ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බ්‍රහස්පතින්දා (16) මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත්තේ තරුණයකු වටකරගත් පොලිස් භට පිරිසක් ඔහුට බිම වැටෙන තුරු බැටන් පොලුවලින් හා පයින් ගසනු දැක්වෙන දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව ස්වාධීන විමර්ශනයක් කිරීමට තීරණය කළ බවයි.
“පැමිණිල්ලක් ලැබී නැතත්, වීඩියෝ එක සහ අන්තර්ජාලයේ තිබෙන වෙනත් තොරතුරු ආශ්‍රයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට අපි තීරණය කළා,” යි නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි මානව හිමිකම් නිලධාරියකු පැවසීය.

පහරදීමෙන් අනතුරුව තරුණයා ජීප් රථයක පටවාගෙන වවුනියාව පොලිස් ස්ථානයට ගෙනගොස් කිසිදු ප්‍රකාශයක් නොගෙනම ආපසු එවා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
ජාතුසන් නම් එම තරුණයා පොලිස් ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ දෙමළ සිංහල අලුත් අවුරුදු දා රාත්‍රියේ වවුනියාව නගර සභා පිටියේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් සිටියදී ය.
ඔහු ඇතුළු තවත් තරුණයන් කිහිපදෙනකුටම පොලිසිය පහර දුන් බව පවසන සිද්ධිය ඇසින් දුටුවෝ, ප්‍රසිද්ධියට පත් වූයේ වීඩියෝ ගතකෙරුණු එකම ප්‍රචණ්ඩත්වය පමණක් බව අවධාරණය කරති.
පොලිස් හිංසනය හෙලාදකින වෙංගල්චෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවේ උප සභාපති දේවසගායම් සිවානන්දරාසා අදාළ නිලධාරීන්ගේ වැඩ වහාම අත්හිටුවා අත්අඩංගුවට ගන්නා ලෙස බලකර සිටී.
දුරකතනයෙන් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ වවුනියාව පොලිසියේ නිලධාරීන් කොළඹින් කතා කළ මාධ්‍යවේදීන්ට නියම කර ඇත්තේ පොලිස් ස්ථානයට පැමිණ විස්තර ලබාගන්නා ලෙසයි.
පොලිස් මාධ්‍ය ඒකකය හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර නැත.




