The Leader News
BREAKING
උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●
Top Ad
පුවත්

ගල් අඟුරු 'චෝදනා' ගැන කියන්න පාරවල් දෙකක් විවෘත කර දෙයි

T

The Leader Desk

April 17, 2026 • 4:39 PM

ගල් අඟුරු 'චෝදනා' ගැන කියන්න පාරවල් දෙකක් විවෘත කර දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට නිසි බලතල සහිත අධිකාරිත්වයකින් යුත් ආයතන දෙකක් හඳුන්වා දී ඇතැයි අමාත්‍ය විජිත හේරත් පවසයි.
  • ඔහු එබව කියා සිටියේ අද (17) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනටමත් සිදු කරමින් පවතින විමර්ශන සඳහා කරුණු ඉදිරිපත් කිරීමට සහ අද (17) පිහිටුවන ලද පූර්ණ බලැති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යන ආයතන දෙක එම කරුණු ඉදිරිපත් කිරීම සඳහා විවෘතව පවතින බව ඇමතිවරයා කියා සිටියේය.
  • විශේෂයෙන් ම, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස මේ වනවිටත් සක්‍රිය සේවයේ යෙදී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කළ බව මෙම මාධ්‍ය හමුවේ දී හෙළි කරනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අදාළ කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට නිසි බලතල සහිත අධිකාරිත්වයකින් යුත් ආයතන දෙකක් හඳුන්වා දී ඇතැයි අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහු එබව කියා සිටියේ අද (17) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනටමත් සිදු කරමින් පවතින විමර්ශන සඳහා කරුණු ඉදිරිපත් කිරීමට සහ අද (17) පිහිටුවන ලද පූර්ණ බලැති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යන ආයතන දෙක එම කරුණු ඉදිරිපත් කිරීම සඳහා විවෘතව පවතින බව ඇමතිවරයා කියා සිටියේය.

විශේෂයෙන් ම, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස මේ වනවිටත් සක්‍රිය සේවයේ යෙදී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කළ බව මෙම මාධ්‍ය හමුවේ දී හෙළි කරනු ලැබීය.

මේ අනුව, ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකු හට, සංවිධානයකට හෝ දේශපාලන පක්ෂ නියෝජිතයින් හට තමන් සතුව පවතින ගල් අඟුරු ආනයනය සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ හැකි බව ඇමතිවරයා අවධාරණය කරනු ලැබීය.

 විශාල ගෝෂාවක් කරමින් මේ දක්වා කටයුතු කළ විපක්ෂය මහජනතාවට වගකියන විපක්ෂයක් නම් තව දුරටත් මාධ්‍ය සන්දර්ශන නොපවත්වා කටයුතු කිරීමේ පුළුල් ඉඩකඩ මෙම ආයතන දෙක තුළින් විවෘත කර දී ඇතැයි ද අමාත්‍ය විජිත හේරත් වැඩි දුරටත් පැවසිය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත්,

"ගල්අඟුරු ආනයනයේ දී කිසිදු වංචාවක් සිදුකළේ නෑ. රජයක් ලෙස අපි වගකීමෙන් කියනවා''
 
"ගල්අඟුරු ආනයනයේ දී කිසිදු වංචාවක් සිදුකළේ නෑ. රජයක් ලෙස අපි වගකීමෙන් කියනවා. නමුත් අපි පිළිගන්නවා ඒ ගෙන්වූ ගල්අඟුරුවල තත්ත්වය යම් බාල මට්ටමක තිබුණ කියන එක. ඒක අපි ඉතා විවෘතව ජනතාවට දැනුම් දුන්නා.

සියලු පරීක්ෂණ සිදුකරන්නේ ඒ අදාළ පර්යේෂණාගාරවල. ඒවා සියල්ල පසුකරමින් මේ ක්‍රියාවලිය සිද්ධ කරේ. නමුත් පාවිච්චියට ගන්න කොට  උපදවන විදුලි ධාරිතාවයේ යම් අඩුවක් තියෙනවා කියන එක නිරීක්ෂණය වුණා.

ඒ හැර කිසිදු ආකාරයක ඇමතිවරයාගේ සෘජු සම්බන්ධයක් මත හෝ වෙනත් අයගේ සෘජු සම්බන්ධතාවයක් මත දූෂණයක්, වංචාවක් සිද්ධ වුණා කියලා මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් තහවුරු වෙලා නෑ.

ගල්අඟුරු ගෙන්වන සමාගම් එක්ක මොනවහරි ඩීල් දාලා වැරදි විදිහට මේවා ගෙනාවා කියලා...එහෙම කිසිම දෙයක් නැහැ. ඉතා වගකීමෙන් කියනවා.

ඇත්තටම මේ කමිටු ප්‍රසම්පාදන කමිටු. ඒවා රජයේ නිලධාරීන්ගෙන් යුක්ත කමිටු. ජාතික ප්‍රසම්පාදන කොමිසම. ඒවා ස්වාධීනව කටයුතු කරන්නේ. ඒවායේ නිර්දේශවලට අනුකූලව තමයි මේ ගල්අඟුරු ආනයනය සිද්ධ කරලා තියෙන්නේ.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීරණය කළා, මේ පිළිබඳ විගණන පරීක්ෂණයක් කරලා විගණන වාර්තාවක් ලබාගත යුතුයි කියලා.

ඒ විගණන වාර්තාවේ කිසිම තැනක ඇමතිවරයා මෙතන ගල්අඟුරු ගෙන්වීමේදී වංචාවක්, දූෂණයක් කරා කියලා කිසියම් ආකාරයක සඳහනක් වත් නෑ.

ඒ නිසා යම් පාඩුවක් වුණා කියන එක පමණයි. ඒ නිසා විගණන වාර්තාවේ හරි පැහැදිලිව සනාථ කරලා තියෙනවා ඇමතිවරයා සම්බන්ධ වෙලා වංචාවක් සිදු කරේ නැහැ කියලා" යැයි පැවසීය.

 පූර්ණ බලැති ජනාධිපති කොමිසම

ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර දිසානායක විසින් 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන අනුව කොමිෂන් සභාවක් පත්කරනු ලැබ තිබේ.

මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග කටයුතු කරන අතර, සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න පත් කරනු ලැබ සිටිති.

මෙම කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.වී බන්දුලසේන පත් කරනු ලැබ ඇත.

එම කොමිෂමට,

  • ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සිදු වී ඇත්ද, නැද්ද යන වග සහ එමගින් රජයට මූල්‍යමය හානියක් සිදුව ඇත්නම් එය තක්සේරු කිරීමත්,

  • අදාළ කාලය තුළ නිසි ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කර ඇත්ද, නැද්ද යන වග සහ ප්‍රසම්පාදන ක්‍රියාදාමය, සැපයුම් ක්‍රියාදාමය, තත්ත්ව පරීක්ෂණ ක්‍රියාදාමය, මෙහෙයුම් ක්‍රියාදාමය සහ උපයෝගීතා ක්‍රියාදාමය ඇතුළු සමස්ත සම්බන්ධිත ක්‍රියාදාමයන් විමර්ශනයට ලක් කිරීමත්,

  • ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් විදුලි ජනනය කිරීමේදී විදුලි ජනන මට්ටම අපේක්ෂිත ඵලදායී ආකාරයට සිදු වී ඇත්ද, නැද්ද යන වග සොයා බැලීමත්,

  • ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කරන ලද්දේ නම් එම ගල්අඟුරු භාවිතා කර විදුලි බල උත්පාදන ක්‍රියාවලිය තුළදී නෛතික සහ මූල්‍යමය අක්‍රමිකතා / නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්ද, නැද්ද යන වග විමසා බැලීමත්,

  • මෙකී ක්‍රියාදාමය තුළ සිදු කරන ලද ප්‍රකාශිත / හෝ කොන්දේසි කඩ කිරීම් සිදු වී ඇත්ද, නැද්ද යන වග සහ එලෙස සිදු වී ඇත්නම් එකී කඩවීම්වලට එරෙහිව ගෙවීම් අත්හිටුවීම / හෝ වෙනත් හානි පූර්ණ ක්‍රියාදමයන් අනුගමනය කර ඇත්ද, නැද්ද යන වග විමසා බැලීමත්,

  • ඉහත ආකාරයේ සිදුවීම් සිදුවී ඇත්නම් ඒ සඳහා වගකිව යුතු දේශපාලන අධිකාරින්, රජයේ නිලධාරීන්, සී/ස ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගමේ නිලධාරීන් හා සැපයුම්කරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය යෝජනා කිරීමත්,

  • එසේ සිදුවී ඇතැයි කියන අකටයුතුකම් හෝ නීති විරෝධි ක්‍රියා අනාගතයේදී සිදුවීම වළක්වා නිසි සුපිළිපන්න භාවය තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීමත්,


ඉහත සඳහන් කරුණුවලට අමතරව ගල්අඟුරු ආනයනය කර විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවී ඇතැයි වාර්තා විය හැකි වෙනත් අකටයුතුකම් හෝ නීති විරෝධි ක්‍රියා සම්බන්ධව වාර්තා කිරීම සහ එවැනි තත්වයන් සිදුවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග විමර්ශනය කිරීම වාර්තා කිරීමත් කාර්යයන් ලෙස පවරනු ලැබ තිබේ.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...