The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

පාස්කු නඩුව: වැඩිමනත් ප්‍රකාශයක් කිරීමට පූජිත කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

T

The Leader Desk

April 25, 2026 • 3:55 AM

පාස්කු නඩුව:  වැඩිමනත් ප්‍රකාශයක් කිරීමට පූජිත කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් වරක් විත්තිවාචකය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නැවත වරක් එවැනි ප්‍රකාශයක් කිරීමට අවස්ථාව දීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව පෙන්වා දෙමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.
  • පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරුම් සිදු කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පති ව සිටි පූජිත ජයසුන්දර ට එරෙහිව ගොනු කර ඇති නඩුව නැවත කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණි.
  • ඔවුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින නමුත් එම සාක්ෂි කැඳවීමක් නොකරන අතර විත්තිකරු පෙර දින විත්ති කූඩුවේ සිට කරන ලද ප්‍රකාශයේදී සදහන් කිරීමට අතපසු වූ කරුණු කිහිපයක් ප්‍රකාශ කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
  • එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ විත්තිවාචකය එකක් පමණක් විය යුතු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


එක් වරක් විත්තිවාචකය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නැවත වරක් එවැනි ප්‍රකාශයක් කිරීමට අවස්ථාව දීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව පෙන්වා දෙමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරුම් සිදු කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පති ව සිටි පූජිත ජයසුන්දර ට එරෙහිව ගොනු කර ඇති නඩුව නැවත කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණි.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී නීතිඥ රොෂාන් දෙහිවල,  විනිසුරු මඩුල්ල ට දන්වා සිටියේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා සාක්ෂි ලැයිස්තුවේ නම සඳහන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, වරුණ ජයසුන්දර සහ ප්‍රියලාල් දසනායක යන මහත්වරුන්ට පෙර නඩු දිනයේදී නොතීසි නිකුත් කළ බවය.

ඔවුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින නමුත් එම සාක්ෂි කැඳවීමක් නොකරන අතර විත්තිකරු පෙර දින විත්ති කූඩුවේ සිට කරන ලද ප්‍රකාශයේදී සදහන් කිරීමට අතපසු වූ කරුණු කිහිපයක් ප්‍රකාශ කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එවැනි ප්‍රකාශයක් කිරීම මගින් කිසිදු පාර්ශවයකට අගතියක් නොවන අතර සාධාරණ නඩු විභාගයක් සහතික කිරීම සඳහා මෙම ඉල්ලීම කරන බව නීතිඥ වරයා සදහන් කළේය.

එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ විත්තිවාචකය එකක් පමණක් විය යුතු බවය. විත්ති කූඩුවේ සිට කරන ප්‍රකාශය එකක් මිස දෙකක් හෝ තුනක් නොවන බව ද විනිසුරු ප්‍රියන්ත ලියනගේ පෙන්වා දුන්නේය. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල එහිදී නැවත සදහන් කළේ සාධාරණ නඩු විභාගයක් සහතික කිරීම සඳහා මෙම ඉල්ලීම කරන බවය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් එහිදී කියා සිටියේ, විත්තිකරු විසින් විත්ති කූඩුවේ සිට කරන ප්‍රකාශය මේ වන විට සිදු කර අවසන්ව ඇති බව ය.

අදාළ ප්‍රකාශය සිදු කර "පැවසීමට ඇත්තේ එපමණ යි" යනුවෙන් සඳහන් කරමින් එම ප්‍රකාශය අවසන් කර ඇති බව ඔහු සඳහන් කළේය.

විත්ති කූඩුවේ සිට තවත් කරුණු එකතු කරන්නේ නම් එය දෙවන ප්‍රකාශයක් වන අතර පළමු ප්‍රකාශයේ දිගුවක් නොවන බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා සදහන් කළේය.

එසේම එවැනි ප්‍රකාශයක් කිරීම සඳහා අවසර ලබා දීම නරක පූර්වාදර්ශයක් වන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර එවැනි ප්‍රකාශයක් සිදු කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බවට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එහිදී ම වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට පැයක පමණ කාලයක් අධිකරණයේ කටයුතු  කල් තබන ලදි.

නැවත අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව අදාල ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබාදෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 වසරේ නොවැම්බර් මස 05 වැනි  දින ලද නඩු තීන්දුවක් අනුව එම නඩු තීන්දුව කියවා දීම සඳහා 2026 මාර්තු මස 13 වැනි දින  මෙම නඩුව කැඳවූ බවය.


එහිදී විත්තිවාචකය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව මාර්තු මස 26 වැනිදා කැඳවීමට නියම කළ අතර ඒ අනුව විත්තිකරු විසින් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක්  එදින සිදුකරන ලද අතර ඉන් අනතුරුව ඔහු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා ලැයිස්තුවක් ද ඉදිරිපත් කළ බව විනිසුරුවරයා සඳහන් කළේය.

එම සාක්ෂි ලැයිස්තුවේ නම සඳහන් එක, දෙක, තුන  අංක දරණ සාක්ෂිකරුවන්ට නිකුත් කරන ලද සිතාසි අනුව ඔවුන් අද දින එම සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයට පැමිණ සිටි අතර  අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් සාක්ෂි නොකැඳවන බව අධිකරණයට දැනුම් දීමක් කළ බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

පෙරදින විත්තිකරු විසින් කරන ලද ප්‍රකාශයට වැඩිමනත් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටි අතර  පැමිණිලි පාර්ශවයෙන් ඊට විරෝධය පළ කළ බව ද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

විත්තිකරුවකුට කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට විත්තිකරුවකුට ව්‍යවස්ථාපිත  අයිතිවාසිකමක් නොමැති අතර  අපරාධ යුක්තිය පසිඳලීමේ  ක්‍රියාවලියේ පරිචයෙන් පැන නැගී ඇති අවස්ථාවක් පවතින බවද එය ඉංග්‍රීසි නීතිය අනුව හිමිවන බව ද ඒ බව" රැජිණ එරෙහිව බුද්ධ රක්ඛිත" සහ "රැජිණ එරෙහිව කුලරත්න" යන නඩු තීන්දුවලින් පෙන්වා දී ඇති බවද සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේය.

ඒ අනුව විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට මෙම විත්තිකරුට අවස්ථාව ඇති බව ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කියවා දුන් දිනයේ සිටම  විත්තිකරු දන්නා බවද ඒ අනුව අදාළ ප්‍රකාශය කිරීම සඳහා සූදානම් විය යුතු බවද පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා අදාළ ප්‍රකාශය ඉකුත් මාර්තු මස 13 වැනිදා සිදුකරමින් විත්තිකරු සඳහන් කර ඇත්තේ "මගේ ප්‍රකාශය අවසන් කරනවා, මට කරුණු දැක්වීමට අවස්ථාව දීම ගැන ගෞරවයෙන් ස්තූති කරනවා" යනුවෙන් සඳහන් කර ඇති බවද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව විත්තිකරු විත්තිවාචකය ඉදිරිපත් කිරීමට තමන්ට ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම භාවිතා කර ඇති බව ට විනිසුරු මඩුල්ල විසින් නිගමනය කරන ලදි.

එසේම අදාළ ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව අද දින සාක්ෂි කැඳවන තෙක්ම මෙවැනි වැඩිමනත් කරුණු දැක්වීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක්  සදහන් කරමින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමක් හෝ පැමිණිලි පාර්ශවයට දැනුම් දීමක් කර නොමැති බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

විත්ති කූඩුවේ සිට විත්තිකරුවෙකු කරන ප්‍රකාශයක් වරප්‍රසාද කිහිපයකට යටත් වන අතර එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදුකළ නොහැකි බවද විත්තිකරුවකු තමන්ගේ යහපත් චරිතය පිළිබඳව හෝ ආවේශ නොවන වෙනත් කරුණු ඉදිරිපත් කරන අවස්ථාවකදී වුවද ඒ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඉදිරිපත් කිරීමක් සිදුකළ නොහැකි බව සභාපති විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.

එසේම විත්තිකරුවකු විසින් විත්ති කූඩුවේ සිටින සිට කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ට හෝ පාලනය කිරීමට අධිකරණයට වුවද නොහැකි බව ද ,එහිදී විත්තිකරුවකු විසින් අලුත් ප්‍රකාශයක් කළහොත් එයද අධිකරණයට නැවැත්විය නොහැකි බවද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

විත්තිකරුවකුට හිමිවන මෙම වරප්‍රසාදය අව භාවිතා කිරීම වැළැක්වීම අධිකරණයේ වගකීම වන බවද, විත්තිකරුවකු විසින් භුක්ති විඳි අවස්ථාවක් ඔහුගේ කල්පනාව ට එන කරුණු නැවත, නැවත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමක් අධිකරණයට සිදුකළ නොහැකි බවද අදාළ නියෝගය ‍ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේය.

එවැනි ඉල්ලීමක් කරන්නේ කවර නිශ්චිත හේතුවක් මතද යන්න පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමක්  විත්ති පාර්ශ්වය නොකළ බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව විත්තිවාචකය ට වැඩිමනත් කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශයක් සිදු කිරීමට කළ  ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අනතුරුව මෙම නඩුවට අදාළ  සීමිත වාචික හා ලිඛිත දේශන  ලබන මැයි මස 22 වැනි දා සිදු කිරීමට නියම කෙරිණ.

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරුම් සිදු කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පති ව සිටි පූජිත ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව නඩු පවරා තිබුණි.

එම නඩු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු අතර පැමිණිලි දෙකේම සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදි.

2021 පෙබරවාරි මස 18 වැනිදා ප්‍රකාශ ට පත් කළ එම මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ නඩු තීන්දුවට එරෙහිව නීතිපති වරයා විසින් මෙම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේ ඉන් අනතුරුව ය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් මෙම අභියාචන පෙත්සම් වල තීන්දුව එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2024/11/05 දින අදාළ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනුකළ අභියාචන පෙත්සම් දෙකක් පිළිගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළ බව සදහන් කළේ ය.

  ඉතා සංකීර්ණ සිදුවීම් මාලාවක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක විත්තිවාචක නොකැඳවා විත්තිකරුවන් නිදහස් නොකළ යුතු බව අධිකරණයේ මතය බවද , මහාධිකරණය විසින් විත්ති වාචක කැඳවිය යුතු ව තිබූ බව ද තීන්දුවෙහි සඳහන් විය.

එබැවින් විත්තිවාචක කැඳවීමෙන් තොරව 2022 පෙබරවාරි මාස 18 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දෙන ලද නඩු තීන්දුව නිෂ්ප්‍රභ කිරීමට නියම කළ අතර එම මහාධිකරණ නඩුවට අදාළව විත්ති වාචක කැඳවීම ට කටයුතු කරන ලෙස මහාධිකරණ විනිසුරු මඩුල්ලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.

ඒ අනුව පසුගිය 13 වැනිදා විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කියවා දෙන ලදී

අනතුරුව විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කරන බවත් සාක්ෂිකරුවන් කැදවීමට අපේක්ෂා කරන බවත් ඔවුන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරු ප්‍රකාශ කළ හ.

විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර ලබා දුන්නේ ය.

අදාළ සාක්ෂි කරුවන් ගේ නම් ඇතුළත් සාක්ෂි ලැයිස්තු සතියක දී අධිකරණය ට ගොනු කරන ලෙස නියම කෙරිණි.

නීතීඥ චමින්ද අතුකෝරල විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි අතර නීතීඥ විදුර රණවක සමග නීතිඥ රොෂාන් දෙහිවල විත්තිකාර, වගඋත්තරකාර පූජිත ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුන් වන සුදර්ශන සිල්වා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී

nelindum41@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු නඩුව: වැඩිමනත් ප්‍රකාශයක් කිරීමට පූජිත කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි | The Leader