මේ සම්බන්ධයෙන් වහාම පියවර නොගතහොත් පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම ඖෂධ හිඟය උග්‍ර විය හැකි බවද, ඉන් රෝහල්, ෆාමසි, වෛද්‍යවරුන් මෙන්ම සමස්ත සෞඛ්‍ය පද්ධතියම පීඩාවට පත්විය හැකියැයි ද ඔවුන් පෙන්වා දී තිබේ.
ගෝලීය සැපයුම් දාම පිරිවැය ඉහළ යාම, විනිමය අනුපාත පීඩනය, භාණ්ඩ ප්‍රවාහන හා ඉන්ධන වියදම් වැඩිවීම, ආනයන බලපත්‍ර සම්බන්ධ ප්‍රමාදයන්, සහ අනුකූලතා හා නිදහස් කිරීමේ වියදම් ඉහළ යාම යන කරුණු මත රට තුළට ඖෂධ අඛණ්ඩව ගෙන ඒමට අතිශය අපහසු තත්වයක් උද්ගතවී ඇතැයි ඔවුන් එම නිවේදනයේ සඳහන් කර ඇත.
ගතවූ මාස කිහිපය තුළ ඉන්ධන මිල ආසන්න වශයෙන් 38% කින් පමණ ඉහළ යාම, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 40% කට වඩා වැඩිවීම, ක්‍රියාකාරී ඖෂධ අමුද්‍රව්‍ය, ද්‍රාවක සහ ඇසුරුම් ද්‍රව්‍යවල ගෝලීය මිලද 70% ක් දක්වා වැඩිවීම, ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට එරෙහිව අවප්‍රමාණය වීම වැනි කරුණු ආනයන වියදම් තවත් ඉහළ යාමට බලපා තිබේ.
ආර්ථික හා සැපයුම් පීඩනයන්ට අමතරව බලපත්‍ර අලුත් කිරීමේ සහ මිල සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියේ ඇති ප්‍රමාදයන්ද මෙම තත්ත්වය උග්‍ර වීමට බලපා ඇති අතර ඖෂධ සැපයුම් ක්‍රියාදාමය ස්ථාවර කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එම මණ්ඩලය බලධාරින්ගෙන් ඉල්ලා තිබේ.
( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)




