ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයත් මහා භාණ්ඩාගාරයත් අතර මුදල් පියවීමේ කටයුතුවලදී තොරතුරු හුවමාරු කරගන්නේ ඊමේල් පනිවිඩ මාර්ගය හැක් කිරීමෙන් මෙම වංචාව වී ඇතැයි ඇමැතිවරයා කීය.
කෙසේ වෙතත් අදාළ වංචාව ගැන දැනගත් අවස්ථාවේම අවශ්‍ය පියවර ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ යැයි කී හෙතෙම රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටී ඇති බවටපදනම් විරහිතව මහජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු හුවමාරු වෙන බවට චෝදනා කළේය.
මේ සන්නිවේදන කාර්යයේ නිරත වූ නිලධාරීන්ගෙත් ගැටලු තිබේදැයි සෙවීමට මහා භාණ්ඩාගාරයේ වෙනම පරීක්ෂණයක් සිදුවන්නේ යැයි ද ඒ නිර්දේශ මත විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද අනිල් ජයන්ත ප්‍රනාන්දු කීය.
මහාභාණ්ඩාගාරයෙන් ගෙවූ ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට යෑම ගැන පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කතානායකවරයාට ඊයේ ලිපියක් යොමුකර තිබුණි.
මේ සම්බන්ධයෙන් අද අදහස් දැක්වූ එම සංවිධානයේ නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මෙම සිදුවීම පදනම් කරගෙන ඉල්ලා අස්විය යුතු බවයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ධුරය දැරීමට පෙර වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුවූවෙක් යැයි කී හෙතෙම මෙම සිදුවීම ගැන සෘජුවම ඔහු කෙරෙහි සැකයක් මතුවන්නේ යැයි කීවේය.
එවැනි සැකයක් පවතින විට ඒ පුද්ගලයා මහ භාණ්ඩාගාරයේ මුල් පුටුවක සිටියදී විමර්ශනයක් නිවැරදිව කළහැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.
අනිල් ජයන්ත ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැතිවරයා කරුණු නොදැන ප්‍රකාශ නිකුත් කරන්නේ යැයි ද මහා භාණ්ඩාගරයේ නිලධාරීන් පැහැදිලිවම මෙහිදී නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇතැයි ද නීතිඥවරයා සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මෙවැනි දේශපාලන පත්වීමක් දුන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා පමණක් යැයි ද රාජ්‍ය සේවයේ කිසිම අත්දැකීමක් නැති පෞද්ගලික අංශයේ රැකියා කළ තැනැත්තන් එක්වරම රාජ්‍ය අංශයේ ඉහළම තනතුරුවලට පත්කළවිට මෙවැනි දේ සිදුවන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පැවැසීය.
මහ බැංකු හොරු අල්ලන්නට ආ ආණ්ඩුවට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන ගණනක හොරකමක් අල්ලන්නට සිදුව ඇතැයි ද ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මෙසේ ද කීය.
'දැන් පහළ සේවකයන් 3කගේ වැඩ තහනම කරලා. වහාම ලේකම්ගේ වැඩ තහනම් කළ යුතුයි. මේක ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය. ජනතාවගෙ මුදල් සාංඝික දේපළ වගේ ආරක්ෂා කරනවා කියල කිව්වෙ. ආවෙ මහ බැංකු හොරු අල්ලන්න කියල. දැන් ඩොලර් මිලියන 2.5 ගත්ත හොරව අල්ලන්න වෙලා.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




