අදාළ නියම විමර්ශනය සිද්ධ වන බවත්, එදාට මේ පැමිණිල්ල අධිකරණයට යන බවත් එහිදී සිදුවන්නේ අඟුරු කුමාරලාට හා බාල කුමාරලාට රටට කළ විපත සම්බන්ධයෙන් හිරේ විලංගුවේ ලගින්නට මිසක් වෙන දෙයක් නොවන බවත් අපි සක්සුදක් සේ දන්නා බව විමල් වීරවංශ පවසයි.
වත්මන් රජය බලයට පත්වූයේ දූෂණය සහ වංචාව පිටුදැකීමට බව පැවසුවද, අද වන විට මෙරට ඉතිහාසයේ දරුණුතම සහ සෘජු ප්‍රතිවිපාක ගෙන දෙන “ගල්අඟුරු මගඩියක” රජය නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අවධාරණය කරයි.
අද (19) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම මහා පරිමාණ මූල්‍ය අපරාධය හේතුවෙන් මෙරට පොදු ජනතාවට දැවැන්ත විදුලි බිලකට සහ ඉදිරියේදී අඳුරු අනාගතයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
'' බාල ගල්අඟුරු ගෙනා තක්කඩිකම නිසා විදුලි බිල අහසට.. නිලධාරීන් හිරගෙට... ජනතාව මහපාරට...''
අලුත් අවුරුද්ද උදා වුවද ජනතාවට උරුම වී ඇත්තේ අභියෝග කන්දරාවක් බව පෙන්වා දුන් විමල් වීරවංශ, වත්මන් විදුලි අර්බුදයට ප්‍රධානතම හේතුව “ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා” බව සඳහන් කළේය.
හොරු අල්ලන්න ආපු “ආණ්ඩුවේ හොරු” කරපු මේ බරපතල මගඩිය නිසා විදුලි ඒකකයක පිරිවැය කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. දැන් නැවතත් විදුලි බිල ඉහළ දැමීමට රජය සූදානම් වෙනවා. නලින්ද ජයතිස්සලා ඒ සඳහා “කමින් සූන්” පණිවිඩ නිකුත් කරමින් ඉන්නවා," යැයි ඔහු පැවසීය.
ටෙන්ඩර් ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදය හේතුවෙන් වාරකන් කාලය උදාවන තෙක් ගල්අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වූ බවත්, දැනට පැමිණ ඇති නැව් පවා ගොඩබා ගැනීමට නොහැකිව මුහුදේ පෝලිමේ පවතින බවත් පැවසු විමල් වීරවංශ, මේ හේතුවෙන් දිනකට ඩොලර් මිලියන ගණනින් ප්‍රමාද ගාස්තු (Demurrage) ගෙවීමට සිදුව ඇති අතර, එම බර අවසානයේ පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු වන බව කියා සිටියේය.
''නුදුරේදීම ජනතාවට කළුවරේ ඉන්නටත්, දාඩිය දමමින් පීඩා විඳින්නටත් සිදුවෙනවා''
රටේ විදුලි අවශ්‍යතාවයෙන් 40%ක් සපයන නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග නොමැති වීමෙන් ජාතික පද්ධතිය බරපතල රික්තයකට ඇද වැටී ඇති බව මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකශ කළේය.
"බාල ගල්අඟුරු පවා ගොඩබාගන්න බැරි තත්ත්වයක් තුළ, නොරොච්චෝලේ අක්‍රිය වූ විට ඇතිවන හිඩැස පිරවීමට රජයට විකල්ප නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නුදුරේදීම ජනතාවට කළුවරේ ඉන්නටත්, දාඩිය දමමින් පීඩා විඳින්නටත් සිදුවන නිල නොවන විදුලි කප්පාදුවක් දැනටමත් ආරම්භ වී තිබෙනවා," යැයි වීරවංශ මහතා පැවසීය.
එපමණක් නොව, විදුලිය නිපදවීම සඳහා ජලාශවල ජලය අසීමිතව පාවිච්චි කිරීම හේතුවෙන් නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පානීය ජල හිඟයක් මතු වී ඇති බවත්, ඉදිරියේදී ගොවියාට වගා කිරීමට වතුර නැති වන තත්ත්වයක් උදාවන බවත් ඔහු අනතුරු ඇඟවීය.
''අද රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව 'කැසිනෝ ධම්මික' යි ''
මෙහිදී වීරවංශ වඩාත් බරපතල චෝදනාවක් එල්ල කළේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙතයි. ඔහු ධම්මික පෙරේරා ව හැඳින්වුයේ වත්මන් පාලනයේ “මහමොළකරු” ලෙසයි.
ඔහු පවසන පරිදි, අද රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව “කැසිනෝ ධම්මික” නමැති ව්‍යාපාරිකයාය.
ස්පොට් ටෙන්ඩර් හරහා ගල්අඟුරු ගෙන්වීමේ මගඩිය පසුපසත්, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම පිටුපසත් සිටින්නේ මොහු බව වීරවංශ චෝදනා කළේය.
"ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහන්සි වී ජනාධිපති කළේ තමන්ගේ නායකයාව නොව කැසිනෝ ධම්මිකවයි. අද අනුර කුමාරට' ධම්මික නැතුව කිසිම පිළිසරණක් නැහැ," යැයි ඔහු උපහාසාත්මකව පැවසීය.
“මේගොල්ලෝ ආපු ගමන් කළේ “සුනිත්‍ය විදුලිය” උත්පාදනය කරන එක අධෛර්යයට පත් කරන එකයි. සුනිත්‍ය විදුලියෙන් ජාතික පද්ධතියට ගන්න තියෙන ප්‍රමාණය නොගෙන ඉන්න පටන් ගත්තා; ඉරිදට වහන්න පටන් ගත්තා. ඒ මගින් සුනිත්‍ය විදුලි බලය බිඳවැට්ටුවා. අන්තිමට “කැසිනෝ ධම්මිකගේ ඔඩොක්කුවට” සුනිත්‍ය විදුලි බලයේ ඒකාධිකාරය ගන්න පුළුවන් වෙන විදියට පිටිය සකස් කළා. කැසිනෝ ධම්මික තමයි අද මේ රට පාලනය කරන්නේ; ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකයා සහ මහමොළකරු කැසිනෝ ධම්මික.
ගල් අඟුරු ''ස්පොට් ටෙන්ඩරය” ගත්තේ ධම්මික ..
එතකොට කැසිනෝ ධම්මික තමයි “ස්පොට් ටෙන්ඩරය” ගත්තේ ගල්අඟුරු. තාම එක නැවයි ගෙනල්ලා තියෙන්නේ. ඒ නැවත් දැන් තියෙනවා ගොඩබාගන්න විදියක් නැතුව. ඒ ගල්අඟුරු මගඩියෙන් කැසිනෝ ධම්මිකට තමයි හැම ඉල්ලමක්ම පෑදෙන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවුරුදු 84ක් වයස විදේශිකයෙක් වන “පීටර් බෲක්ව” ගෙනල්ලා වාඩි කරවන්නෙත් කැසිනෝ ධම්මිකගේ උපදෙස් මතයි.
රාජ්‍ය නිලධාරීන් බිල්ලට දී “කුමාරලා” බේරෙන 'ජනාධිපති විමර්ශන කොමිසම්” මගඩිය බොරුවක්...
ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, කොමිසම් මගින් කරන්නේ වැරදිකරුවන්ගේ "කලිසම ඇන්දවීම මිස ගැලවීම නොවන" බවයි. විශේෂයෙන්ම විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉල්ලා අස්වීමට බල කිරීම නර බිල්ලක් ලබා දීමක් ලෙස ඔහු හැඳින්වීය.
"ඇමතිවරුන් කරන හොරකම්වලට අමාත්‍යාංශ ලේකම්වරයා වගකිව යුතු නැහැ. නමුත් නියම හොරුන් වන අඟුරු කුමාරලා සහ බාල කුමාරලා බේරා ගැනීම සඳහා මේ නිලධාරියා බිල්ලට දී තිබෙනවා. රජයේ නිලධාරීන්ට අප කියන්නේ, මෙවැනි හොර ඇමතිවරුන් බේරීමට තමන්ගේ වෘත්තීය ජීවිතය පාවා නොදෙන ලෙසයි."
මෙම ගල්අඟුරු මගඩියට අදාළ සියලු ලිඛිත සාක්ෂි තමන් සතු බවත්, ඉදිරි කාලයේදී ඒවා රට හමුවේ හෙළි කරන බවත් වීරවංශ මෙහිදී අවධාරණය කළේය.
රුසියාවෙන් කෙළින්ම ගල්අඟුරු ලබා ගැනීමේ අවස්ථාව ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් අහිමි කරගත් ආකාරයත්, තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට ටෙන්ඩර් ලබා දීම සඳහා කොන්දේසි වෙනස් කළ ආකාරයත් ඔහු විස්තර කළේය.
"මේ පාපයේ සාපය අද රටේ පොදු ජනතාව මත කඩාපාත් වී තිබෙනවා. කොමිසම්වලින් හිත සනසා ගන්නේ නැතිව, මේ මූල්‍ය අපරාධයට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි. මීළඟ රජයක් යටතේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශන පවත්වා අඟුරු කුමාරලාට හිරේ ලගින්නට සිදුවන බව ස්ථිරයි," යනුවෙන් පවසමින් විමල් වීරවංශ ජනතාවට ආරාධනා කළේ මෙම අසාධාරණයට එරෙහිව තමන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙසයි.




