ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරියා ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා පැමිණිල්ලේ 339 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සිදු කළේය.
2013 වසරේදී පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2021 ජනවාරි පළමුවෙනි දින වල අනුයුක්ත වූ බව ඔහු සඳහන් කළේය.
ඒ අතරතුර කාලයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ සහ කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ බව ඔහු සඳහන් කළේය.
"ඔබ ලේඛනගත අපරාධ සම්බන්ධ විමර්ශනය කරන කටයුතු කර තිබෙනවාදැයි" නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ලේඛනගත අපරාධ සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන වල අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් විමර්ශන සිදු කළ අතර එවැනි පන්සියයකට පමණ අදාළව විමර්ශන කටයුතු සිදුකර ඇති බවය.
2021 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ අතර පසුව එහි අධ්‍යක්ෂවරයා විසින් විශේෂ විමර්ශන අංශය අංක එකට යොමු කළ බව සාක්ෂිකරු කියා සිටියේය

"අංක එක විශේෂ විමර්ශන අංශය කියන්නේ කුමක්ද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "සංවේදී සිදුවීම් සහ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කරන අංශය එලෙස හඳුන්වන බවය.එම අංශයේ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස සම්බන්ධ විමර්ශන කටයුතු විමර්ශන නිලධාරියකු ලෙස කටයුතු කළ බව ද එවැනි විමර්ශන දහයක් පමණ සිදු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඒ සඳහා අනෙක් නිලධාරීන්ගේ සහයෝගය ලැබෙනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ස්ථානාධිපතිවරයා විසින් නිලධාරීන් යොමු කිරීමක් සිදුකරන බවය. එවිට ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අදාළ නිලධාරීන් මෙහෙයවා විමර්ශන කටයුතු සිදුකිරීම තමන් විසින් කරන බව සඳහන් කළ සාක්ෂිකරු වෙනත් විමර්ශන වලට සහාය ලබාදීම ද තමන් සිදු කළ බව කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු ඔබ සිදු කළාද ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, විමර්ශන අංක එක ස්ථානාධිපති ජයන්ත පයාගල මහතා විසින් මට මෙම විමර්ශනය භාර දුන්නා. මීට අදාළව ලිඛිත පැමිණිලි දෙකක් වාර්තා වී තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: ඒ පැමිණිලි කර තිබුණේ කවුරුන් විසින්ද?
සාක්ෂිකරු: එවකට සිටි සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික උපදේශකවරයෙකු වූ සංජීව ජෙරාඩ් පෙරේරා සහ අල්ලස දූෂණය හා නාස්තිය පිටු දෙමින් දැකීමේ සංවිධානයේ ගාමිණී කාමන්ත විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: එවකට සිටි සෞඛ්‍ය ඇමතිවරයා කවුද?
සාක්ෂිකරු: කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහු මෙම නඩුවේ විත්තිකරු අටවෙනි විත්තිකරු ලෙස රෝද පුටුවේ වාඩිවී සිටින පුද්ගලයායි.
මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අත් අඩංගුවට ගැනීමක් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
අදාළ පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව තමන් අධ්‍යයනය කළ බවත් එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සැපයීමේදී අක්‍රමිකතාවයක් සිදු වූ බවට කරුණු අදාළ පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ බවත් සාක්‍ෂිකරු කියා සිටියේය.
එම සැපයීම් සිදුකිරීම සම්බන්ධයෙන් අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී යනුවෙන් ඇති ආයතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගය කුමක්දැයි " නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ සැපයීම ප්‍රසම්පාදනයකින් කරන ලද්දක් බවට කරුණු අනාවරණය වූ අතර ඊට අදාළව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන අංශයේ, වෛද්‍ය සැපයුම් ඒකකයේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇති ලිපි ගොනු ලබා ගැනීමට අදාළව බී වාර්තාවක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව ය.
"ඒ කාලය අතරතුර තවත් පැමිණිලි ලැබුනාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ව සිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් 2022 ඔක්තෝම්බර් මස තුන් වැනිදා ඊට අදාළව පැමිණිල්ලක් සිදුකළ බවය.
පසුව ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවත් ඔහු මෙම නඩුවේ දොළොස් වෙන විත්තිකරු ලෙස අධිකරණයේ සිටින බවටත් සාක්ෂිකරු විසින් හඳුනා ගැනීමක් කළේය.
"ඔහු කළ පැමිණිල්ල සමග ලැබුණු ලේඛන තිබුණාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරුට පිළිතුරු දෙමින් සඳහන් කළේ මේ ඖෂධය සැපයීමට අදාළව WOR සහතිකයේ පිටපතක් සහ එම එන්නත් ජාතික රෝහලේ රෝගීන්ට ලබාදීමේදී ඇතිවූ සංකූලතා පිළිබඳ වාර්තාවල පිටපත් ඒ සමග ලැබුණු බවය.
"WOR ගැන ලැබුණේ මේ පැමිණිල්ල විතරද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ඊට පෙර පළමු වන පැමිණිල්ල කළ අවස්ථාවේදීත් එහි පිටපතක් ලැබී තිබු බව ය.
එම WOR වල පිටපත් වෛද්‍ය සැපයුම් අංශයේ ගොනු දෙකක තිබූ බවද එම ඒකකයේ තොග පාලන අංශයේ භාර ගැනීම් සිදුකළ තොග පාලන නිලධාරියා විසින් එක් ගොනුවක් පවත්වාගෙන ගොස් ඇති බවද, අනෙක් ගොනුව එහි අධ්‍යක්ෂවරයා විසින් පවත්වා ගෙන ගොස් ඇති බවද සඳහන් කළ සාක්ෂිකරු එම අධ්‍යක්ෂවරයා වන කපිල වික්‍රමනායක වන ස්ථානාධිපති ජයන්ත පයාගල මහතා විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තමන් ද එම රාජකාරියට සම්බන්ධ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
අධ්‍යක්ෂවරයා විසින් අදාළ සැපයුම්කරුට ගෙවීම් කිරීමට අදාලව පවත්වාගෙන ගිය ගොනුවක් සැපයුම් ගණධිකාරී අංශයේ තිබී සොයාගත් අතර එය මෙම නඩුවේ පැ 134 ලෙස ලකුණු කර ඇති බව තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
අදාළ ලේඛන මුල් පැමිණිලි කරුවන් විසින් එවන ලද පැමිණිල්ලේ ද ඇතුළත්ව තිබූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එහිදී විරෝධයක් මතුකරමින් නීතිඥ අසේල සේරසිංහ මහතා විමසා සිටියේ මුල් පැමිණිලිකරුවන් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස කැඳවා නොමැති අතර ඔවුන් සාක්ෂිය සඳහා කැඳවීම පැමිණිල්ලේ රාජකාරියක් වන බවය. පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ පැමිණිල්ලට අවශ්‍ය වුවහොත් අදාළ මුල් පැමිණිලි කරුවන් සාක්ෂියට කැඳවීමේ හැකියාව ඇති බවය.
"ඔබ මුල් පැමිණිලි දෙකක් ගැන සඳහන් කළා මෙම WOR ලේඛනය තිබුනේ කුමන පැමිණිල්ලේ ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේ දී සාක්ෂිකරු සඳහන් කළේ , සංජීව ජෙරාඩ් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ එම ලේඛන තිබූ බවය.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනයට WOR නිකුත් කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් විශේෂ ක්‍රමවේදයක් යටතේ සිදුකර තිබූ බවද අනාවරණය කරගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් එවන ලද ලිපි ලේඛන තමන් විසින් විමර්ශනයට ලක් කළ අතර අදාළ සංකූලතා සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයාට සහ NMQAL ආයතනයේ අධ්‍යක්ෂකවරයා දැනුවත් කර තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
මෙවැනි සංකූලතා වාර්තා වූ විට කඩිනමින් පියවර ගත යුතු ආයතනය කුමක්ද යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු නමුත් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ විසින් එවැනි පියවර ගැනීමක් කර තිබූ බවට විමර්ශනවලදී අනාවරණය නොවූ බවය .
එහෙත් NMQAL හි අධ්‍යක්‍ෂ විසින් අදාළ සාම්පල පරීක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
ජාතික ඖෂධ ඖෂධ අධිකාරියේ ඇති සෆ්රැක් කමිටුවට මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු විශේෂඥයින්ගෙන් සමන්විත එම කමිටුව විසින් මෙම ඖෂධ සම්බන්ධයෙන් ගත යුතු පියවර තීරණය කරන බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
"මේ සම්බන්ධයෙන් සෆ්රැක් කමිටුවට දැනුවත් කර තිබුණාද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි දැනුම්දීමක් කර නොතිබූ බවය.
එම කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතාට වාර්තා වූ සංකූලතා අනුව අදාළ ඖෂධය ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බව අනාවරණය වූ බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා වාර්තා වූ සංකූලතා ගැන පියවර ගත් බවට තොරතුරු ලැබුණද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැන්නක් පිළිබඳව කරුණු අනාවරණය නොවූ බවය.
අදාළ සංකූලතා වාර්තාවූ බවට ඇති ලිපි කට්ටලය සාක්ෂිකරු විසින් අධිකරණය හමුවේ හඳුනාගනු ලැබීය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සැපයීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමක් විමර්ශන වලදී සිදු කරගත් අතර ඊට අදාළව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වන මාර්ගෝපදේශ පැහැදිලි කර ගැනීම සඳහා ඖෂධ සැපයීම් නිෂ්පාදනය සහ නියාමනය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමන් රත්නායක මහතාගේ ප්‍රකාශයක් මුදල් අමාත්‍යාංශයේ මංජුල මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගත් බව සාක්ෂිකරු කියා සිටියේය.

2022 මාර්තු මස ඉන්දියානු යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන දෙසීයක් ලැබී ඇති බවට කරුණු අනාවරණය වූ බවද, ඊට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබූ අතර ඉන්දියානු යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වන්නේ කෙසේද යන්න පිළිබඳව මාර්ගෝපදේශවල සඳහන් වූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කමිටු මොනවාද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අනු කමිටුවක් වෛද්‍ය වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පිහිටුවා කටයුතු කළ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
අදාල අනුකමිටුවේ සාකච්ඡා සටහන් සහ ලේඛන තමන් විසින් භාර ගැනීමක් කළ අතර ප්‍රධාන කමිටුවේ සාකච්ඡා සටහන් ලේඛන වෙළඳ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් ලබා ගැනීමක් සිදුකළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"රාජ්‍ය ඖෂධ නිෂ්පාදන හා නියාමන අංශයෙන් අදාළ ගොනු ලැබුණාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඖෂධ නිෂ්පාදන හා නියාමන අංශයේ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා විසින් ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගෙන් ඡායා පිටපත් ගොනුවක්ලබා ගැනීම සිදුකළ බවය. ඊට අදාළ සම්පූර්ණ ගොනූව අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ලබා ගත් අතර ඔහු අත්අඩංගුවට ගැනීම ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ බවද ඔහු මෙම නඩුවේ දහවන විත්තිකරු ලෙස අධිකරණය හමුවේ සිටින බවට ද සාක්ෂිකරු කියා සිටියේය.
වෛද්‍ය ජයනාත් බුත්පිටිය මාස තුනකට නිවාඩු ලබා ගෙන විදේශ ගත ව ඇති බව දැන ගත් අතර ඔහු මේ වන තෙක් යළි නොපැමිණි බව සාක්ෂිකරු කියා සිටියේය
"සම්මත ප්‍රසම්පාදන ක්‍රමයෙන් පරිබාහිරව සෞඛ්‍ය අංශය හදිසි ප්‍රසම්පාදන ක්‍රමයක් තිබූ බවට තොරතුරු අනාවරණය කරගත්තේ කෙසේද?යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සම්මත ප්‍රසම්පාදන ක්‍රමය යන්න භාවිතා කරමින් ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව නීතිඥ අමිත ආරියරත්න මහතා එහිදී අධිකරණයට දන්වා සිටියේය.
සම්මත යන වචනයේ විරුද්ධාර්ථය අසම්මතය බවත් මෙලෙස ප්‍රශ්න ඇසීම තුළින් සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමය පරිබාහිරව කරන ලද සියලු ම ප්‍රසම්පාදනයන් අසම්මත බවට හැඟවීමක් කරන බවත් නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළේය.
එහිදී විනිසුරු මඩුල්ල දන්වා සිටියේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය යනුවෙන් භාවිතා කරමින් ප්‍රශ්න විමසීම සිදුකරන ලෙස ය.
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් නැවත ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේ දී ඒ පිළිබඳව තමන් සොයා බැලූ බවත් එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි අටවන චූදිත විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයකට අනුව ඊට අදාළව ඉල්ලීමක් කර තිබූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
"එම ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටිය අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සඳහා මුදල් අමාත්‍යංශයෙන් නිර්දේශ ඉල්ලා තිබූ බවය . අමාත්‍යාංශ හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වාදීම 2022 /07 /16 වන විට ක්‍රියාත්මක විය යුතු බවට පත් සඳහන්ව තිබූ බවට කරුණු අනාවරණය කරගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
"එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක විය යුතු බවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබුණේ මොන කොන්දේසි යටතේද" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරින් විමසා සිටිය අවස්ථාවේදී හදිසි අත්‍යවශ්‍ය උපකරණ සහ ලබා ගැනීමට අදාළ එම මාර්ගෝපදේශ නිකුත් කර තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය .ඊට ඖෂධ ඇතුළත් නොවන බවද ඔහු සඳහන් කළේය.
"ගැනුම් ඇනවුම නිකුත් කරන ආයතනය කුමක්ද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රසම්පාදන අස්ථිතිය ලෙස හඳුන්වන බවය.
මෙම නඩුවට සම්බන්ධ ඖෂධ මිලදී ගැනීමේදී සම්මත ප්‍රසම්පාදන ක්‍රමයෙන් පරිබාහිරව කටයුතු කර ඇති බවට අනාවරණය කරගත් බව ද එහිදී EOI යටතේ මිලදී ගැනීම සිදුකර ඇති බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
EOI ක්‍රමවේදය භාවිතා කිරීමට අදාළව සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැමිණි බවට සාක්ෂි අනාවරණය වූ අතර මෙම ක්‍රමය භාවිතා වීම සම්බන්ධයෙන් අදාළ ලේඛන ඉදිරිපත් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
එම අවස්ථාවේදී නීතිඥ නයන්ත විජේසුන්දර මහතා විරෝධය පළ කරමින් එම රැස්වීම සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති බවට කරන ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළ කළේය. ස්වාමීනී එවැන්නක් සාක්ෂි වලින් අනාවරණය වූයේ නෑ.ඒ නිසා මේ ප්‍රකාශයට මා විරුද්ධ වෙනවා "යනුවෙන් නීතිඥවරයා සඳහන් කළේය.
අදාළ ඖෂධ සැපයීම සඳහා වන ප්‍රදානය අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනයට ලබා දි තිබූ නමුත් ගැනුම් ඇනවුම නිකුත් කිරීම සහ චෙක් පත් නිකුත් කිරීම අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී යනුවෙන් ඇති කේවල ව්‍යාපාරයකට කර ඇති බවට කරුණු විමර්ශන වලදී අනාවරණය කර ගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
අදාළ ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ වයල් 22500ක් ලබාදීම සඳහා ටෙන්ඩරය ප්‍රදානය කර තිබූ අතර අවස්ථා කිහිපයකදී invoice 14 ක් යටතේ වයල් 3985ක් සැපයීම සැපයීමට එම කේවල ව්‍යාපාරය කටයුතු කර තිබූ බවද,
ඊට සමානුපාතිකව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිර ප්ලාස්මා මිලදී ගැනීමක් එම ව්‍යාපාරයේ අයිතිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු විසින් සිදුකර තිබූ බව අනාවරණය කරගත් බවද සාක්ෂිකරු සඳහන් කළේය.
මෙම ආයතනය මඟින් රිටොප්සි මැබ් ඖෂධ සැපයීමක් invoice හතරක් යටතේ අවස්ථා දෙකකදී සිදු කර ඇති බව
කර ඇති බව පසුව අනාවරණය කරගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම සැපයීම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකර තිබුණාද?
සාක්ෂිකරු: නෑ ස්වාමීනි එය වෙනම ක්‍රමවේදයක් යටතේ සිදුකර තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම ඖෂධ ඉන්දියානු යෝජනා ක්‍රමය යටතේ නොවන ක්‍රමයකින් සපයා තිබුනේ කෙසේද?
සාක්ෂිකරු: එය කැබිනට් පේපර් එකකින් සිදු කර තිබුණා සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රසම්පාදනය යටතේ සිදුකර තිබුණා. එම කටයුතු ඇගයීම් කිරීමට ඇගයීම් කමිටුවක් පත්කර තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මිනිට් සටහන් යටතේ EOI යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ප්‍රසම්පාදනය යටතේ මෙම ඖෂධය මිලදී ගත්තා කියලා තිබුණද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී
EOI යටතේ ඖෂධ 285ක ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ප්‍රකාශ කර තිබූ නමුත් ඊට අදාළ ඇනවුම් ලැයිස්තු සකස් කර නොතිබූ බවද , ඒ සඳහා ඖෂධ තෝරාගෙන ඉන්පසු අදාළ ඇනවුම් ලැයිස්තු නිකුත් කර ඇති බව අනාවරණය කරගත් බවද සාක්ෂිකරු සඳහන් කළේය.
ඒ සඳහා වූ ඇඟයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ජයනාත් බුත්පිටිය කටයුතු කළ බවද ඔහු මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරමින් මාළිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමක් කළ පවතින සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එම ඖෂධ 285න් ඖෂධ 158ක් සඳහා වෛද්‍ය සැපයුම් ඒකෙන් ගැනුම් ඇනවුම් නිකුත් කර ඇති බව සොයාගත බවද
ඉන් ඖෂධ හතළිස් පහක් විමර්ශන ආරම්භ කරන විට ලැබී තිබුණු බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව සුදත් ජානක ප්‍රනාන්දු ට අයත් සීදුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කිරීම සඳහා ගිය බවද විදුලි බලය නොමැති වීම නිසා එම කටයුතු නිසි පරිදි කළ නොහැකි වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
අනතුරුව ඒ සඳහා නිලධාරීන් කිහිප දෙනෙකු සහ පළමුවන විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු ඊට සහභාගී කරවීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයා වෙත මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය. එම ස්ථානයේ ඖෂධ නිෂ්පාදනය කරනවාද යන්න විමර්ශනය කිරීම සඳහා අදාළ කිරීම කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න



