සැකකරුවන් පනස් හතර දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර එම සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධ පූර්ණ වාර්තාවක් සති තුනකදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
එම සිද්ධිය ට අදාළව අත් අඩංගුවට ගත් සැකකරුවකු වන තණබාලන් සුවිශ්වරන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිඥවරිය මේ බව දැනුම් දුන්නා ය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිරිහාන පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති .
මෙම සිද්ධියට පෙත්සම්කරු සෘජුවම සම්බන්ධ නොමැති අතර ඔහු නීතියට පටහැනිව අත්අඩංගුවට ගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අමිසා ටීගල් කියා සිටියාය.
මේ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජය නීතිඥවරිය කියා සිටියේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් දැනට ඇපමත මුදාහැර සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් ය.
ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය මාස තුනක් ඇතුළත වාර්තා කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ සඳහා අවසර ලබා දීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com




