යාමට භාරගත් රිටොප්සි මැබ් ඉන්ජෙක්ෂන් ලෙස සාක්ෂිකරු හඳුනා ගැනීමක් කළේය.
තවත් සාම්පල පෙට්ටියක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ එය ජර්මනියට රැගෙන ගිය සාම්පලවල කන්ඩ අංකයට ම අයත් එකක් බවය.
විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉන්දියාවට ගොස් live ealth biotech pharma private limited ආයතනයේ නියෝජිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර එම සටහන් තමන්ට හඳුනාගත හැකි බවද, විමර්ශනවලදී ඒවා තමන් භාරයට ගත් බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
ඒ සමගම එම සාක්ෂිකරු ගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විසින් අධිකරණයට දන්වා සිටියාය.
ඉන් අනතුරුව පළමුවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
මෙම නඩුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන පළමු පැමිණිලි ලෙස 2023/10/02 දින ලිඛිත පැමිණිලි දෙකක් ලැබුණු අතර පැමිණිල්ල සිදුකළ ජෙරාඩ් පෙරේරාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදුකළ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
ඔක්තෝම්බර් මස 13 වැනි දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නියෝග ලබාගත් බවද ලේඛන හා සාක්ෂි පිළිබඳව විමර්ශනයක් සිදුකළ බවද එහිදී WOR ලේඛන හඳුනා ගැනීමක් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
එහිදීට WOR සහතික වල මුල් පිටපත් නොලැබුණු අතර ආයතනය කිහිපයකට අදාළව නිකුත් කළ පිටපත් ලැබුණු බව සාක්ෂිකරු කියා සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ල සමග ඉදිරිපත් කළ ලේඛන සම්බන්ධයෙන් විමර්ශනවලදී සොයා බැලූ බවත්, අදාල ඖෂධ සම්බන්ධයෙන් වන ලේඛන ජාතික ඖෂධ නියාමන අධිකාරියටත් ජාතික ඖෂධ තත්ත්ව රසායන පර්යේෂණාගාරයටත් යොමු කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
විමර්ශන ආරම්භ කරන විටත් එම රසායනාගාරය විසින් අදාළ පරීක්ෂණ සිදු කර නොතිබූ අතර සාම්පල ලැබෙන අනුපිළිවෙල අනුව අදාළ සාම්පල පරීක්ෂා කිරීම් එම රසායනාගාරය විසින් සිදුකරන බවද විශේෂ තත්ත්වයන් හඳුනා ගෙන වගකිවයුතු ආයතන විසින් දැනුම් දීමක් කළහොත් පමණක් විශේෂයෙන් පරීක්ෂාවන් සිදු කරන බවට තොරතුරු අනාවරණය වූ බවද සාක්ෂිකරු කියා සිටියේය
"2023 /10/31 පළමු වන චූදිත අත්අඩංගුවට ගත් බව ඔබ කිව්වා නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු සමග ඒ සඳහා තමන් සහභාගි වූ බවය.
පළමු වන චූදිත කොල්ලුපිටියට එන බවට දැනුම් දෙමින් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දී තිබූ අතර ඒ බව ස්ථානාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බව සාක්ෂිකරු සඳහන් කළේය
"එහිදී පළමු වන චූදිත කළ බව කියන දේ ගැන ඔබට වැටහීමක් නෑ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "නෑ ස්වාමීනි, ඔහු කතා කළ බව ස්ථානාධිපති කිව්වා. අවස්ථා දෙකකදී ඔහු කතා කළ බව කිව්වා" යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
පළමුවන චූදිත එම දුරකථන ඇමතුම් ලබා දුන්නේ කුමන ස්ථානයක සිටද යන්න පිළිබඳව සොයා බැලීමක් නොකළ බවද එවැනි සොයා බැලීමක් කිරීමේ අවශ්‍යතාවයක් නොවූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"බරගත් ඖෂධ කොපමණ ප්‍රමාණයක් රෝහල් පද්ධතියට බෙදා තිබෙනවාද කියා සොයා බැලුවාද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ පිළිබඳව සොයා බැලීමක් කළ බවත්, ඊට අදාළ වාර්තා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ඍජුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් යොමු කළ අතර එහි පිටපත් තම ආයතනය වෙතද යොමු කළ තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
භාවිතා නොකළ ඖෂධ කොපමණ ප්‍රමාණයක් තිබුණාද යන්න පිළිබඳව ලේඛන පරීක්ෂා කර බැලීමකින් තොරව ප්‍රකාශයක් කර නොහැකි බව සාක්ෂිකරු කියා සිටියේය .
"විමර්ශනවලදී රෝහල්වල විසිර තිබූ ඖෂධ එක තැනකට ගැනීමට අදාළ නියෝගයක් ගත්තද ?"යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ 2023/11/05 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට එවැනි නියෝගයක් ලබා ගත් බවය.
එහිදී නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ප්‍රවාහනයේදී කිසිදු අවස්ථාවක data loger භාවිතා කර නොමැති බවට කරුණු අනාවරණය කරගත් බවය.
එහෙත් ශීතදාමය ආරක්ෂාව වන පරිදි ඖෂධ රැගෙන යාමේ ක්‍රමවේදයන් තිබූ බවද, වෛද්‍ය සැපයුම් ඒකකයේ ලොරි රථ ඒ සඳහා භාවිතා කළ බව ද සඳහන් කළ සාක්ෂිකරු ඒ සඳහා පුද්ගලික අංශයේ ලොරි යොදාගත් බවට තොරතුරු අනාවරණය නොවූ බව සඳහන් කළේය.
"ජර්මනියට ඖෂධ ගෙන යාමේදී ඔබේ වගකීම කුමක්ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී අදාළ ඖෂධ භාර ගැනීම සහ මුද්‍රා තැබීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
එම ඖෂධ භාරගෙන ඇසුරුම් කරන අවස්ථාවේදී පළමු වන විත්තිකරු නොසිටි අතර එම ස්ථානයේ මාණ්ඩලික නිළධාරියෙකු නොසිටි බවත් සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ජර්මනියට ගෙනයාම සඳහා ලබාගත් රිටොප්සි මැබ් ඖෂධ සියය අංක හය ගබඩාවේම තිබූ ඒවා බව අනාවරණය කරගත් අතර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ කරාපිටිය රෝහලින් ලබාගත් ඒවා බව අනාවරණය වූ බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
"එම සාම්පල අංකනය කිරීමේදී එකින් එක පරීක්ෂා කර බැලීමක් ඔබ සිදු කළාද ?"යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එම සාම්පල මා ඉදිරියේ අංකනය කළා. එහිදී මම එම පෙට්ටි දැක්කා. ඒවා කිසිම අවස්ථාවක විවෘත කර තිබුණේ නෑ. පෙට්ටි විවෘත නොකර තමයි අංකනය කළේ "යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
සීදූවේ පිහිටි අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය නිරීක්ෂණය කිරීමට සෝදිසි වරෙන්තුවක් දෙවන වරට ද ලබා ගත් අතර එම කටයුත්තට පළමු වන චූදිත රැගෙන එහි ගිය බව ද සාක්ෂිකරු කියා සිටියේය.
එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර එම ආයතනය සඳහා ජී.එම්.පී සහතිකයක් නොතිබූ බව අනාවරණය වූ පවතින සාක්ෂිකරු සඳහන් කළේය.
"ස්ථානීය පරීක්ෂාවට යා යුතු බවට ඔබ තීරණය කළේ ඇයි ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "එම ආයතනය ඖෂධ නිෂ්පාදනය කර තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එම පරීක්ෂා කිරීම සිදුකළ බව" සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී ගොඩනැගිලි ප්‍රමාණය සැකැස්ම පිළිබඳව අවධානය යොමු කළ බවට සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
"ජර්මනියේ රසායනාගාරයට ඖෂධ භාර දීමේදී data loger ගැන වාර්තාවක් ඉල්ලා සිටියාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි වාර්තාවක් ලබා නොගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ස්වාමීනි, data loger දෙක පමණයි රසායනාගාරයෙන් දුන්නේ. බාර ගැනීමේදී ඒවා නිසි උෂ්ණත්වයේ තිබූ බවට ඔවුන් ප්‍රකාශ කළා. ඒ බව මා සටහන් කර ගත්තා."යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළ අවස්ථාවේදී " ඒක වාචික දැනුම් දීමක්ද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් "එය වාචික දැනුම් දීමක්.එම අවස්ථාවේදී මගේ ජංගම දුරකථයෙන් එහි ඡායාරූප ලබාගත්තා."
යන පිළිතුර සාක්ෂිකරු ලබා දුන්නේය
එම විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
"ඔබ මේ නඩුවේ දෙවන චූදිත කපිල වික්‍රමනායක සම්බන්ධය විමර්ශනය කටයුතු කළාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි විමර්ශනයක් සිදුකළ බවය.
"2022 /01/03 වෙනිදා සිට 2022 /12/15 දින දක්වා ඔහු විදේශගත වී බවට කරුණු අනාවරණයක් වුණාද ?"
යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එම කරුණු තහවුරු වීමක් සිදුවූ බව ප්‍රකාශ කළේය
එම කාලය තුළදී සිදුවූ ප්‍රසම්පාදන කටයුත්තක් පිළිබඳව විමර්ශනයක් සිදුකළ අතර Hsepc කමිටුව විසින් කළ ප්‍රසම්පාදනයකට අදාළව ඖෂධ මිලදී ගැනීම් සඳහා ලන්සු කැඳවා තිබූ අතර ඒ සඳහා ලන්සු අටසීයයක් හෝ නවසීයයක් ලැබුණු බවද සාක්ෂිකරු කියා සිටියේය
අදාළ කමිටුවේ සාමාජිකයින් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, භාණ්ඩාගාරය නියෝජනය කරමින් අතුල කුමාර මහතා සහ එවකට spc ආයතනය සභාපතිවරයා කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
spc සභාපතිවරයා මෙම නඩුවට අදාළ සාක්ෂි ලැයිස්තුවේ සිටින නමුත් මෙතෙක් ඔහුගෙන් සාක්ෂි මෙහෙයවීමක් සිදුකර නොමැති බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
අදාළ කමිටුවට පහළින් ඇගයීම් කමිටුවක් තිබූ අතර අවසානාත්මක තීරණය HSEPC කමිටුව විසින් නිකුත් කරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
තමන් විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට පිළිතුරු දීම මගහරිමින් කටයුතු කරන බවට සාක්ෂිකරුට යෝජනාවක් නීතිඥවරයා විසින් කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන බව සාක්ෂිකරු ප්‍රකාශ කර සිටියේය.
"දෙවන චූදිත විදේශ ගතව සිටි කාලයේදී මෙම කමිටුව විසින් ඖෂධ වර්ග 170 වකට අදාළව ප්‍රසම්පාදන තීරණ ලබාදී තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි අනුමැතියක් ලබාදී තිබූ අතර ඖෂධ දෙකක් මෙම නඩුවට සම්බන්ධ බව සඳහන් කළේය.
"2022 දෙසැම්බර් 16 වැනිදා ගන්න සැපයුම් ඒකකයේ රාජකාරී නැවතත් ආරම්භ කළ දෙවන චූදිත නොවැම්බර් 6 වෙනිදා වන විට විදේශගතව සිටි බව විමර්ශනවලදී තහවුරු කරගත්තා ද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටි එවැනි කරුණු අනාවරණය කර ගැනීමක් සිදුකළ බවය.
"අදාළ සාම්පල ලබා ගනීමේදී එක් එක් ගොනු පරීක්ෂා කර බලා ලේඛන භාර ගැනීමක් සිදු කළාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් " නෑ ස්වාමීනි අදාළ ඖෂධ ආනයනය කර තිබෙනවාද යන්න පිළිබඳව පමණක් විමසීමක් කළා" යන පිළිතුර ලබා දුන්නේය.
වෛද්‍ය සැපයුම් ඒකක ලිපිකරුවකු වූ නිහාල් රංජිත් නමැත්තා පළමු වන චූදිත සමග දුරකථන සංවාද පවත්වා ඇති බවට නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී එම පුද්ගලයාගෙන් ඒ පිළිබඳව ප්‍රකාශ ලබාගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
විමර්ශනවලදී වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගත් නමුත් මෙම නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා මෙතෙක් ඔහු කැඳවා නොමැති බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
"මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ කට උත්තර ලබා ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගැනීමක් සිදු කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මාලිගාකන්ද අධිකරණයේ නඩුව යන අතර වාරයේදී නීතිපති උපදෙස් ලබා ගැනීමට අවසර ලබාදුන් බවය.
ඒ අනුව අදාළ උපදෙස් ලබාගත් බවද අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රකාශ සටහන් කර ගැනීම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත සිදුකළ බවද ඔහු කියා සිටියේය.
ඖෂධ 145ක ඇතුළත් ලැයිස්තුවෙන් මෙම ඖෂධ දෙක ලියාපදිංචි නොවූ සැපයුම් කරුවකුගේ වන අතර ලියාපදිංචි වූ ඖෂධ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
දෙවෙනි චූදිතට අභියාචනාධිකරණ නියෝගයක් මත ඇප ලබා දුන් බවට නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ එම නියෝගය තවදුරටත් බලාත්මක නොවන බවය. මහාධිකරණය විසින් ලබාදුන් ඇප නියෝග මත ඔහු මුදා හැර සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී සඳහන් කළාය.
දෙවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න යොමු කිරීමෙන් අනතුරුව පස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
නීතිඥවරයා: ඔබ තමයි මෙම නඩුවට අදාළ සියලු විමර්ශන කටයුතු සිදු කළේ?
සාක්ෂිකරු: විමර්ශන කටයුතු කළා ස්වාමීනි
නීතිඥවරයා: එම විමර්ශනයේදී ඔබ ඉදිරිපත් කර තොරතුරු මත තමයි නීතිපති දෙපාර්තමේන්තුව අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කළේ?
සාක්ෂිකරු :එසේය ස්වාමීනි
නීතිඥවරයා: එම අධි චෝදනා පිළිබඳව අවබෝධයක් ඔබට අවබෝධයක් තිබෙනවාද?
සාක්ෂිකරු :තිබෙනවා ස්වාමීනී.
නීතිඥවරයා: මේ අධිචෝදනා පත්‍රයේ ඖෂධ වර්ග කීයක් තිබෙනවාද?
සාක්ෂිකරු :දෙකක් තිබෙනවා ස්වාමීනි
නීතිඥවරයා :මේ නඩුවේ පස්වෙනි විත්තිකරු සිද්ධියට අදාළව කුමන අංශයද කටයුතු කළේ?
සාක්ෂිකරු :ඔහු තොග පාලන අංශයේ තෝග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළා.
නීතිඥවරයා :තොග භාර ගැනීම සහ බෙදාහැරීම යනුවෙන් තොග පාලන අංශයේ කොටස් දෙකක් ඇති බව විමර්ශනවලදී ඔබ අනාවරණය කර ගන්න ඇතිනේ? මෙම පස්වන විත්තිකරු එහි කුමන අංශයද සේවය කළේ?
සාක්ෂිකරු: ඔහු භාණ්ඩ ලබා ගැනීමේ අංශය සේවය කළ බව අනාවරණය වුණා ස්වාමීනි
මෙම නඩුවේ පළමුවන විත්තිකරු හැර සෙසු විත්තිකරුවන්ට ඇත්තේ කුමන්ත්‍රණය සහ අනුබලය දීම යන චෝදනාවන් බව පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අධි චෝදනා පත්‍රය ගොනු කළේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් බවය.
"එහිදී ඖෂධ දෙකක් සම්බන්ධයෙන් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "චෝදනා ගොනු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකරන්නේ .ඊට අදාළ සාක්ෂි දීම තමයි මා කරන්නේ "යනුවෙන් යනුවෙන් සඳහන් කළේය.
"පස්වන විත්තිකරු රිටොප්සි මැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ දෙකම සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
මෙහිදී අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වවරිය විරෝධය පළ කළාය.
රිටොප්සි මැබ් ඖෂධ සම්බන්ධයෙන් පස්වන විත්තිකරු කටයුතු කළ බවක් විමර්ශනවලදී අනාවරණය නොවූ අතර ඖෂධ භාර ගැනීමේ ක්‍රියාවලියේ වෙනසක් තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
ඔහු ලේඛන පරීක්ෂා කිරීමකින් තොරව අදාළ භාණ්ඩ භාරගෙන තිබූ අතර රිටොප්මැබ් ඖෂධ භාර ගැනීම සිදුකළ තොග පාලක නිලධාරීවරයා අදාල ලේඛන පරීක්ෂා කර බලා එම ඖෂධ භාර ගැනීම සිදුකළ බව විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
"මෙම ඖෂධය තොගය ලබාදිය යුතු දිනය ප්‍රමාද වී ලබාදීම හේතුවෙන් සහකාර අධ්‍යක්ෂවරියගේ උපදෙස් ලබා ගැනීමට පස්වන විත්තිකරු කටයුතු කර තිබෙනවා නේදැ"යි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එලෙස උපදෙස් ලබා ගැනීමක් සිදුකර ඇති නමුත් WOR ඇතුළු ලේඛන වල ඇති අඩුපාඩු සම්බන්ධයෙන් එහිදී දැනුවත් කිරීමක් කර නොමැති බව නීතිඥ සාක්ෂිකරු කියා සිටියේය.
රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීම සිදුකර ඇත්තේ ඒවා ලබාදිය යුතු දිනය පමාවී තිබියදී නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මාස තුනක කාලයකට තොග තබාගත යුතු බවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී තිබූ උපදේශය අනුව අදාළ තොගය භාර ගැනීමට එම තොග පාලක නිලධාරීවරයා සහ සහකාර අධ්‍යක්ෂවරිය කටයුතු කළ බවට තොරතුරු අනාවරණය වූ බවය.
"තොග පාලන නිලධාරීවරයාට ඉහළින් නිලධාරීන් කිහිපදෙනෙකු සිටින අතර පහළ මට්ටමේ නිලධාරියෙකුට තනි තීරණ ගැනීමට නොහැකි බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ සහකාර අධ්‍යක්‍ෂකවරියට එම තීරණය ගැනීමට හැකියාව තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවය.
භාර ගැනීමේ දිනය කල් ඉකුත් වූ පසුව තොග භාරගන්නා ලෙස කිසිදු අවස්ථාවක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙසක් ලබාදී නොමැති බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කලින් ලබාදී තිබූ උපදෙස අනුව deliver schedule එකක් පසු වී තිබූ ඖෂධ ලබා ගැනීමේදී නැවත අවසර ලබා ගැනීමක් සිදු නොකළ බව අනාවරණය කරගත් බව ය.
මේ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න



