The Leader News
BREAKING
බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●
Top Ad
පුවත්

බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්

T

The Leader Desk

April 19, 2026 • 8:37 AM

බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඇමති ධුරයෙන් අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීම සැලකෙනුයේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම භාර ගැනීමක් වන බවය.
  • කෙසේ නමුත් ජනාධිපති කොමිසමක වැඩ කටයුතු සඳහා අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපාන බවත් එය ව්‍යාජ හේතුවක් බවත් ඒකාබද්ධ විපක්ෂය අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ.
  • මෙම ගල්අඟුරු සම්බන්ධව කොන්ත්‍රාත්තුව ලබා දෙන විට අදාළ සමාගම ලියාපදිංචි කර නොතිබූ බවත් එවන් සමාගමකට කොන්ත්‍රාත්තුව භාර දීමේ තීරණයේ සාමුහික වගකීම බාරගත යුතු බවත් අදාළ ලිපිය මගින් දන්වා තිබේ.
  • ඒකාබද්ධ විපක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශය 2026 අප්‍රේල් 19 ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීම සැලකෙන්නේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම බාරගැනීමය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඇමති ධුරයෙන් අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීම සැලකෙනුයේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම භාර ගැනීමක් වන බවය.

කෙසේ නමුත් ජනාධිපති කොමිසමක වැඩ කටයුතු සඳහා අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපාන බවත් එය ව්‍යාජ හේතුවක් බවත් ඒකාබද්ධ විපක්ෂය අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ.

මෙම ගල්අඟුරු සම්බන්ධව කොන්ත්‍රාත්තුව ලබා දෙන විට අදාළ සමාගම ලියාපදිංචි කර නොතිබූ බවත් එවන් සමාගමකට කොන්ත්‍රාත්තුව භාර දීමේ තීරණයේ සාමුහික වගකීම බාරගත යුතු බවත් අදාළ ලිපිය මගින් දන්වා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශය
2026 අප්‍රේල් 19

 

ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීම සැලකෙන්නේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම බාරගැනීමය. එය වැදගත් කරුණකි. මෙය නොවැදගත්, සිල්ලර කරුණක් සම්බන්ධයෙන් සිදුවූවක් නොවේ. භාර ධූර, උග්‍ර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමන් අතින් වරදක් හෝ දෝශයක් හෝ සිදුවීමේ වගකීම බාරගැනීම ඉල්ලා අස්වීමෙන් සංකේතාත්මකව සනිටුහන් කෙරෙයි. මෙය විශාල පියවරකි.

 

වත්මන් මාලිමා රජය ස්ථාපිත වීමෙන් පසු මෙවැනි ක්‍රියාදාමයක් සිදුවූයේ ප්‍රථම වතාවටය. මේ සම්බන්ධයෙන් කිසිඳු වැදගම්මකට නැති නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් ඵලක් නැත.

ජනාධිපති කොමිසමක වැඩ කටයුතුවලට ඇමතිවරයෙකුගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපායි. එය ව්‍යාජ හේතුවකි.

ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙයට වගකිව යුත්තේ අමාත්‍යවරයා පමණක් ද යන්නය. වගකීම අමාත්‍යවරයාට පවරා සමස්ථයක් ලෙස අතසෝදා ගැනීමට රජයට ඉඩක් නොලැබේ. අමාත්‍යවරයාට පමණක් හුදු වගකීම ආරෝපණය කිරීම කිසිසේත් සාධාරණ වන්නේ ද නැත.

 

ගල් අඟුරු කොන්ත්‍රාත්තුව බාරදෙන විට අදාළ සමාගම ලියාපදිංචි කර තිබුණේ නැත. ලියාපදිංචි නොවූ සමාගමකට කොන්ත්‍රාත්තුව බාරදීමේ තීරණය ගත්තේ කවුරුන්ද? ඒ වගකීම සාමුහිකව බාරගත යුත්තකි.

 

ටෙන්ඩරය ලබාදීමේදී සාම්ප්‍රදාය අනුගමනය කර නැති බව ද පැහැදිලිය. යම් යටි අරමුණක් ඉෂ්ඨ කර ගැනීම සඳහා එකී ක්‍රියාදාමය අදාළ අවස්ථාවට පමණක් සංශෝධනය කර තිබීමද මෙහිදී පෙන්නුම් කරයි. තවත් පැත්තකින් සම්පූර්ණ ක්‍රියාදාමයම සමස්ථ කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

මෙහිදී මිලදී ගැනීම කර ඇත්තේ එක් නැවක් පමණක් නොවේ. නැව් රාශියකි. සියලුම නැව් වලින් පැමිණි ගල් අඟුරු ගුණාත්මකභාවයෙන් බාල බව රජය ද පිළිගනී. එහෙත් සියලුම නැව් දිගින් දිගටම බාර ගැනීම සිදු කළේය.

ගිවිසුම අනුව නැව් වලින් ගෙනෙන ලද ගුණාත්මකභාවයෙන් අඩු ගල් අඟුරු ප්‍රතික්ෂේප කිරීමේ පැහැදිලි අයිතිය ශ්‍රී ලංකා රජය සතුව පැවතුණි. ගිවිසුමේ සඳහන් ශ්‍රී ලංකා රජයට ඇති අයිතිය ක්‍රියාත්මක නොකර දිගින් දිගටම ගල් අඟුරු නැව් බාරගැනීම සමස්ථ ආණ්ඩුවේම ස්ථාවරය මිස අමාත්‍යවරයාගේ තනි තීරණය වීමට කිසිඳු ඉඩක් නැත. මෙහිදී පෙන්නුම් කරන්නේ අමාත්‍යවරයා දඩමීමා කරගෙන අනිකුත් සියලුම දෙනා සුදනන් වීමට ගත් උත්සාහයකි.  

මෙවැනි අවස්ථාවකදී ප්‍රධාන සාධකය බවට පත්වන්නේ මහජන විශ්වාසය බව පෙන්වාදීමට පුළුවන. මහජන විශ්වාසය (Public Trust) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය බලගතු තීරණයක් නිකුත් කර පවතී. සියලු වගකීම් සහ බලතල ක්‍රියාත්මක කරන්නේ ජනතාව වෙනුවෙන් බව එමගින් සහතික කෙරෙයි. ජනතා සුභසිද්ධිය මුඛ්‍ය හා ප්‍රමුඛ සාධකය වේ.

බලාත්මක නඩු තීන්දුව අනුව මහජන විශ්වාසය පළුඳු වී තිබේ නම් වන්දි ගෙවීම අනිවාර්යය යුතුකමක් වෙයි. ඒ න්‍යාය හෝ සිද්ධාන්තය හෝ ක්‍රියාත්මක කිරීමේ උචිතම අවස්ථාවක් ලෙස මේ ක්‍රියාදාමය හැඳින්විය හැකිය.

 

රජයම පිළිගන්නා ආකාරයට ගුණාත්මක බවින් අඩු බාල ගල් අඟුරු ගෙන්වීම නිසා ඉන් උද්ගතවන ආනුශංගික ප්‍රතිඵළ ගණනාවකි. බාල ගල් අඟුරු යොදවා විදුලිය බලය නිපදවීමේදී බලාත්මකභාවය අඩු බැවින් ඒ තත්ත්වය පියවා ගැනීම වෙනත් ආකාරයකට කළ යුතුව පවතී.

 

එක් පියවරක් වන්නේ දිනකට ඩීසල් ලීටර අට ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය නිපදවීමට වැය කිරීමය. ඒ නිසා ගමනාගමනය, පොහොර නිපදවීම මෙන්ම පානීය ජලය සැපයීමට යෙදවෙන ඩීසල් විශාල ප්‍රමාණයක් විදුලිය බලය නිෂ්පාදනය සඳහා වැය කිරීමට සිදුවේ.

මේ සංසිද්ධීන් මුදලින් මිල කළ හැකි වුවත් බාල් ගල් අඟුරු භාවිතා කිරීම නිසා දැනටමත් නොරොච්චෝලය ලක් විජය බලාගාරය අවට පාරිසරික හානිය  අති විශාලය. මූල්‍ය අලාභයට අමතරව පාරිසරික හානිය මධ්‍ය කාලීන සහ දිගු කාලීන ලෙස ජනතා සෞඛ්‍යයට බලපානු ඇත.

මේ පසුබිම යටතේ එක් පුද්ගලයෙකු ඉල්ලා අස් වූ පමණින් සමස්ථ ක්‍රියාදාමය වසන් කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මහජන භාරය විශ්වාසය යන සංකල්පය පදනම් කරගෙන වන්දි ගෙවීමේ අවශ්‍යතාවයද ප්‍රබලව ඉස්මතු වෙයි.

අප්‍රේල් 10 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැති විශ්වාසභංග යෝජනාවේදී රජයේ මැති - ඇමතිවරුන් 153 දෙනෙක් බලශක්ති අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ. විශ්වාසභංග යෝජනාවේදී රජයේ පාර්ශවයෙන් දිගින් දිගටම ප්‍රකාශ කෙරුණේ එය වගකීමෙන් තොර මඩ ගැසීමක් බවත්, අමාත්‍යවරයා මුළුමනින්ම නිර්දෝෂී බවත්ය.

අමාත්‍යවරයා කිසිඳු වරදක් කර නැති හෙයින් ධූරයෙන් අස් නොවන අතරම පවුරක් ආකාරයට ශක්තිමත්ව ඔහුව ආරක්ෂා කරන බවට රජයේ පාර්ශවය වෙතින් තවදුරටත් ප්‍රකාශ කෙරිණි.

 

ඒ විතරක් ද නොවේ. අවස්ථා තුනකදී පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තමාගේ හිතවත් ඇමතිවරයා ආරක්ෂා කිරීමට ප්‍රබල උත්සාහයක් ද ගත්තේය. විදුලිය බලය සහ බලශක්ති විෂය රජයක අතිශය වැදගත් කාර්යභාරයක් වෙයි. මහාභාණ්ඩාගාරය හැරුණු විට රජයක විශාලතම මුදල් ගණුදෙනුව සිදුවන්නේ මේ ස්ථානයේය. එවැනි තැනක වගකීම බාරදෙන්නේ කවුරුන්හටද? කුමාර ජයකොඩි හිටපු අමාත්‍යවරයාටය. බාරදෙනු ලබන්නේ කවුරුන්ද? ජනාධිපතිවරයාය.

 

කුමාර ජයකොඩි මහතාගේ පූර්ව ඉතිහාසය පිළිබඳ ජනාධිපතිවරයා හොඳහැටිම දනී. විධායක නිලධාරියෙකු ලෙස පොහොර සංස්ථාවේ රැකියාව කරද්දී මිලියන 6 කට වැඩි වංචාවක් සිදු කිරීම පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව ඔහුට එරෙහිව නඩුවක් පැවරුවේය. එය විපක්ෂය ගත් පියවරක් නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අල්ලස හෝ දූෂණය පිළිබඳ සොයා බැලීමේ වගකීම තිබෙන ආයතනය වංචාවක් සිදුවී තිබෙන බවට සෑහීමට පත්වීමෙන් පසුවය, ඒ නඩුව ගොනු කරනු ලැබුවේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ඉල්ලීම මත කොළඹ මහාධිකරණය මගින් අධිචෝදනා බාරදී මොහු ඇප මත මුදාහැර සිටින්නෙකි. ඉතිහාසය දැන දැනම ඔහු අමාත්‍යධූරයට පත්කිරීමේ වගකීම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා දැරිය යුතුය.

මීට අදාළව කේන්ද්‍රීය කරුණු රැසක්ද විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවෙන් හෙළිවෙයි. එවැනි කරුණු රාශියක් අනාවරණය වූයේ අපක්ෂපාතී විගණකාධිපතිවරයෙකු මේ කටයුත්තට අතගැසූ නිසාය. ඒ තත්ත්වය වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා නොගත් උත්සාහයක් නැති පසුබිමද අමතක කළ නොහැකිය.

කැළණිය විශ්වවිද්‍යාලයේ සිය මිත්‍රයෙකු විගණකාධිපති තනතුරට පත්කිරීම සඳහා අවස්ථා තුනකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නිර්දේශ යැවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිටි සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාට පින්සිදුවන්න ජනාධිපතිවරයාගේ ඒ උත්සාහය ව්‍යාර්ථ කෙරිණි. සිවිල් සංවිධාන නියෝජිතයෝ නිර්භීතව, කොන්ද කෙළින් තබාගෙන ජනාධිපතිවරයාගේ නිර්දේශ ඉවත දැමූහ.

 

විගණකාධිපතිවරයා රජයට හිතවත්, ආණ්ඩුවට බර අයෙකු නම් මෙවැනි වාර්තාවක් නිකුත් වන්නේ නැත. එහි අඩංගු කරුණු සමාජගත වීමක්ද සිදු නොවේ. ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ වෑයම් කරනු ලැබුවේ තම මිත්‍රයාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීම වැළැක්වීම සඳහා හිතවතෙකු විගණකාධිපති ධූරයට පත්කර ගැනීමටය. එය හිතාමතාම උද්ගතවිය හැකි තත්ත්වයට මුහුණදැමීමට පාර කැපීමකි. මේ සියලු කරුණු හමුවේ ජනාධිපතිවරයාගේ වගකීම සම්බන්ධයෙන් සුවිශේෂි ප්‍රශ්න මතු කරයි.

 

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ගැබ්ව පවතී.

විශ්වාසභංග යෝජනාව විවාද කරමින් වැඩි ඡන්දයෙන් පරාජය කර සතියකට පසුව අමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස් වූයේ ඇයි? කොමිසන් සභාවක් පත්කිරීම හෝ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් හෝ මෙතැන නැත. ඉල්ලා අස්වීමට හේතුව වූයේ සමාජයෙන් එල්ල වූ ප්‍රබල බලපෑම පමණි.

එන්න එන්නම රජයට පැහැදිලි වූ සත්‍යයක් වූයේ උද්ගතව පවතින තත්ත්වය කිසිලෙසකින්වත් සාධාරණීකරනය කළ නොහැකි බවය.  රජයේ ස්ථාවරය දිනෙන් දිනම දුර්වල වූයේය. එය පැහැදිලිවම පෙන්නුම් කල අවස්ථාවේදී ඉල්ලා අස්වීමේ තීරණය ගනු ලැබීය. ඒ තීරණයට එළැඹියේ වෙන කරන්න ප්‍රායෝගික විකල්පයක් නැති තැනය.

මේ සියලු තත්ත්ව හමුවේ රජයේ නායකයින්ගේ වත්කම් සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල කුතුහලයක් පවතී. පුද්ගලයෙකු සතුව වත්කම් තිබීම කිසිලෙසකින්වත් අපරාධයක් නොවේ.

දේශපාලනඥයින් සතු වත්කම් සොයා බලා, හාරා අවුස්සා විමර්ශනය කළ යුතු බවට ජනතාව තුළ ප්‍රබල මතයක් ඇතිකිරීමට පියවර ගත් පිරිසම ධනේෂ්වරයන් සතුව විශාල වත්කම් ප්‍රමාණයක් ඇති බවට පිළිකුලක් ඇති කිරීමට ක්‍රියා කළ ආකාරය ද අපට මතකය.

අගනුවර ජීවත්වීමට තැනක් නැති බව පවසා මාදිවෙල මන්ත්‍රී නිවාසවල ජීවත් වූ දේශපානඥයෙකුගේ කෝටි ගණනින් වත්කම් හෙළිවීම මෙරටේ කෝටිපතියන් අතර විශාල ප්‍රාග්ධනයක් පෙන්වීම බව ඉතාම පැහැදිලිය.

 

වත්මන් රජය එදා කියපු දේ සහ අද කෙරුවාව අතර විශාල පරස්පරතාවයක් පෙන්නුම් කරයි. ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවයක් ලෙස ඒ තත්ත්වය හැඳින්විය හැකිය. බලය ඉල්ලන අවස්ථාවේදී ජනතාව අතර ගොඩනැගු අපේක්ෂා සහ අද ක්‍රියාකළාපය අහසට පොළොව වැනිය. මේ තත්ත්වය පිළිබඳ ජනතාව ප්‍රබල ලෙස සංවේදීව සිටින බව සඳහන් කරුණු කැමැත්තෙමු.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...