ජනාධිපති කොමිසම හමුවට ගොස් තමන් සතු සාක්ෂි ඉදිරිපත් කරන්නැයි නව බලශක්ති ඇමැති අනුර කරුණාතිලක ධුරයේ වැඩ බාරගනිමින් අද ඉල්ලීමක් කළේය.
එසේ ලබාදෙන සාක්ෂි මත කිසිවෙකු වැරැදිකරු වන්නේ නම් එය බාරගැනීමට ආණ්ඩුව සූදානම් යැයි නව බලශක්ති ඇමැතිවරයා අවධාරණය කළේය.
අමාත්‍යාංශය හා රාජ්‍ය ආයතන හැටියට අරමුණු දෙකක් ඉලක්ක කරගෙන ක්‍රියා කළේ යැයි කී හෙතෙම ඉන්ධන හා විදුලිය ඇතුළු මහජන සේවා අඛණ්ඩව සැපයීම එහිදී ප්‍රමුඛ වී යැයි පැවැසීය.
අරමුණු අනුව යම් යම් අවස්ථාවල තීරණ ගැනීමට සිදුවන්නේ යැයි ද තීන්දුවක් ගත් පසු ඒ ගැන විවිධ කතා ගෙතිය හැකි යැයිද ඇමැතිවරයා කීය.
එහෙත් එම තීන්දුව නොගෙන විදුලිය හෝ ඉන්ධන සැපයීම නතර වී නම් මෙම විපක්ෂයම ඊට එරෙහිව කතා කරන්නේ යැයි ඔහු පැවැසීය.
ආණ්ඩුව ගත් තීන්දුව ගැන ආණ්ඩුවට විශ්වාසයක් ඇතැයි ද ගල් අඟුරු මිලදීගැනීමේදී කිසිදු වරදක් වී නැතැයි ද ඇමැති කරුණාතිලක කීවේය.
විදුලි කප්පාදුවට එරෙහිව ගත යුතු මූලික සැලසුම් හිටපු ඇමැති කුමාර ජයකොඩි ඇතුළු නිලධාරීන් සකසා ඇති බැවින් තමාට අලුතින් කරන්නට දෙයක් නැතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




