The Leader News
BREAKING
ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●
Top Ad
Opinion

නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම

නව ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතක් යළි පාර්ලිමේන්තුවට පැමිණ ඇති මොහොතක, මෙරට මර්දන නීති සම්ප්‍රදාය සහ මහජන ප්‍රතිරෝධයේ වැදගත්කම විමසන නැවත කියවීමක්.

Pasan

Pasan

October 8, 2026 • 7:40 PM

නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (2019 මාර්තු 17 වැනිදා 'අනිද්දා' පත්‍රයේ ‘සමකය’ විශේෂාංගයේ සහ jdslanka.org හි පළවූ ලිපියකි) පාර්ලිමේන්තු පාරේ 'ප්‍රජාතන්ත්‍රවාදී' බැටන් ප්‍රහාරය නව ත්‍රස්ත මර්දන පනතට විරෝධය පාන්නට පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණය කළ සරසවි සිසුන්ට කැරලි මර්දන පොලිස් බලඇණි එළව එළවා පහර දුන්නෝය.
  • ත්‍රස්තවාදය මැඩලීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී උද්‍යෝගය පාර්ලිමේන්තු පාරේදීම ප්‍රදර්ශනය කිරීම හැම අතින්ම සංකේතාත්මක ය.
  • විනාඩි 90න් සම්මත වූ 1947 මර්දන උරුමය මර්දන අණ පනත් ගැන ලංකාවේ උරුමය ලොව පතළ එකක් බැව් ඉතිහාසය විචාරන්නෝ දනිති.
  • සමස්ත මහා වැඩ වර්ජනය මැඩලනු පිණිස විනාඩි 90කින් සම්මත කරගත් මහජන ආරක්ෂක පනත දක්වාම මේ කීර්තිමත් උරුමය දිව යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

(2019 මාර්තු 17 වැනිදා 'අනිද්දා' පත්‍රයේ ‘සමකය’ විශේෂාංගයේ සහ jdslanka.org හි පළවූ ලිපියකි)

පාර්ලිමේන්තු පාරේ 'ප්‍රජාතන්ත්‍රවාදී' බැටන් ප්‍රහාරය

නව ත්‍රස්ත මර්දන පනතට විරෝධය පාන්නට පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණය කළ සරසවි සිසුන්ට කැරලි මර්දන පොලිස් බලඇණි එළව එළවා පහර දුන්නෝය.

විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ශිෂ්‍යයාට බිම හෙළා බැටන් පහර දී කමිස කොලරයෙන් ඇදගෙන යන පොලිස් නිලධාරීන්ගේ වික්‍රමාන්විත සේයා රූ හා වීඩියෝ දසුන් සවස් වරුව වනවිට තැන තැන පළ වී තිබිණ.

මේ ලියන මොහොත වනවිටත් ඔහු පසුවන්නේ අත්අඩංගුවේ ය. ත්‍රස්තවාදය මැඩලීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී උද්‍යෝගය පාර්ලිමේන්තු පාරේදීම ප්‍රදර්ශනය කිරීම හැම අතින්ම සංකේතාත්මක ය.


විනාඩි 90න් සම්මත වූ 1947 මර්දන උරුමය

මර්දන අණ පනත් ගැන ලංකාවේ උරුමය ලොව පතළ එකක් බැව් ඉතිහාසය විචාරන්නෝ දනිති. 1947 සමස්ත මහා වැඩ වර්ජනය මැඩලනු පිණිස විනාඩි 90කින් සම්මත කරගත් මහජන ආරක්ෂක පනත දක්වාම මේ කීර්තිමත් උරුමය දිව යයි.

නඩු විභාගවලින් තොරව රඳවා තබා ගැනීමටත්, විශේෂ අධිකරණ පිහිටුවීමේ බලයට අමතරව, ආණ්ඩුවේ කැමැත්ත අනුව ව්‍යවස්ථාව විසින් සම්පාදිත විධිවිධාන හැර අනෙක් ඕනෑම නීතියක් යටපත් කිරීමට හෝ සංශෝධනය කිරීමටත් ලංකාවේ පාලකයන් උගත්තේ තම බ්‍රිතාන්‍ය ස්වාමිපුත්‍රයන්ගේ අතහිත ඇතුව සම්පාදනය කොටගත් ඒ පනතේ ආධාරයෙනි.

ප්‍රජාතන්ත්‍රික වරමකින් හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත් එක්සත් ජාතික පක්ෂය, අවශ්‍ය වුවහොත් ඒ වරම දුන් ජනයා මැඩලනු පිණිස, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය මඟින් නීතියේ නිත්‍ය අංගයක් බවට පත් කරගන්නා ලද්දේ ඒ මහජන ආරක්ෂක පනතෙන් රාජ්‍යයට සපයා දුන් යටකී ව්‍යතිරේකී මර්දන බලයයි.

1979දී ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ ‘තාවකාලික’ පනත මඟින් තවදුරටත් සවිබල ගන්වා එතැන් සිට හතළිස් අවුරුද්දක් තිස්සේ චිරස්ථායී කොට පවත්වාගෙන යන ලද ඒ මර්දන බලය නොසෑහෙන හෙයින් දැන් තවත් පියවරක් පෙරට ය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස වැඩිදියුණු කළ බවට කොළඹ සිවිල් සමාජ ප්‍රභූන් ද උදම් අනන අලුත් ත්‍රස්ත මර්දන පනත වනාහී එහි ප්‍රතිඵලයකි.


ජයවර්ධනගේ ජාත්‍යන්තර ආදර්ශ සහ විජිතවාදී අණපනත්

ඕනෑ නම් පරණ ත්‍රස්ත පනත ද එවකට පැවැති ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් පාඩම් උගෙන සකස් කරන ලදැයි ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයන්ට කියන්නට පුළුවන. එය බොරු යැයි සිතන්නෝ වෙත්නම් තත්කාලීන දකුණු අප්‍රිකානු හා බ්‍රිතාන්‍ය ත්‍රස්ත විරෝධී නීති රෙගුලාසි විමසා බැලීම සෑහේ.

වර්ණභේදවාදී පිළිවෙත්වලට එරෙහිව වැඩෙන අප්‍රිකානු කෝපය යටපත් කරනු පිණිසත්, ඉංග්‍රීසි විජිතවාදයට එරෙහිව උතුරුදිග අයර්ලන්තයේ මහජන විරෝධය මැඩලනු පිණිසත් යටකී රටවල් පිටුබල සපයාගන්නා ලද්දේ එකී මර්දන රෙගුලාසි මඟිනි.

පරණ ත්‍රස්ත මර්දන පනත ගෙන ආ ජයවර්ධන නීතිමය පූර්වාදර්ශ සපයාගත්තේත්, කැරලි මර්දන යුද ක්‍රියා පිළිබඳ ප්‍රායෝගික උපදෙස් සපයාගත්තේත් ඒ ‘ජාත්‍යන්තර මිතුරන්’ විසින් ස්ථාපිත කළ ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි ය.


ත්‍රස්තවාදය යනු කුමක්දැයි තීරණය කරන්නේ කවුද?

ඒ ඉතිහාස කතාව විසින් කියාදෙන වැදගත් මූලධාර්මික ඇත්තක් තිබේ. ඒ මෙයයි:

ත්‍රස්තවාදය වන්නේ කුමක් ද, නොවන්නේ කුමක් ද යන්න නිර්වචනය කෙරෙන්නේ රාජ්‍යයේ මර්දන බලය අභ්‍යාස කරන්නන් විසිනි.

වැඩ වර්ජනයකට සහභාගී වන කම්කරුවන් ද, විරෝධතාවකට එක්වන ශිෂ්‍යයන් ද, මහජාතික අධිකාරයට යටත් නොවන කුඩා ජාතික හා ආගමික ප්‍රජාවන් ද, අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලන ගොවීන් ද, විරුද්ධ මතධාරී දේශපාලන ක්‍රියාධරයන්, බුද්ධිමතුන් හා මාධ්‍යවේදීන් ද යනාදී ඕනෑම තරාතිරමක අයෙක් මේ කියන ත්‍රස්ත බලවේගයක් ලෙස අර්ථකථනය කිරීමේ බලය අතීතයේදී ආණ්ඩු බලය දැරූවන්ට හිමි වූයේ ඒ අනුව ය.

ත්‍රස්ත විරෝධී නීති රෙගුලාසි අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදය කුමක්දැයි නිර්වචනය කොට, ඊට එරෙහිව මර්දන බලය දියත් කිරීම පවත්නා ‘නීති රාමුව’ට අනුකූල බව පෙන්වනු පිණිස ය. සාමාන්‍ය නීතියෙන් ඔබ්බට ගොස් රජය විසින් සපයා ගන්නා ව්‍යතිරේකී දණ්ඩන බලය රටේ නීතියෙහි නිත්‍ය අංගයක් බවට පත්කළ හැක්කේ ඒ මඟිනි.

දහඅට මාසයක් චෝදනා රහිතව රඳවා තබා ගැනීමටත්, දේපළ රාජසන්තක කරගැනීමටත්, පක්ෂ හා සංවිධාන තහනම් කිරීමටත්, පොලිස් හා හමුදා ක්‍රෑරත්වය දණ්ඩමුක්තියෙන් වසන් කිරීමටත්, මරණ පරීක්ෂණවලින් තොරව මළසිරුරු විනාශ කිරීමටත් අතීත ආණ්ඩු වලට හැකි වූයේ මෙකී ත්‍රස්ත මර්දන නීති රෙගුලාසි විසින් සපයන ලද නීතිමය ආවරණයේ පිහිටෙනි.


රාජ්‍ය මර්දනයට එරෙහි මහජන විරෝධයේ ප්‍රමිතිය

ප්‍රජාතන්ත්‍රවාදී පදනම් ආරක්ෂා වන්නේ රාජ්‍යයේ පළල් වන මර්දන බලය සීමා කිරීමට අවශ්‍ය ප්‍රතිබලය මහජන විරෝධයන් මඟින් ගොඩනැංවීමෙන් බව වටහා ගන්නට නීතිය පිළිබඳ විශාරදයකු වන්නට අවශ්‍ය නොවේ.

දැන් තොරොම්බල් කෙරෙන ‘ජාත්‍යන්තර ප්‍රමිතීන්ට’ අනුව සැකසී ඇතැයි කියන අවශේෂ රටවල ත්‍රස්ත විරෝධී නීති රෙගුලාසිවලට එරෙහිව එම රටවලින් පැනනගින මහජන විරෝධයන් ගැන විමසා බැලීමට අවශ්‍ය සරල දේශපාලන සාක්ෂරතාව ඊට හොඳටම සෑහේ. 2017 නොවැම්බරයේ සිට බලාත්මක වූ ප්‍රංශයේ නව ත්‍රස්ත මර්දන නීති රෙගුලාසි ගැනත්, 2018 ජූනි මාසයේදී නිවේදනය කළ නව බ්‍රිතාන්‍ය ත්‍රස්ත විරෝධී පනත ගැනත්, 2018 ඔක්තෝබරයේදී ගෙන ආ ඕස්ට්‍රේලියානු නව ත්‍රස්ත මර්දන රෙගුලාසි ගැනත් ඒ ඒ රටවල වැඩෙන මහජන විරෝධය හා සාකච්ඡාවන් විසින් පෙන්නුම් කරන්නේ ත්‍රස්තවාදය මැඩලීමට යැයි ගෙන එන නීති අණපනත්වලට පමණක් නොව, එකී මර්දනකාරී අධිකාරයට විරුද්ධ මහජන විරෝධයන් විසින් ගොඩනැංවූ ජාත්‍යන්තර ප්‍රමිතීන් ද ඇති බව ය.

පාර්ලිමේන්තු පාරේ විරෝධය පෑ සරසවි සිසු - සිසුවියන් විසින් ජීවමාන කරන ලද්දේ මේ දෙවනුව කී ප්‍රමිතීන් අනුයන මහජන විරෝධයේ පූර්වාදර්ශයන් ය.


අමතක කළ නොහැකි ඓතිහාසික අනතුර

හතළිස් අවුරුද්දක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිතවලින් උගත් ත්‍රස්ත මර්දනය ගැන රාජ්‍ය පිළිවෙත් පිළිබඳ පාඩම දියවන්නාවේ ගිල්වා අලුත් පනතක් සඳහා දිවිහිමියෙන් කැපවන්නට ඕනෑනම් පුළුවන.

එහෙත් ඒ පසුපසින් හඹා එන නව මිනිස් සංහාරයන් සඳහා ද ජාත්‍යන්තර ප්‍රමිතීන් නිර්මාණය කරන්නට ලංකාව සමත් වූ බව අමතක කිරීම මරණීය විපාක ගෙන එනු ඇත.


(සටහන | රෝහිත භාෂණ අබේවර්ධන)
මාධ්‍යවේදී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...