ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී අධිකරණ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කළ පළමු සමූහ මිනීවල වන්නේ මෙයයි.
ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් හි සමුහ මිනී වලක් ඇති බවට සැක කෙරෙන භුමියේ කැනීම් කටයුතු 2026 මාර්තු 30 වැනි සඳුදා ආරම්භ කර ඇත්තේ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ හා වෛද්‍ය සහ නීති විශේෂඥයන් එකොලොස් දෙනකුගේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් සහභාගිත්වයෙනි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දිනපතාම උදෑසන 10 සිට රාත්‍රි 8 දක්වා කාලය තුළ එම කණ්ඩායම විසින් ඉදිරි දින වලදී කැනීම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බවයි. වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජාබීර් රාසි මොහොමඩ් සඳුදා (30) පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ හදුනාගත් භුමියේ මීටර් 5 ක් දිගින් හා පළලින් යුතුව අඩු 9 ක ගැඹුරට කැනීම් කටයුතු සිදු කිරීමට නියමිත බවයි.
"දැනටමත් හඳුනාගත් ස්ථානයේ, රේඩාර් සමීක්ෂණය මත පදනම්ව, පොළව යට යම් කැළඹීමක් ඇති බව හඳුනාගෙන වාර්තා කරලා තිබුනා. ඒ අනුව, උසාවියේ අවසරය ඇතිව මෙම ප්‍රදේශය පළමු අදියර ලෙස තෝරාගෙන එම ප්‍රදේශයේ මීටර් 5 ක් දිග, මීටර් 5 ක් පළල සහ අඩි 9 ක් ගැඹුරට කැනීම් කිරීමට තිරණය කරලා අද සිට කැනීම් කටයුතු ආරම්භ කරලා තියනවා."
කුරුක්කල්මඩම් සමුහ මිනී වලේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 28 ක මුදල් ඇස්තමේන්තුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ 2025 සැප්තැම්බර් 23 වැනි දිනයි.
ඒ පිලිබඳ මුලික නඩු විභාගය 2026 මාර්තු 9 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ යළි විභාගයට ගැනීමෙන් අනතුරුව මාර්තු 30 වැනිදා සමුහ සුසානයේ පළමු අදියරේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුනි.
ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී කැනීම් ආරම්භ කළ පළමු සමූහ මිනීවල මෙය වන්නේය. මීට ඉහතදී උතුරේත්, කොළඹත්, සාම්පුර්හිත්, මාතලේත් එවැනි විමර්ශන ආරම්භ කෙරුනේ අහම්බයකින් මිනිස් ඇටකටු මතුවීමෙන් අනතුරුවයි.
සමුහ මිනී වළක් ඇති බව පැවසෙන එම ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස 2025 අගෝස්තු 25 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් රජයේ නිලධාරීන්ට නියෝග කර තිබුනි.
දශක තුන හමාරකට ඉහත දී සිදු වු එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.
2014 සංචාරක අධිකරණයේ
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 1990 වසරේ හජ් වන්දනාව අවසන් කර කාත්තන්කුඩිය වෙත පැමිණෙමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමුල ඝාතනය කර කුරුක්කල්මඩම්හි වළ දමා ඇති බවට ප්‍රදේශවාසියකු වන අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් කලවංචිකුඩ් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව 2014 දී කලවංචිකුඩි සංචාරක අධිකරණයේ නඩුවක් ගොනු කර තිබු බවයි.
එම නඩුව 2014 වසරේ ජුලි 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ සමුල ඝාතනය කළ පිරිස වළ දමා ඇති බවට සාධාරණ සැකයක් පවතින භුමිය කැනීම් කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස විනිසුරු ඒ.එම් රියාල් නියෝග කළත් එම කටයුතු සිදු නොවු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් සිය නීතිඥයන් මාර්ගයෙන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද මෝසමක් මත පදනම්ව එකොලොස් වසරකට පසුව 2025 ජුලි 11 වැනි දින සිට විවෘත අධිකරණයේදී මෙම නඩුව යළි විභාගයට ගැනීම ආරම්භ කර තිබුනි.





